පොහොට්ටුවට වෙන්න යන වින්නැහිය!
අරලිය ගහ මැදුරට ‘ඩබල් බ්ලැක්’ විස්කි ගෙනා ඇමැති!
බැසිල්ගේ පණිවුඩයට විමල්ගෙන් සැර උත්තරයක්!
රනිල් කතා කරපු රාජ්‍ය නායකයන්ට වෙච්ච අපලය
මරික්කාර් එළියට දාපු කතාව!
‘බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා ඡන්දෙ ගැන එයා කරපු සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵල දැකලා දැන් හොඳටම බයවෙලා කියලා අපට ආරංචියි. එන ඡන්දවලින් සමගි ජන බලවේගය දිනන එක වළක්වන්න කාටවත් බෑ. පොහොට්ටුව ඡන්දවලින් පැරැදෙන එකත් නවත්තන්න බෑ. ඒ හින්දා දැන් මේගොල්ලෝ ඡන්ද කල්දාන්න හදනවා…’
මේ, පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකි. මරික්කාර් මෙම ප්‍රකාශය කළේ මෙරට සියලු දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිසම, අධිකරණය යන සියලු පාර්ශ්ව ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති පසුබිමකය. එවැනි පසුබිමකදී මරික්කාර් කළ මෙම ප්‍රකාශයත් සමග සියලු දෙනාගේම කුතුහලය ඇවිස්සූ කාරණාවක් වූයේ මේ ආකාරයේ ප්‍රකාශයක් කිරීමට මරික්කාර් සතුව තිබූ තොරතුරු මොනවාදැයි කියාය. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් ඡන්දවලට බිය නොවන පුද්ගලයන් බවට මතයක් රට තුළ ප්‍රචලිතව පවතිද්දී පොහොට්ටුව ඡන්ද පවත්වන්න දෙවරක් සිතන මට්ටමකට පත්ව ඇති බවට මරික්කාර් කළ ප්‍රකාශයේ පදනම පිළිබඳවද මෙහිදී බොහෝ දෙනාට විශාල කුතුහලයක් මතුව තිබිණි.
අපි තමයි මුලින්ම හෙළිකළේ…! සජබෙට 51%යි! පොහොට්ටුවට 35%යි!
මීට සති දෙකකට ඉහතදී අපද මෙම තීරුවෙන් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිටි කාලය ඇතුළත ඉදිරියේදී පොහොට්ටු පක්ෂය කටයුතු කළ යුත්තේ කෙසේද, මැතිවරණවලට මුහුණදිය යුත්තේ කෙසේද ආදිය සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබූ බවකි. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී කොයි ආකාරයකින් ඡන්දය බෙදීයනු ඇද්ද යන්න පිළිබඳ බැසිල් ඇමෙරිකාවේ සිටම විවිධ කණ්ඩායම් යොදවා මත විමසුමක් පවත්වා තිබූ බවක්ද අප එහිදී අනාවරණ කර සිටියෙමු. නමුත් එහි ප්‍රතිඵල නිල වශයෙන් බැසිල් වෙත ලැබී නොතිබුණත් බැසිල්ගේ සාමාන්‍ය ගණන් හැදීමට අනුව ඉදිරි මැතිවරණයකදී සජබය 50% ඉක්මවූ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ඇති බවත්, පොහොට්ටුව 35%ක ඡන්ද ප්‍රමාණයක් ගනු ඇති බවත්ය. ඒ අනුව පොහොට්ටුව දෙවැනි තැන ගනු ඇති බව බැසිල්ගේ ගණන් හැදීම වී තිබූ බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු.
ප්‍රතිපලය කනපිට පෙරළෙයි! පොහොට්ටුව තුනට වැටෙයි!
කෙසේවෙතත් ලංකාවට පැමිණි වහාම බැසිල්ට තමන් සිදුකළ මෙම ජනමත විමසුමේ නිල ප්‍රතිඵලය අතට ලැබී තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බැසිල් ඇමෙරිකාවේ සිට ගණන් හැදූ ප්‍රතිඵලත්, මෙම මත විමසුමෙන් සත්‍ය වශයෙන්ම දැනුම් දී තිබූ ප්‍රතිඵලත් අතර හිතාගන්නට බැරි පරතරයක් මතුව තිබීමය. බැසිල් ඇමෙරිකාවේ සිටියදී ගණන් බලා තිබූ ආකාරයට සජබයට 51%කට වැඩි ප්‍රතිශතයක් හිමිකර දෙමින් පළමු ස්ථානය ලබාගන්නා බව මෙම මතවිමසුමෙන්ද තහවුරු කොට තිබිණි. නමුත් ගැටලුව වූයේ දෙවැනි ස්ථානය මුල් කරගෙන බැසිල්ගේ නළල රැලිගන්වන ආකාරයේ ප්‍රතිඵලයක් මත විමසුම හරහා ලැබී තිබීමය. පොහොට්ටුව 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවැනි ස්ථානය ලබාගනු ඇති බව බැසිල් සිතා සිටියත්, මෙම ප්‍රතිඵලවලට අනුව පොහොට්ටුවට හිමිව තිබුණේ තුන්වැනි ස්ථානයය. බැසිල්ගේ ඇස් උඩගොස් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි ස්ථානය ලබාගන්නා බවට මෙම මත විමසුමෙන් අනාවරණ කර තිබීමත් සමගය. ඒ අනුව ජවිපෙ පළමු වතාවට මෙරට විපක්ෂය බවට පත්වනු ඇති බවට මෙම මතවිමසුම හරහා අනාවරණ කර තිබීමත් සමග බැසිල් මහත් කලබලයට පත්විය. නමුත් කිසිවකුටත් ඒ බව නොපෙන්වූ බැසිල් කළේ එම මත විමසුම ඇතුළත් ප්‍රතිඵල ලේඛනය නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ සිය කාමරයේ කිසිවකුත් ළං නොවන මේස ලාච්චුවේ දමා අගුලු දැමීමය.
බැසිල් දැන් මොනවා කරයිද?
ඒ අනුව බැසිල් මේ වන විට නැවත වතාවක් සිය සැලසුම් පිළිබඳ දෙවරක් සිතන මට්ටමකට පත්ව ඇති බවක් නෙලුම් මාවත පැත්තෙන් ආරංචිය. මුලදී බැසිල් කුමන තත්ත්වයක් යටතේ හෝ ඡන්ද පැවැත්විය යුතු බවට මතයක සිටියත් මේ වන විට මත විමසුමේ ප්‍රතිඵලත් සමග බැසිල්ද රනිල් මෙන්ම ඡන්ද කල් දැමීමේ ස්ථාවරයකට තල්ලු වී ඇති බවක් ආරංචිය. ඊට හේතුවී ඇත්තේ මෙවැනි වාතාවරණයක් යටතේ ඡන්දයකට ගියහොත් එය පොහොට්ටුව පැත්තෙන් සියදිවි නසාගැනීමක් හා සමාන වනු ඇති බවට බැසිල්ට වැටහී ඇති නිසාය.
ඒ අනුව දැන් බැසිල් කුමක් කරනු ඇද්ද? මෙම තත්ත්වය යටතේ මැතිවරණ කොමිසම මෙන්ම විපක්ෂය පවා ප්‍රකාශ කරන ආකාරයට ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා එම ආයතනය පිහිටුවීමට හැකි වනු ඇද්ද?
පුංචිහේවා ඡන්දය හකුලයිද?
කෙසේවෙතත් මැතිවරණ කොමිසම මාර්තු මාසයට පෙර පළාත් පාලන ඡන්දය පවත්වා අවසන් කරන බව කීවද බොහෝ දෙනා නොදන්නා කාරණයක්ද මෙහි සැඟව තිබේ. ඒ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ නිමල් පුංචිහේවා මහතා රාජපක්ෂ පවුලේ සමීප හිතවතකු මෙන්ම ඔවුන්ගේ විශ්වාසවන්තයකද වීමය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කොට 20 වැනි ව්‍යවස්ථාවෙන් පිහිටුවූ මැතිවරණ කොමිසමට නිමල් පුංචිහේවා මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කළේ ඔහු රාජපක්ෂ පවුලේ ළඟම හිතවතකු වීම නිසාය. රාජපක්ෂවරුන්ට අවශ්‍ය ආකාරයට මැතිවරණ සිතියම දිගහැරීම හෝ හැකිලීම ඔහු හරහා කර ගැනීමේ හැකියාව නිසාය. ඒ අනුව මැතිවරණ කොමිසම නිශ්චිත කාලයට මැතිවරණ පවත්වන බව පුන පුනා කියා සිටියත්, බැසිල්ගේ අතට පත්ව තිබූ මත විමසුමේ රහසිගත ප්‍රතිඵලය හේතුකොට ගෙන ඉදිරියේදී ඡන්ද නොපවත්වා ආණ්ඩුවේ සැලසුම අනුව කටයුතු කරන ලෙසට රාජපක්ෂවරුන්ගෙන් මැතිවරණ කොමිසමට බලපෑම් එල්ල වුවහොත් එහි පුදුමයක්ද නැත.
මහින්ද යළි නෙළුම් මාවතට! බැසිල් වැට උඩ!
මීට අමතරව බැසිල් පසුගිය සතියේදී මෙම ප්‍රතිඵල ඔළුවේ තබාගෙන නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මැති ඇමැතිවරුන් සමග, ආසන සංවිධායකවරුන් සමග, පක්ෂයේ ඉහළ පෙළේ සහ ගම් මට්ටමේ සාමාජිකයන් සමග සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට කටයුතු කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බොහෝ කලකට පසු පොහොට්ටුවේ නායකයා වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡා සඳහා පක්ෂ කාර්යාලයට කැඳවා ගැනීමට බැසිල් පියවර ගැනීමය. මෙම සාකච්ඡාවලදී බැසිල් මැතිවරණ පිළිබඳ අදහස් දැක්වූයේ ‘ඡන්ද තියන්නත් පුළුවන්, නොතියන්නත් පුළුවන්’ යන වැට උඩ සිටින ස්ථාවරයක සිටය. මැතිවරණය පැවැත්වුවහොත් ඒ සඳහා අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ මණ්ඩල පිහිටුවීම, ප්රචාරක කටයුතු මෙහෙයවීම, පක්ෂ යන්ත්‍රණය මෙහෙයවීම ආදී සියලු දේ පිළිබඳ බැසිල් මෙම සාකච්ඡාවලදී කරුණු ඉදිරිපත් කළේය.
ආපහු පොහොට්ටුව හදමු! යෝජනාවක් ඇවිත්!
කෙසේ වෙතත් යම් හෙයකින් මැතිවරණයක් නොපවත්වා තවදුරටත් ඇදගෙන ගියහොත් පොහොට්ටුවට අත්විය හැකි ඉරණම තවත් බරපතළ විය හැකි බවට මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් රැසක්ම මෙහිදී බැසිල්ට දැනුම් දීමට කටයුතු කිරීමද විශේෂ සිදුවීමක් විය. ඔවුන් තවදුරටත් බැසිල්ට කියා සිටියේ මොනම අවාසිදායක තත්ත්වයකදී වුවද මේ මොහොතේ මැතිවරණයකට ගියහොත් අවාසිදායක තත්ත්වය යම් තරමකට හෝ මඟහරවා ගත හැකි බවත්, ඡන්දය කල් දාන්න කල් දාන්න එම අවසිදායක තත්ත්වය වැඩිවනවා මිස අඩුවීමක් දැකගන්නට නොලැබෙනු ඇති බවත්ය. මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ මෙම අදහසද පසුගිය සතිය වන විට බැසිල්ගේ ඔළුවේ වැඩකරමින් තිබිණි. විශේෂයෙන්ම ඔවුන් පෙන්වා දුන්නේ අවම වශයෙන් 35%ක හෝ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට පෙර තිබුණු පරිද්දෙන්ම පොහොට්ටුව සමග එදා සිටි සියලු පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන් නැවත වතාවක් එකට එක්ව කටයුතු කළ යුතු යැයි කියාය. එසේ නොවුණහොත් පොහොට්ටුවේ ඡන්ද ප්‍රතිශතය විශාල වශයෙන් අඩුවිය හැකි බවද එහිදී ඔවුන් බැසිල්ට පෙන්වා දී තිබිණි.
ඒ අනුව පසුගිය සතියේදී බැසිල් නැවත වතාවක් පොහොට්ටුවේ සිට කැඩීගිය සියලු දෙනා එකතු කිරීමේ මෙහෙයුමට අත තිබ්බේය. එහිදී බැසිල් එදා පොහොට්ටුවේ ප්‍රබලයන්ව සිට අද ස්වාධීනව සිටින ජී.එල්.-ඩලස් පිල, විමල් පිල, අනුර යාපා පිල යළි පොහොට්ටුවට එක් කරගැනීම සඳහා විවිධ පාර්ශ්ව අතේ පණිවුඩ යැවීමට පටන් ගත්තේය. නමුත් ප්රශ්නය වී තිබුණේ මේ සියලු පාර්ශ්වයන් බැසිල්ගේ ප්රශ්නය මුල් කරගෙන පොහොට්ටුවෙන් ඉවත් වී තිබීමය.
විමල්ලාගෙන් සැර උත්තරයක්!
කෙසේ වෙතත් විමල් සහ ගම්මන්පිල සමග සාකච්ඡා කිරීම සඳහා මෙසේ බැසිල් එක්තරා පණිවුඩකරුවකු අතේ විශේෂ පණිවුඩයක් එවා තිබූ අතර, ඔහු විමල්ගෙන් විමසා තිබුණේ පැරැණි අඩුපාඩු හදාගෙන යළිත් පොහොට්ටුව සමග සන්ධානගත වීම සඳහා බැසිල්ගෙන් ආරාධනාවක් ඇති බවය. මෙහිදී අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මෙම ආරාධනාව ලද වහා විමල් සහ ගම්මන්පිල සැර උත්තරයක් මෙම දූතයාට ලබාදී ඇති බවය. 69 ලක්ෂයක ජන වරමක් ගත් ජනාධිපතිවරයාවත් විනාශ කොට, තුනෙන් දෙකක බහුතර බලයක් තිබූ ආණ්ඩුවත් විනාශ කොට, මුදල් ඇමැතිකමත් නැති කරගෙන, මන්ත්රීකමත් නැති කරගෙන, අවසානයේදී පක්ෂයත් විනාශ කළ පුද්ගලයන් සමග නැවත කිසිසේත්ම සන්ධාන ගැසීමට නොයන බව එහිදී විමල් ලබාදී තිබුණු පිළිතුර විය. මේ ආකාරයටම ජී.එල්. ඩලස් පිලටද පණිවුඩ එවීමට බැසිල් පියවර ගෙන තිබුණත් එම පාර්ශ්වයන්ගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී තිබුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව පොහොට්ටුවෙන් ඉවත් වී ස්වාධීනව සිටින කිසිවකුත් යළි පොහොට්ටුවට එකතු නොවන බව එම ප්‍රතිචාරවලින් පැහැදිලි විය.
රමේෂ් පතිරණලා අලුත් පක්ෂයක් හදන සූදානමක!
අනෙක් පැත්තෙන් පොහොට්ටුව ඇතුළේ මේ වන විට රමේෂ් පතිරණගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක්ද බිහිවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. එම කණ්ඩායමට කංචන විජේසේකර ඇතුළු පිරිසක් එක්ව සිටින අතර ඔවුන්ගේ මෙහෙයුම වී ඇත්තේ පොහොට්ටුවේ වත්මන් මහලේකම් සාගර කාරියවසම් මහතා ඉන් ඉවත් කොට වෙනත් අයකු ඊට පත්කර ගැනීමය. නමුත් එම මෙහෙයුම මේ වන විට අසාර්ථක වී ඇති නිසා එම කණ්ඩායම තවත් අලුත් පක්ෂයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට ඇත. එම සාකච්ඡා පාර්ලිමේන්තුව ඇතුළේත්, ඉන් පිටතත් මේ වන විට සිදුවෙමින් ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
රනිල් ගැන අමරවීර කියපු කතාව!
මේ සියල්ල අතරේ මහින්ද වෙනදා මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට සුපුරුදු ලීලාවෙන් සියලු මැති ඇමැතිවරුන් සමග සුහදව සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට තිබේ. මහින්ද ඉතිහාසයේ සිටම ප්‍රසිද්ධව ඇත්තේ හොඳ පී.ආර්. එකක් ඇති අයකු ලෙසටය. ඒ අනුව මේ දිනවල මහින්ද සභාගැබේ සිටියදීත්, ලොබියේ සිටියදීත්, කැන්ටිමේ සිටියදීත් වැඩිපුර කතාබහ කරන්නේ පොහොට්ටුවේ සිට ඉවත්ව ගොස් සිටින මන්ත්‍රීවරුන් සමගය. ඔවුන් සමග කදේ දාගෙන, විහිළු තහළු කරමින් මහින්ද ඉතා සැහැල්ලුවෙන් සිටින ආකාරයක්ද මේ දිනවල දැකගන්නට තිබේ.
එමෙන්ම මෙම සාකච්ඡාවලදී අමරවීර විසින් විපක්ෂ ලොබියේදී කියා ඇතැයි කියන කතාබහක් පිළිබඳවද සාකච්ඡා වී ඇත. එහිදී අමරවීර කියා ඇත්තේ කැබිනට් මණ්ඩලයේදී මැතිවරණ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා, මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා ස්වාධීනව සිටින බවට ප්‍රකාශ කළ බවත්ය.
ඇමැතිවරුන් තුන්දෙනා බේරුණු හැටි!
පසුගිය සතියේ අප මෙම තීරය ඔස්සේ කැබිනට් ඇමැතිවරුන් තිදෙනකුගේ වැය ශීර්ෂයන් පරාජය කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් සැලසුම් කර ඇති ආකාරය වාර්තා කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ නසීර් අහමඩ් යන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂයන් මෙසේ පරාජයට පත්කිරීමට පොහොට්ටුව සැලසුම් කරමින් සිටින බවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන් නොගැනීම, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නොසැලකීම යන කරුණු මුල් කරගෙන මෙම වැය ශීර්ෂයන් පරාජයට පත්කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් අප කළ මෙම හෙළිදරව්වෙන් පසු මෙම තත්ත්වය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ කනටද වැටිණි. ඒ වන විට පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණ සිටි බැවින් බැසිල් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම මාතෘකාවද කරළියට ඇදී විත් තිබිණි. අවසානයේදී බැසිල් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ එම මෙහෙයුම අත්හරින ලෙසටය. එවිට මන්ත්‍රීවරුන් තමන්ට ඇති ගැටලු බැසිල්ට පෙන්වා දෙද්දී බැසිල් කියා ඇත්තේ තමන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවකි.
දයාසිරි නිමල් සිරිපාලව පරද්දන්න ලෑස්තියි! 5 තීරණාත්මකයි!
බැසිල්ගේ එම කීමට අනුව පොහොට්ටු මන්ත්‍රීවරු ඇමැතිවරුන් තිදෙනාගේ වැය ශීර්ෂ පරාජය කිරීමේ මෙහෙයුම අත්හැර දැමුවද පසුගිය සතියේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට එවූ පණිවුඩයක් අනුව මෙම කතාව යළිත් වතාවක් අලුත් විය. එම පණිවුඩයෙන් කියැවුණේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන්නේ නම් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඊට එරෙහිව ඡන්දය ලබාදෙන බවය. වැඩිදුරටත් දයාසිරි කියා තිබුණේ පොහොට්ටු මන්ත්‍රීවරුන් 10ක් හෝ 15ක් එදිනට නොපැමිණෙන්නේ නම් නිමල්ගේ වැය ශීර්ෂය පරාජයට පත්කළ හැකි බවකි.
කෙසේ හෝ නිමල් සිරිපාලගේ වැය ශීර්ෂය සඳහා වූ විවාදය යෙදී ඇත්තේ ලබන 05 වැනි දිනටය. නමුත් එදිනට දයාසිරි පොහොට්ටුවෙන් කළ ඉල්ලීම කොතෙක් දුරට ඉටුවේදැයි දැන්ම තියා කිව නොහැකිය.
චන්ද්‍රිකාගෙන් ඩිනර් එකක්!
පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොහොට්ටුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තාය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ මෙන්ම ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳවද චන්ද්‍රිකා සහ ස්වාධීන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් සිදුවිය.
චන්ද්‍රිකා සජබෙ ගැන කියපු කතාව!
මෙහිදී චන්ද්‍රිකා මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී විපක්ෂය පැත්තෙන් පුළුල් සන්ධානයක් බිහි කළ යුතු බවකි. සමගි ජන බලවේගය මේ වන විට රට පුරා ප්‍රධාන විපක්ෂය ලෙස ස්ථාපිත වී ඇති බැවින් එය සමග එක්ව මෙම පුළුල් සන්ධානය ගොඩනැගිය යුතු බව චන්ද්‍රිකාගේ අදහස වී තිබිණි. ඒ අනුව ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමේ දින වකවානු සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් යොදාගත යුතු බවද එහිදී සාකච්ඡා විය.
සන්ධානයේ චන්ද්‍රිකාට ලැබෙන තැන!
මෙහිදී චන්ද්‍රිකා තවත් එක් රහසක්ද මන්ත්‍රීවරුන්ට හෙළි කිරීමට පියවර ගත්තාය. ඒ, බිහිවන මෙම පුළුල් සන්ධානයේ ඇයට හිමිවීමට නියමිත වගකීම පිළිබඳවය.
‘මටත් දැනටමත් ඒ පැත්තෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේ බිහිවන සන්ධානයේ අනුශාසකවරියක් වශයෙන් කටයුතු කරන්න කියලා. මොකද ඒ අය කියන්නේ මම තමයි මෙතන ඉන්න අත්දැකීම් බහුල එකම හිටපු ජනාධිපතිවරිය කියලා. බලමු. අපි ඉස්සරහට මොකද කරන්නේ කියලා…’ යනුවෙන් චන්ද්‍රිකා එහිදී මන්ත්‍රීවරුන්ට කියා සිටියාය.
රාජපක්ෂ පවුලේ අර්බූදය!
රාජපක්ෂ පවුලේ දේශපාලන අර්බුදයක් මතුවෙමින් පවතින බව මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී ඊට අදාළ සිදුවීම්ද එකින් එක පෙන්වා දුන් අප ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙම තත්ත්වය උග්‍ර අතට පෙරලුණු බවද කියා සිටියෙමු. අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවූ ආකාරයත්, බැසිල් රාජපක්ෂ මහතාට මුදල් ඇමැති ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්ව රට හැරයෑමට සිදුවූ ආකාරයත්, අවසානයේදී 22 වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට වූ යෝජනාවට චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අත එසවීම හරහා එම අර්බුදය උත්සන්න වූ ආකාරයත් අපි එහිදී වාර්තා කළෙමු. චමල් හා ශෂීන්ද්‍ර වෙනම දේශපාලන ගමනක් යෑමට තීරණය කර ඇති බවද අපි එහිදී කියා සිටියෙමු.
ශෂීන්ද්‍ර සාටකය අතහරී!
මෙහි තවත් බරපතළ සිදුවීමක් පසුගිය සති අන්තයේ සිදුවිය. ඒ, රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා බවට පත්වීමට සූදානමින් සිටින චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් රාජපක්ෂ පවුලේ නිල ලාංඡනය වූ කුරහන් සාටකය අතහැරීමට තීන්දු කිරීමය. ඒ අනුව පසුගිය සතියේ පළමු වතාවට කුරහන් සාටකය නොමැතිව සම්පූර්ණ යුරෝපා ඇඳුම් කට්ටලයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට ශෂීන්ද්‍ර පියවර ගත්තේය.
සාටකයේ ඉතිහාසය!
රාජපක්ෂ පවුලේ මේ කුරහන් සාටකයට විශාල දේශපාලන ඉතිහාසයක් මෙන්ම වැදගත්කමක්ද තිබේ. කොටින්ම කියනවා නම් රාජපක්ෂ පවුලේ දේශපාලන සන්නාමය වන්නේ කුරහන් සාටකයය. අදත් රාජපක්ෂ පරම්පරාව දේශපාලන වශයෙන් භෞතීස්ම කරනුයේ කුරහන් සාටකය පලඳවාය. ඒ අනුව පසුගිය 2009 වසරේ ශෂීන්ද්‍ර මුලින්ම දේශපාලනයට පිවිසෙමින් ඌව මහ ඇමැති ධුරයට තරග වදිද්දී එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෂීන්ද්‍රට පළමු වතාවට සාටකයක් පලඳවා දේශපාලන වශයෙන් භෞතීස්ම කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා පළමු වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙද්දීද මහින්ද විසින් කුරහන් සාටකය පලඳවා නාමල්ට දේශපාලන භෞතීස්මය ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව 2009 සිට මේ දක්වා ශෂීන්ද්‍ර ජාතික ඇඳුම ඇඳ කුරහන් සාටකයක් පැලඳගෙන දේශපාලනයේ නිරත විය. නමුත් රාජපක්ෂ පවුලේ දේශපාලන අර්බුදය යළිත් වතාවක් ප්‍රසිද්ධියේ කරළියට රැගෙන එමින් ශෂීන්ද්‍ර පසුගිය සතියේදී කුරහන් සාටකය ගලවා ටයි කෝට් ඇඳ පාර්ලිමේන්තුවට පැමිණීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.
නාමල් ආගිය අතක් නෑ!
මේ අතර රාජපක්ෂ පවුල ඇතුළේ සිදුවූ තවත් සිදුවීමක්ද මේ සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, නාමල්ට සිදුව ඇති සිදුවීමක් පිළිබඳවය. බැසිල් ඇමෙරිකාවට ගොස් සිටි කාලයේ පොහොට්ටුවේ බලය අතට ගැනීමට නාමල් පක්ෂය ඇතුළේ දියත් කළ මෙහෙයුම පිළිබඳ වරක් අපි මෙහිදී සඳහන් කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ නාමල් බැසිල් සතු පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලබාගැනීමේ අරමුණෙන් රැස්වීම් මාලාවක් සංවිධාන කොට ඇති බවකි. මෙම රැස්වීම් මාලාව බෙලිඅත්තෙන් ආරම්භ කොට රට පුරා රැගෙන යෑමට නාමල් සැලසුම් කළ ආකාරයත්, රැස්වීම් දෙක තුනක් තියද්දී ආසන සංවිධායකවරුන් නාමල්ට කතාකොට එම රැස්වීම් නතර කරන ලෙස දැනුම් දුන් ආකාරයත්, සිය ගම්වලට නාමල්ගේ පැමිණීම අවාසිසහගත ලෙස පක්ෂයට බලපෑ හැකි බව දැනුම් දුන් ආකාරයත් අපි මෙහිදී සඳහන් කළෙමු. ඒ අනුව පක්ෂයේ බලය ඇල්ලීම ඉලක්ක කරගෙන නාමල් ආරම්භ කළ රට පුරා යන රැස්වීම් මාලව රැස්වීම් දෙක තුනකට පමණක් සීමා විය.
මේ තත්ත්වය බැසිල් රාජපක්ෂ යළි ලංකාවට පැමිණීමත් සමග තවත් උග්‍ර අතට පෙරළී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මේ වන විට බැසිල් ලංකාවට පැමිණ සති තුනකට ආසන්න වන නමුත් ඒ සති 3 ඇතුළත නාමල් ආගිය අතක් සොයාගැනීමට කිසිවකුටත් නොහැකි වූ ආකාරයක්ද දැකගන්නට තිබිණි.
එනවා කියපු ගෝඨා ඇවිත් නෑ!
මේ අතර පසුගිය සතියේ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව කොළඹදී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබූ අතර එහි දැක්වුණේ චමල්, මහින්ද, බැසිල්ට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇති බවකි. ඒ අනුව ලංකාවෙන් පලාගොස් නැවත ලංකාවට පැමිණීමෙන් පසු ගෝඨාභය සහභාගි වීමට සිටි පළමු ප්‍රසිද්ධ රැස්වීම වී තිබුණේ මෙම ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවය. ඊට පෙර ගෝඨා, මහින්දගේ 77 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කාල්ටන් නිවෙසේ පැවැති පිරිත් දේශනයට සහභාගි වීමට පියවර ගෙන තිබුණත් එය පවුලේ සාමාජිකයන් කිහිප දෙනාට පමණක් සීමා වී තිබිණි.
පළමු වතාවට එජාප නායකයෙක් රාජපක්ෂ ගුණ සමරුවේ!
කෙසේ වෙතත් කොළඹ පැවැති ඩී.ඒ. ගුණ සමරුවේදී විශේෂ සිදුවීම් දෙකක් සිදුවිය. ඉන් පළමුවැන්න වී තිබුණේ ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායකයකු ඩී.ඒ. ගුණ සමරුවට එක්ව සිටීමය. ඒ, වෙන කවුරුවත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. දෙවැනි සිදුවීම වූයේ මුලින් එනවා කියලා තිබුණු ගෝඨාභය සිය පියාගේ ගුණානුස්මරණයට නොපැමිණීමය.
මෙම සිදුවීම් හරහා එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව අතර යම් දේශපාලන සන්ධානයක් බිහිවීමේ ඉක්මන් ලකුණු මේ වන විට දැකගන්නට තිබේ. එහි තවත් සිදුවීමක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ජනාධිපතිවරයා විසින් එජාපයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට පසුගිය සතියේ කර ඇති දැනුම් දීමකි.
පොහොට්ටුව එක්ක වැඩ කරන්න ලෑස්ති වෙන්න!
මෙහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙසය. ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරද්දී එජාප ආසන සංවිධායකවරුන් රැසක්ම එකිනෙකාගේ මුහුණු දෙස බැලූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘අපි කොහොමද පොහොට්ටුවේ කට්ටිය එක්ක එකට වැඩකරන්නේ? අපට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා. ඊට වඩා හොඳයි අපි දේශපාලනයෙන් සමුගන්න එක…’ යැයි මෙහිදී ආසන සංවිධායකවරන් රැසක්ම එකිනෙකා සමග ප්‍රකාශ කොට ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව ඉදිරියේදී එජාප ආසන සංවිධායකවරුන් රැසක් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
පාටියට ඩබල් බ්ලැක් ගෙනා ඇමැති!
පසුගිය අඟහරුවාදා උදෑසනම ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ එදින අරලියගහ මන්දිරයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට ඇති බවත්, රාත්‍රී 7 වන විට ඊට සහභාගි වීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ සිටින ලෙසත්ය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සියලු මැති ඇමැතිවරුන්ට බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස දැනුම් දී තිබීමය. ඒ අනුව එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ මුණගැසුණු බොහෝ මැති ඇමැතිවරුන් මේ පිළිබඳ කතාබහ කරමින් සිටියදී මදුවිත පිළිබඳ කතාව එළියට ඇදී ආවේය. එහිදී මන්ත්‍රීවරුන් කියා සිටියේ අරලියගහ මන්දිරයේ සාදය පවත්වන බැවින් අගමැතිවරයා මදුවිත ලබා නොදීමට පියවර ගනු ඇතැයි කියාය. ඒ අනුව ඊට යම් යම් පිළියම්ද මැති ඇමැතිවරුන් යොදාන්නා ආකාරයක් දැකගන්නට ලැබිණි.
රනිලුත් බර කතාවක!
කෙසේ වෙතත් අරලියගහ මැදුරේ මදුවිත නොතිබුණද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊට පිළියමක් ලෙස සිය රථයේ ‘ඩබල් බ්ලැක්’ විස්කි බෝතල් කිහිපයක් රැගෙන විත් ඇති බව බිරුන්දෑවරුන් සමග පැමිණ සිටි මැති ඇමැතිවරුන්ට දැකගන්නට ලැබිණි. ඒ අනුව බිරින්දෑවරුන් උත්සව ශාලාවේ තබා මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් හීන්සීරුවේ රථ ගාල දෙසට පැමිණියේ ප්‍රසන්න රැගෙන ආ ඩබල් බ්ලැක් විස්කි උගුරක් දෙකක් කටට හලාගන්නටය. ඒ වන විටත් කිහිප දෙනෙක්ම එහි සිටිමින් මදුවිතින් සන්තර්පනය වන ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයාටද මේ බව ආරංචි වී එම ස්ථානයට පැමිණීමය. එසේ පැමිණි ජනාධිපතිවරයා බොහෝ වේලාවක් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සමග කතාකරමින් සිනාසෙමින් එහි ගතකළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
රාජ්‍ය නායකයන්ට අපලය මොකද්ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් සැලකෙන්නේ ජාත්‍යන්තර සබඳතා සහිත, ජාත්‍යන්තර නායකයන් දන්නා හඳුනන නායකයකු ලෙසටය. මේ නිසාම පසුගිය කාලයේදී ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම රාජ්‍ය නායකයන් හමුවුණා පමණක් නොව ඔවුන් සමග දුරකතන සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් බවක් මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයාම ප්‍රසිද්ධියේ මේ බව සඳහන් කිරීමටද පියවර ගෙන තිබිණි. නමුත් මේ වන විට දැකගන්නට ලැබී ඇති විශේෂ සිදුවීමක් වී ඇත්තේ ජනාධිපතිවරයා කතා කළ සහ මුණගැසුණු රාජ්‍ය නායකයන් කිහිප දෙනකුටම ඉතා කෙටි කාලයක් ඇතුළත් සිය තනතුරු අහිමි වී තිබීමය.
ජොන්සන් ගෙදර ගියා!
ඉන් පළමු සිදුවීම වාර්තා වුණේ බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් මහතා මුල් කරගෙනය. වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමග දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බවත්, ලංකාවට උදව් කිරීමට ඒ මහතා පොරොන්දු වූ බවත්ය. නමුත් ජනාධිපතිවරයා මේ කතාව කියා දින කිහිපයක් ගතවූයේ නැත. බොරිස් ජොන්සන් මහතාට සිය අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. ලිස් ට්‍රස් මහත්මිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
චීන මුදල් ඇමැතිට පුටුව නැති වුණා!
දෙවැනි සිදුවීම වාර්තා වූයේ චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා මුල්කරගෙනය. වරක් සියඹලාණ්ඩුවේ ගොවි බිමක පැවැති උත්සවයකට ගිය ජනාධිපතිවරයා සිසුන් පිරිසක් වටකරගෙන සිටියදී තමන් චීන මුදල් ඇමැති ලියු කුන් මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත්, එහිදී චීනය ලංකාවට උදව් කිරීමට සූදානම් බව චීන මුදල් ඇමැතිවරයා තමන්ට දැනුම් දුන් බවත් කියා සිටියේය. ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයද සිදුකොට දින කිහිපයක් ගතවුණේ නැත. තුන්වැනි වරටත් චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ෂී ජින්පින් මහතා සිය නව කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගැනීමේදී ලියු කුන් මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ වෙනුවට මුදල් අමාත්‍ය ධුරයට අලුත් අයකු පත් කරගත්තේය.
රමපෝසාට වෙච්ච දෙයක්!
තුන්වැනි සිද්ධිය වාර්තා වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය. ඒ දකුණු අප්‍රිකාවෙන්ය. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා මීට දින කිහිපයකට ඉහතදී විදෙස් සමුළුවකට සහභාගි වී සිය රට බලා යන අතරවාරයේදී පැය කිහිපයක විරාමයක් සඳහා ලංකාවටද පැමිණියේය. එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා රැඳී සිටියේ ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර තුළය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ පැමිණීම වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාද ගුවන් හමුදා කඳවුරට ගොස් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සමග සුහද කතාබහක නිරත විය. එපමණක් නොව එදිනම දකුණු අප්‍රිකානු ජනාධිපති රමපෝසාගේ උපන් දිනය යෙදී තිබුණු බැවින් විශේෂ කේක් ගෙඩියක් කපා රමපෝසාට උපන් දින සුබපැතුම් පිරිනැමීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
කෙසේවෙතත් සිදුවීම සිදුවී දින කිහිපයක් ගතවූයේ නැත. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ හිස මතට බරපතළ අර්බුදයක් කඩාවැටිණි. ඒ, රමපෝසාට අයත් විශාල ඩොලර් ප්‍රමාණයක් හමුවීම මුල් කරගෙන පැවැති පරීක්ෂණයේදී එහි විමර්ශන කමිටුව මගින් රමපෝසා වැරැදිකරු බවට තීන්දු කොට වාර්තාවක් නිකුත් කිරීමය. පසුගිය බ්‍රහස්පතින්දා දින සිදුවූ මෙම සිදුවීමත් සමග රමපෝසාට එරෙහිව දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට මේ වනවිට විපක්ෂය තීන්දු කර තිබේ. යම් හෙයකින් එම යෝජනාව සම්මත වුවහොත් රමපෝසාට සිදුවන්නේ සිය ජනාධිපති ධුරයට ආයුබෝවන් කියා ගෙදර යන්නටය.