‘මම අපේක්ෂකකම ගත්තාට පස්සේ තමයි මම හතුරා වෙලා තියෙන්නේ. කලින් මට අගමැතිකම බාරගන්න කියලත් පණිවුඩ එව්වා…’Sri Lanka Latest News
මේ, රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට පෙර පැවැති අවසන් පාර්ලිමේන්තු හදිසි නීති විවාදයට එක්වෙමින් කළ කතාවය. කතාව හරිය. එවක අගමැති ප්‍රේමදාස ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සිටි නිසාත්, ජවිපෙ මර්දනයට එරෙහිව සිටි නිසාත් ශ්රීලනිපය ප්‍රේමදාසව ආණ්ඩුවෙන් කඩන්න ලොකු උත්සාහයක් ගත්තේය. ශ්රීලනිපය පමණක් නොව ජවිපෙ නායක රෝහණ විජේවීරත් ඔහු ජාතිය අමතා කළ කතාවක ආණ්ඩුව තුළ සිටින අගමැති ඇතුළු ඉන්දු-ලංකා ගිවිසුම් විරෝධී බලවේගවලට ආණ්ඩුවෙන් එළියට ඇවිත් ගිවිසුම් විරෝධී දේශප්‍රේමී බලවේගයට එක්වෙන ලෙස ආරාධනා කළේය.
ශ්‍රීලනිප වාමාංශික පක්ෂ සහ ජවිපෙ, යූ.ඇන්.පී.ය හංවඩු ගසා තිබුණේ ධනපති පක්ෂයක් ලෙසය. ඒත් ප්‍රේමදාස පොඩි මිනිහෙක් බව ශ්රීලනිපය, වාමාංශික පක්ෂ, ජවිපෙ දැන සිටියහ. ඔවුන් එය හංගාගෙන සිටියේ ප්‍රේමදාස යූ.ඇන්.පී.යේ ආරක්ෂකයකු වූ නිසාය. ප්‍රේමදාස ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වූ විට ප්‍රේමදාසව ආණ්ඩුවෙන් කඩන්න ඔවුන් උත්සාහ ගත්තේ ධනපති පක්ෂයක් ලෙස තමන් හංවඩු ගහපු යූ.ඇන්.පී.යට පොඩි මිනිහාගේ ප්‍රතිරූපය දුන්නේ ප්‍රේමදාස බව දැනගෙනය. වරක් ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් ජයකොඩි කිව්වේ ප්‍රේමදාස සිටිය යුත්තේ යූ.ඇන්.පී.යේ නොවන බවය.
ප්‍රේමදාස ජනාධිපති වූ පසුත් ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කළේත්, විපක්ෂ නායක බණ්ඩාරනායක මැතිනියව අගමැති කොට ජාතික ආණ්ඩුවක් හදන්න යෝජනා කළේත් ඔහු යූ.ඇන්.පී. ටයි කෝට් සංස්කෘතියෙන් වෙනස්ව හිතන අයෙක් වූ නිසාය. ඔහුගේ මේ උත්සාහයන් දෙකම කඩාකප්පල් කළේ එවක රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න ඇතුළු යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයන්ය.
විවෘත මනසකින් ශ්‍රීලනිප හෝ වාමවාදීන් සමග ගනුදෙනු කරන කලාව රණසිංහ ප්‍රේමදාසට වගේම සජිත්ටත් පිහිටා තිබෙන බව පැහැදිලි වන්නේ ශ්‍රීලනිප වාමවාදීන් වූ ඩලස්, ඩිලාන්, චන්දිමලා, ශාන් විජයලාල්ලා සජිත් සමග එක්වීමට එකඟ වීම තුළින්ය.
ඩලස් ලංකාවේම ප්‍රකට වූයේ 2001 මහ මැතිවරණයට පෙර ඔහු සූට්කේස් එකකට බඩු පැක්කරගෙන එවක ජනාධිපති චන්ද්‍රිකා ගැන කලකිරී දේශපාලනය අතහැර යන පින්තූරයෙන්ය. ඩලස් ජවිපෙ වෙනුවෙන් පෙනීසිටියේ අද ජවිපෙ සිටින නායකයන් පවා හැංගිලා ඉන්න කාලයකය. ඔහු ප්‍රේමදාසගේ ආණ්ඩුව ජවිපෙට එරෙහි භීෂණය ව්‍යාප්ත කරන විට ජවිපෙ වෙනුවෙන් කතා කරන්න මිනිහෙක් හොයාගන්න බැරි කාලයක ඩලස්ලා ජවිපෙ වෙනුවෙන් බය නැතුව පත්තරයක් කළේය. ඔහු ජාතික පුවත්පතක් වූ දිවයිනෙන් පසුව ඔහු අනෙකුත් මාධ්‍යවේදීන් සමග එක්වී පටන්ගත් ජවිපෙ පත්තරයෙන් පෙනී සිටියේ ජවිපෙ වෙනුවෙන්ය. ඔහු 2001 චන්ද්‍රිකාගේ දේශපාලනය ගැන කලකිරී යළි මහින්ද සමග එක්වූයේ මහින්දගේ වාමවාදී දේශපාලනය නිසාය.
2022 පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ඡන්දයේදී සජිත් ඩලස්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කරන්න එකඟ වීමත්, ඩලස් අද සජිත්ගේ ජනාධිපති සටනට සහාය දෙන්න එක්වීමත් වම සහ දකුණ එකතු කර හදන මැද මාවතේ ගමනක ආරම්භයකි. රණසිංහ ප්‍රේමදාස වගේම සජිත් ප්‍රේමදාසත් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තාට සුබසාධනවාදය අදහන නායකයන්ය. ප්‍රේමදාසගේ ගම්උදාව, ජනසවිය වගේම සජිත්ගේ සක්වළ, හුස්ම කියන්නේ ඒ කතාවය. ඩලස් වාමවාදී වුවද ආර්ථිකය සහ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ දැක්ම ලිබරල්වාදීය. ඒ නිසා මේ දෙදෙනාගේ එක්වීම දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයකි. අනෙක ඩලස් දූෂිතයකු නොවේ. ඔහුම ප්‍රකාශ කළ පරිදි ඔහු මන්ත්‍රීවරුන්ට දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රයවත් ගත් අයෙක් නොවේ. එවැනි පිරිසිදු මන්ත්‍රීවරුන් සෙවීම කළුනික හොයනවාට වඩා අමාරුය. ඩලස් වගේම මහාචාර්ය ජී.එල්. පීරිස්ද වසර 30කට ආසන්න කාලයක් මැති ඇමැතිකම් කළද දූෂණ චෝදනාවක් එල්ල නොවූ සුපිරිසුදු චරිතයකි. ඔහු ලොව පිළිගත් බුද්ධිමතෙකි. ඩිලාන් වාමවාදී පවුල් පසුබිමකින් පැවැත එන දූෂණ චෝදනා එල්ල නොවූ මන්ත්‍රීවරයෙකි. නාලක ගොඩහේවා 2020 මහ ඡන්දයෙන් ලක්ෂ 3කට වැඩිය ඡන්ද ගත්ත ජනප්‍රිය චරිතයකි. චන්දිම වීරක්කොඩි ශ්‍රීලනිපයේ අනාගතයක් තිබූ තරුණ ජනප්‍රිය නායකයෙකි. ඔහු ශ්‍රීලනිපයේ යටපත් කොට තිබූ ජනප්‍රිය තරුවකි. දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ නායකයා විය යුතුව තිබුණු ලංකාවේ ජනප්‍රිය චරිතයකි. චන්දිම දැනටමත් සජිත්ට එක්වී තිබේ. දයාසිරි සජිත්ට එක්වීමට සාකච්ඡා කරමින් සිටී. ගාල්ලම හොල්ලන ගමේ තරුවක් වූ ශාන් විජයලාල් කලින්ම සජිත්ට එක්විය. පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපයෙන් සජිත්ට එක්වූ මන්ත්‍රීවරු දූෂණ චෝදනා නැති ජනප්‍රිය මන්ත්‍රීවරුය. ජේ.ආර්. ජයවර්ධනගේ මුණුබුරා ප්‍රදීප් ජයවර්ධන පසුගියදා සජිත්ට එක්විය. 1994 ගාමිණීට එරෙහි රනිල් සටනේදී ප්‍රදීප් හිටියේ ගාමිණී දිසානායක සමගය. මේ නිසා රනිල් පක්ෂ නායකත්වයට පත්වූ පසු ප්‍රදීප්ව පක්ෂයේ හතර මායිමට ගත්තේ නැත. සජිත් ප්‍රදීප්ට යූ.ඇන්.පී.යේ දොර විවෘත කළේය. ගාමිණී දිසානායකගේ දෙවැනි පුතා මයන්ත ඉන්නේත් සජිත් සමගය. 1994දී ගාමිණීගේ ජනාධිපති සටනට සහාය දෙන්න දෝෂාභියෝග තරහා මරහා අමතක කොට ප්‍රේමදාස පවුල ඉදිරිපත් විය. මෙදා ගාමිණීගේ පුතා සජිත්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. ඒ වගේම ඩී.ඇස්. සේනානායකගේ මුණුබුරකු වන වසන්ත සේනානායකද සජිත්ට එක්වී සිටී.
හිටපු හමුදාපතිවරුන් වූ යුද්ධයේදී මාධ්‍යවල වීරයන් නොවී දිවි පරදුවට තබා රට වෙනුවෙන් කැපවූ මහේෂ් සේනානායක, දයා රත්නායක, දයා සඳගිරි සේම මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සජිත් සමග එක්වී සිටිති. ඔවුන් සජිත් සමග එක්වන්නේ සජිත් යුද්ධයට සහාය පළකළ නිසාය. රනිල් යුද්ධයට අපහාස කරද්දී සජිත් යුද්ධය සහ යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. මෙම හමුදා නායකයන් එය හොඳින්ම දනී. ඔවුන් හමුදාව තුළ දේශපාලනය කළේ නැත. හමුදාවෙන් විශ්‍රාම ගියාට පසු ඔවුන් රටට අවශ්‍ය නායකයා විය යුත්තේ කවුද කියන එක තීරණය කොට තිබේ.
ඒ වගේම ලංකාවේ ජාතික පක්ෂ නායකයන් වූ රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන්ද සජිත්ගේ සමගි ජන සන්ධානයේ ප්රබලයන්ය.
මෙහෙම සන්ධානයක් ලංකාවේ ඉතිහාසයේ කවදාවත් බිහිවී නැත. වම සහ දකුණ, උතුර වගේම දකුණ එකට එකතු කරන මේ සන්ධානය ලංකාවේ ලොකුම සන්ධානයය. 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල දිනවන්න ශ්‍රීලනිප ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක්වූයේ මන්ත්‍රීවරු සුළු පිරිසකි. ජනාධිපතිවරණයකදී ආණ්ඩුවෙන් මෙතරම් විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ අපේක්ෂකයා දිනවන්න එක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2015 සුළු පිරිසක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෛත්‍රීපාල දිනවන්න ආවේ මෛත්‍රීපාල ශ්‍රීලනිප ලේකම් වූ නිසාය. සජිත් විපක්ෂයේ නායකයාය. මේ සන්ධානය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විප්ලවීය සන්ධානය කියන්නේ එහෙයිනි.
යූ.ඇන්.පී.ය ඉවරය. ශ්රීලනිපය ඉවරය. පොදුජන පෙරමුණ පණ අදිමින් සිටී. යූ.ඇන්.පී. හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රෙමදාස, පොදුජන පෙරමුණේ හිටපු සභාපති ජී.එල්. පීරිස්, ශ්‍රීලනිපයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර එක්වී හදන මේ සන්ධානය 1947 ඩී.ඇස්. බිහිකළ ටීම් එකට පසු ආණ්ඩුවක සිටිය යුතු හොඳම ටීම් එක වගේම හොඳම ක්‍රීම් එකය. ඉන්දියාවට මහා භාරතයය. ලංකාවට මහාවංශයය. 2024 ජනාධිපතිවරණයට මහා සන්ධානයය.