පොහොට්ටුවෙන් දාපු කොන්දේසි 10..!
ධමිම්කට බැසිල් තවත් වැඩක් බාරදෙයි!
රනිල්ට හිතවත් පොහොට්ටු මැතිඇමැතිවරන්ට යන එනමං නැතිවෙයි?
කට්ටිය වටේ යවද්දී අපි ඇත්ත කිව්වා!
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇති බව පළමු වරට රටට අනාවරණ කළේ ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ, පොහොට්ටුවේම යම් යම් පිරිස් අකුරු තුනේ නායකයෙක් පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වන බව කිය කියා රටේම ජනතාව කඩේ යවමින් සිටි මොහොතකය. ඒ අවස්ථාවේදී අප පැහැදිලිවම කියා සිටියේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්නේ අකුරු තුනක අපේක්ෂකයකු නොව, අකුරු හතරක අපේක්ෂකයකු බවත්, ඒ, ධම්මික පෙරේරා බවත්ය. අප කී ආකාරයටම පසුගියදා සුගතදාසයේ පැවැති සම්මේලනයේදී පක්ෂයේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂ ධම්මිකට රාජපක්ෂවරුන් අතරේ ඉදිරි පෙළ ආසනයක් ලබාදී ධම්මික පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බව නිල නොවන වශයෙන් රටට ඉඟියක් ලබාදුන්නේය. ඒ පසුපස පැවැති කතා සියල්ලම පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකළ අප, තවදුරටත් තොරතුරු අනාවරණ කරමින් කියා සිටියේ ධම්මිකගේ කලඑළි බැසීමෙන් මුළු දේශපාලන ක්ෂේත්රයම විශාල කලබලයකට පත්ව ඇති බවය. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මෙම පුවතත් සමගින් දැඩි කැළඹීමකට පත්ව සිටි බවය. එමෙන්ම අප එහිදී කියා සිටියේ ධම්මිකගේ මෙම කලඑළි බැසීම හරහා ඉදිරියේදී විශාල දේශපාලන යුද්ධයක් සිදුවන ලකුණු දැනටමත් පහළ කොට ඇතැයි කියාය.Sri Lanka Latest News
අප කී එම තොරතුරද 100%ක් තහවුරු කරමින් ධම්මිකගේ එළිබැසීමත් සමග පළමුවෙන්ම මාධ්‍යවල පළවූ පුවත වූයේ ‘ජනවාරියේ ඉඳන් අපි ජනාධිපතිවරණ කැම්පේන් එක පටන්ගන්නවා.’ යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කියා සිටි බවට වූ පුවතය. ඉන් අනතුරුව තවත් විවිධ ප්රවෘත්ති මාධ්‍ය ඔස්සේ පැළවන ආකාරයක්, එහෙමත් නැත්නම් ‘ප්ලාන්ට්’ වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඇතැම් පුවත්පතක පළවුණේ එජාප නායකත්ව මණ්ඩලය ලබන ජනවාරියේ සිට වැඩ පටන්ගන්නවා යැයි කියාය.
කවුරුත් කතා කරන්නේ නෑ!
කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට තොරතුරු තහවුරු වෙමින් තිබුණද එජාපයේ කිසිවකුත් එජාප අපේක්ෂකයා පිළිබඳ හෝ වචනයක් සඳහන් කිරීමට කටයුතු කොට නොතිබීම විශේෂ සිදුවීමක් විය. එහිදී එජාපය වෙනුවෙන් එකම එක් පුද්ගලයකු පමණක් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියමින් ප්‍රකාශයක් නිකුත් කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාය. රවි පමණක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කරන බවත්ය.
පොහොට්ටුවත් සද්ද නෑ!
නමුත් පසුගිය කාලයේ රනිල් ඉතා ප්‍රබල තැනක සිටිද්දී ඔහු සමීපයේ සිටිමින් ඔහුට සහාය දක්වන බවට ප්‍රකාශ නිකුත් කළ පොහොට්ටු ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම වැනි ඇමැතිවරුන් පවා පසුගිය සති කිහිපය පුරා යම් නිහඬ ව්රතයක යෙදී සිටීම විශේෂ සිදුවීමක් විය. මුල් කාලයේදී මේ දෙදෙනාම ප්‍රසිද්ධියේ කියා සිටියේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම සහාය නිසැක වශයෙන්ම රනිල්ට ලබාදෙනවා යැයි කියාය. නමුත් මෙවර රවි හැරුණු විට ප්‍රසන්න හෝ දිලුම් රනිල් ගැන වචනයක්වත් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ධම්මිකට කොන්දේසි!
මේ අතර පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරයට පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා සිටින ධම්මික හට යැවූ අතිවිශේෂ ලිපියක කොටසක් දැකගන්නට ලැබිණි. පොහොට්ටුවෙන් ධම්මිකට එවා තිබූ එම ලිපියෙන් ප්‍රශ්න 10ක් ධම්මිකට යොමුකොට තිබූ අතර, එම ප්‍රශ්න 10ට ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන්ද විමසීමක් කොට තිබිණි. ‘රාජ්‍ය රහස් තීරයට දැකගන්නට ලැබුණු එම ලිපියේ ඇතුළත්ව තිබුණු ප්‍රශ්න 10 මෙසේය.
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා සලකා බලමින් සිටින අපේක්ෂකයන්ට ඉදිරිපත් කර ඇති කොන්දේසි 10.
- ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතුය.
- ලෝකයේ අනෙකුත් රටවල් සමග තරග කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් රටේ සිසු පරපුරට ලබාදීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එමෙන්ම ලෝකයේ ඕනෑම රටක රැකියාවක නිරත විය හැකි පරිදි මෙරට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබිය යුතුය.
- ගොවි ජනතාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය වැඩිකිරීම, නව දෙමුහුන් බීජවර්ග හඳුන්වා දීම තුළින් අස්වනු වැඩිකිරීම, පාංශු පරීක්ෂණ පත්‍රිකාව (ීදසක යැ්කඑය ජ්රාි) පදනම් කරගත් පොහොර නිර්දේශ ක්‍රමයක් හඳුන්වාදීම යනාදිය ඔස්සේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතුය.
- ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල දිළිඳුකම තුරන් කිරීම සඳහාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහාත් එම ප්‍රදේශවලට මුදල් ගලා එන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ අනුව ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනතාවට රැකියා දස ලක්ෂයක් බිහිකරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඉහත වැඩපිළිවෙළින් සෑම පුද්ගලයකුටම නිශ්චිත ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකි බව සහතික කිරීම.
- ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කළ යුතු අතර ආර්ථිකය ප්‍රසාරණය කළ යුතුය. ඒ සඳහා දේශීය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ සකස් කළ යුතුය.
- බඩු මිල සහ ජීවන වියදම ජනතාවට දරාගත හැකි මට්ටමක් දක්වා අඩුකළ යුතුය. දැනට ජනතාව මත දැඩි පීඩනයක් ඇතිවන පරිදි පනවා ඇති ඪ්ඔ බද්ද අඩු කළ යුතුය.
- රජය සතු ව්‍යාපාර හෝ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකළ යුතුය. එමෙන්ම දැනට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තත්වයට පත්කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. සියලු මහජන සේවාවන් සඳහා ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක් පිහිටුවිය යුතුය. වංචා සහ දූෂණ සිදු නොවන පරිදි රජයේ සියලුම මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පටිපාටි සඳහා ලෝකයේ වෙනත් රටවල මෙන් විනිවිදභාවයෙන් යුතු මහජනයාට තොරතුරු දැකගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. වංචා සහ දූෂණ පිටුදැකීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී පළමු 1000 අතරට ගෙන ඒම සඳහා එම විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් නැවත බිහි නොවීම සඳහා එම විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි සකස් කළ යුතුය.
- සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට සංචාරකයන් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සහිතව ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය.
- ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන පරිදි ඩොලර් ඉපයීමේ උපායමාර්ග සහිත නිශ්චිත නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය.
ඒ කියන්නේ රනිල් නෑ!
මේ ආකාරයට ඉහත සඳහන් කොන්දේසි 10 ධම්මික පෙරේරාට යැවීමත් සමග පොහොට්ටුව පැත්තෙන් තවත් විශාල පණිවුඩයක්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට ලබාදුන්නේය. ඒ, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන්ම රනිල් නොවන බවය. එමෙන්ම බැසිල් මෙම කොන්දේසි 10 එළියට දැම්මේද නිකම්ව ආවාට ගියාට නොව, හොඳ හැටි පස්මහ බැලුම් බලලාය. මොකද කියනවා නම් හදිසියේම සම්මේලනය පැවැත්වීමත්, සම්මේලනය හරහා ධම්මිකව කලඑළි බැස්සවීමත් සමග මුළු දේශපාලන ක්ෂේත්රයම කැලඹෙන බව බැසිල් හොඳහැටි වටහාගෙන සිටියේය. එමෙන්ම මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැට් බද්ද 18%කට ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමත් සමග ඉදිරියේදී බරපතළ ආර්ථික අර්බුදයකට ජනතාවට මුහුණ දීමට සිදුවන බවද බැසිල් හොඳහැටි දැන සිටියේය. එමෙන්ම වත්මන් ආණ්ඩුව ගෙනයන ජනතා පීඩක ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඉදිරියේදී බරපතළ අර්බුදයක් මතුවීමට නියමිත බවද බැසිල් ගණන් හදා සිටියේය. ඒ අනුව ධම්මිකට යැවූ මෙම කොන්දේසි 10 හරහා බැසිල් පිළිතුරු බලාපොරොත්තු වූයේ ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුව ඇතිකොට ඇති ආර්ථික අර්බුදයටය. ඒ අනුව ධම්මික මෙම ප්‍රශ්න 10ට පිළිතුරු සැපයුවහොත් ඒ හරහා රනිල් සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණ සටනෙන් ඉවත් කිරීම බැසිල්ගේ සැලසුමය.
ධම්මික උත්තර දෙනවා!
ඒ අනුව ධම්මික, බැසිල් එවූ මෙම ප්‍රශ්න 10ට පිළිතුරු ලබාදෙන්නේ කවදාද? අපට ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ ධම්මික නුදුරේදීම මෙම ප්‍රශ්න 10ට ඉතා සාර්ථකව පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බවය. මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කළ සියලු තොරතුරු සත්‍ය වූ ආකාරයටම ඉදිරි දින කිහිපය ඇතුළත අප විසින් ධම්මික මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නියමිත දිනයද නිශ්චිතව රටට හෙළි කිරීමට සූදානම්ය.
බැසිල් දෙවන පෙළ කැඳවයි!
මීට අමතරව තවත් විශේෂ කරුණක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිකිරීමට අප සූදානම්ය. ඒ, සමුළුව පැවැත්වීමට දින කිහිපයකට පෙර බැසිල් පැවැත්වූ විශේෂ සාකච්ඡාවන් කිහිපයක් සම්බන්ධයෙන්ය. මෙහිදී බැසිල් පසුගිය කාලය පුරා රනිල්ට අතිශය හිතවත් ලෙස කටයුතු කරමින් පොහොට්ටුවේ සංවිධාන කටයුතු අඩපණ කළ මැති ඇමැතිවරුන් සිටින දිස්ත්‍රික්කවල සහ ආසනවල දෙවැනි පෙළ ආසන සංවිධායකවරුන් ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී බැසිල් ඔවුන්ට යම් ඉඟියක් ලබාදෙමින් කියා තිබුණේ ඉදිරි මැතිවරණයකදී පොහොට්ටු ප්‍රබලයන් කිහිප දෙනකු රනිල් සමග එක්ව කටයුතු කළ හැකි බවත්, එසේ වුවහොත් එම සංවිධායක ධුර මෙම දෙවැනි පෙළ නායකයන්ට ලබාදීමට තීරණය කර ඇති බවත්ය. එම නිසා දැන් සිටම සිය ආසනවල සංවිධාන කටයුතු ආරම්භ කරන ලෙසද මෙහිදී බැසිල් මෙම දෙවැනි පෙළ ආසන සංවිධායකවරුන්ට දැනුම්දීමක්ද සිදුකොට තිබිණ.
ඇයි එහෙම කළේ!
මෙහිදී බැසිල් ඉලක්ක කර සිටින මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේම නම් මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය සතුව තිබේ. මේ අවස්ථාවේදී අප එය හෙළිදරව් නොකරන්නේ ඒ හරහා ඔවුන්ට යම් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති නිසාය. කෙසේ වෙතත් බැසිල්ගේ මෙම සාකච්ඡාව පිළිබඳ ආරංචි වූ පොහොට්ටු ප්‍රබලයන් කිහිප දෙනකුම පක්ෂ මූලස්ථානයට පැමිණ එවැනි සාකච්ඡාවක් කළේ ඇයිදැයි බැසිල්ගෙන් අසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී බැසිල් ඒ සියලු දෙනාට දුන්නේ අපූරු පිළිතුරුකි.
‘ඕගොල්ලෝ ඉතින් ආසනවල වැඩ කරන්නේ නෑනේ. ඕගොල්ලන් පොහොට්ටුවෙන් පත්වුණු මන්ත්‍රීවරු. ඇමැතිකම් දරන්නේ පොහොට්ටුව හින්දා. හැබැයි ඕගොල්ලෝ ලෑස්ති වෙන්නේ රනිල් එක්ක සන්ධාන ගහන්න. දැන් එන්නේ ඡන්ද වසරක්. ඉතින් අපි ඒකට වැඩ පටන්ගන්න ඕනේ. ඕගොල්ලෝ හරියට වැඩ කරන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා එතැනට අපේ වෙන කෙනෙක් දම්මලා සංවිධාන කටයුතු කරන්න.’ යනුවෙන් බැසිල් කෙළින්ම කියද්දී එක් ඇමැතිවරයකු බැසිල්ගෙන් විමසා සිටියේ, ‘ඔබතුමා කියපු නිසයි අපි ගිහින් ඇමැතිකම් ගත්තේ. ඔබතුමා කියනවා නම් අපි ඒ ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්නම්’ යැයි කියාය. එහිදී බැසිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ මේ මොහොතේ ඇමැතිකම්වලින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවකි.
‘නෑ නෑ, ඕගොල්ලේ අස්වෙන්න ඕනේ නෑ. මම කියන්නේ ඕගොල්ලෝ පෙහොට්ටුවෙන් ආපු නිසා පොහොට්ටුවට වැඩ කරන්න කියලයි. එහෙම නැති වුණොත් අපටත් වෙන දේශපාලන තීන්දු ගන්න වෙනවා’ යන්න එහිදී බැසිල් දී තිබූ පිළිතුරය.
ඡන්දෙට පොහොට්ටුවෙන්!
ඊට අමතරව ධම්මික කරළියට ගෙන ඒමට ප්‍රථම බැසිල් ප්රමුඛ පොහොට්ටුව තවත් විශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ඉදිරිපත් කරන අපේක්ෂකයා පොහොට්ටුව පක්ෂයෙන්, පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කිරීමටය. ඒ අනුව අලුත් සන්ධාන හෝ අලුත් ලකුණුවලින් ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ඉදිරිපත් නොවන බව බැසිල්ගේ මේ තීන්දුව හරහා පැහැදිලිය.
ධම්මිකට වැඩක් පවරයි!
මීට අමතරව තවත් විශේෂ කටයුත්තක්ද බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ධම්මිකට භාරදී තිබිණි. ඒ, අනෙකුත් පක්ෂ සහ සංවිධාන පොහොට්ටුවට යළි එකතු කරගන්නා කටයුත්තය. ඒ අනුව මෙම කාර්යයද භාරගත් ධම්මික ඊට පළමු පියවර තබමින් පසුගිය සතියේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ, මහගම සේකර මාවතේ පිහිටි මෛත්‍රීගේ නිවෙසේදීය. මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා වූයේ සියලු දෙනාටම එකතු විය හැකි ආකාරයේ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳවය. මෙහිදී මෛත්‍රී, ධම්මිකට පෙන්වා දී ඇත්තේ සජබය ප්‍රධාන කොට බිහිවන සන්ධානය මෙහි ප්‍රධාන එක වුවද, ඊටද යම් යම් පිරිස් එක්විය නොහැකි තැනක සිටින බවත්, ඒ සියලු දෙනාම මෙම සන්ධානයට එකතු කරගත යුතු බවත්ය.
‘දැන් අපිට පේන විදියට සජබය මුල්කරගෙන තමයි ලොකුම සන්ධානය බිහිවෙන්නේ. හැබැයි එතැනත් යම් යම් ප්‍රශ්න තියෙනවා. ඇතුළෙම අය කියනවා සමහර අයව ගන්න බෑ කියලා. සමහරු ඒක කඩන්නත් ප්ලෑන් කරනවා. ඒ හින්දා අපි කරන්න ඕනෙ එතැනට යන්න බැරි හැමෝම මේ අලුත් සන්ධානයට එකතු කරගන්න එක. උදාහරණයක් විදියට ඒ අය දැනටමත් කියලා තියෙනවා විමලුයි, ගම්මන්පිලයි ගන්න බෑ කියලා. අපි ඒ අයවත් අපේ සන්ධානයට එකතු කරගන්න ඕනේ. ඒ වගේම වතුකරයේ දිගම්බරම් සජබයත් එක්ක ඉන්න හින්දා අනෙක් අය එතැනට යන්න කැමැති නෑ. ඉතින් ඒ අයවත් අපි මේකට එකතු කරගන්න ඕනේ.’ යනුවෙන් මෛත්‍රී ධම්මිකට පෙන්වා දෙද්දී ධම්මිකද ඊට හිස වනමින් එකඟතාව පළකළ ආකාරයක් දක්නට ලැබිණි. ඒ අනුව දෙදෙනා අතර පැවැති සාකච්ඡාව සුබවාදීව සහ ධනාත්මක අයුරින් අවසන් වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
රවීගෙන් ඩිනර් එකක්!
මේ අතර, එජාපයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් බව ප්‍රකාශ කළ රවි, එතැනින් පසු නිකන් සිටියේ නැත. සිය නිවෙසේ රනිල් ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට රවි පියවර ගෙන තිබිණි.
වැලන්ස් පියතුමාටත් ආරාධනා!
ඒ අනුව නත්තල් දිනට දින දෙකකට පෙර රවිගේ බත්තරමුල්ලේ පිහිටි නිවෙසෙහි නත්තල් සාදයක් පැවැත්විණි. ඊට ජනාධිපතිවරයාට අමතරව දේශපාලන චරිත ලෙස දැකගන්නට තිබුණ් ජීවන් තොණ්ඩමන්, හරීන් ප්‍රනාන්දු, දිලුම් අමුණුගම ආදීන්ගේ මුහුණුය. නමුත් තවත් විශේෂ අමුත්තෙක්ද මේ සාදය සඳහා ආරාධනා ලැබ තිබිණි. ඒ, මහනුවර දිස්ත්‍රික්කය භාර රදගුරුවරයා වන වැලන්ස් මෙන්ඩිස් පියතුමාණන්ය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි අයුරින් පරීක්ෂණ නොපවත්වන බවට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට චෝදනා කර ඇති පසුබිමක් යටතේ ජනාධිපතිවරයාද සහභාගි වන නත්තල් සාදයකට රවි විසින් වැලන්ස් මෙන්ඩිස් පියතුමාටද ආරාධනා කර තිබීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී යම් යම් දේශපාලන කරුණුද පිරිස අතර සාකච්ඡා වනු දැකගන්නට ලැබිණි.
ඉදිරි සැලසුම මෙන්න!
ඒ අනුව ධම්මිකගේ ආගමනයත් සමග මින් ඉදිරියට රනිල්ගේ දේශපාලන සැලසුම කුමක් වනු ඇද්ද? ඒ පිළිබඳවද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කිරීමට අප සූදානම්ය. සාමාන්‍යයෙන් රනිල් සිය දේශපාලනය සිදුකරන්නේ තමන්ට හිතවත් මාධ්‍යවල පුවත් ‘පැළ’ කිරීම හරහාය. මේ බව අවස්ථා ගණනාවකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දීමට කටයුතු කළෙමු. එසේම, ඒ පුවත් පැළකරන්නේ කෙසේද, පුවත් පැළවන්නේ කොහෙන්ද, එම පුවත් ලබාදෙන්නේ කාහටද යන්න පිළිබඳවද අවස්ථා කිහිපයකදීම අපි මේ තීරයෙන් රටට අනාවරණ කළෙමු. අප කරනු ලැබූ මෙම හෙළිදරව් නිසාම පසුගිය කාලසීමාව පුරා එවැනි පුවත් දැකගන්නට නොලැබුණු අතර, ජනතාවද යම් තරමකින් මේ වන විට එවැනි පුවත් හඳුනාගැනීමට තරම් සවිඥානික වී ඇති බවක්ද දැකගන්නට තිබේ.
නාට්‍යයක් අත ළගයි!
කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත වතාවක් විශාල දේශපාලන නාටකයක් ආණ්ඩුව පැත්තෙන් රඟදැක්වීමට සැලසුම් කරන ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ, පොහොට්ටු මන්ත්‍රීවරුන් හොල්මන් කළ හැකි ආකාරයේ බලයක් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී තිබීම මුල්කරගෙනය. එම බලය වී ඇත්තේ වෙන මොකක්වත් නොව අවශ්‍ය අවස්ථාවක ගැසට් එකක් ගැසීම හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයය.
පාර්ලිමේන්තුව විසුරුවනවා!
ඒ අනුව මේ වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සැලසුම් කොට ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත ‘ඔන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා..’, ‘මෙන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා…’, ‘හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවනවා…’ යැයි කියමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් දියත් කිරීමටය. මීට අමතරව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, මැතිවරණ කොමිසමෙන් අදහස් විමසා ඇති බවටත් ආදී වශයෙන් පුවත් පළකිරීමට සැලසුම් කොට ඇති බවක්ද ආරංචිය. මේ හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන් බියගැන්වීමටත්, ඔවුන් ජනාධිපතිවරයා හමුවී පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස ඉල්ලීම් කරන ආකාරයේ සිදුවීම් මේ දේශපාලන නාටකයට ඇතුළත් කර ඇති බවක්ද ආරංචිය.
ප්‍රබලයෙක් නුවරඑළියට
පොහොට්ටුව අහුවෙයිද?
ආණ්ඩුව විසින් රඟදැක්වීමට නියමිත මෙම දේශපාලන නාටකයට පොහොට්ටු මන්ත්‍රීවරුන් අහුවනු ඇද්ද, අහු නොවනු ඇද්ද යන්න පිළිබඳ කීමට දැනට අපට තොරතුරු නැත. නමුත් මෙම නාට්‍යය වේදිකාගත කිරීම සඳහා මේ වන විට පොහොට්ටුවේ යම් යම් ප්රබලයන්ගේ සහාය ලබාගැනීමටද ජනාධිපතිවරයා දැල යොදා අවසානය. ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පසුගිය දින කිහිපයේ සීතල නුවරඑළියේ සුවිසල් බංගලාවක නත්තල් නිවාඩුව ගතකළ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ප්‍රබල ඇමැතිවරයකු නුවරඑළියට ගෙන්වාගෙන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවය. එමෙන්ම මෙම පොහොට්ටුවේ අමාත්‍යවරයා සමග තවත් දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මීට අමතරව මෙම ප්‍රබල අමාත්‍යවරයාගේ පවුලේ ඥාතියකුට යම් පළාතක් භාර ප්‍රබල සම්බන්ධීකරණ තනතුරක් ලබාදී ඇති බවටද තොරතුරු තිබේ. එම ඥාතියාට එකී තනතුර ලබාදී ඇත්තේ ඉදිරියේ සිදුවීමට නියමිත දේශපාලන හැලහැප්පීම්වලදී මෙම පොහොට්ටු ප්‍රබලයාව පාවිච්චි කිරීමේ අරමුණෙන් බවද පැවසේ. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විවිධ තොරතුරු ලැබෙමින් පවතින අතර, ඉදිරියේදී අප ඒවා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය.
ඩලස් ඉල්ලූ තනතුර!
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතිය වන විට සමගි ජන බලවේගය ප්‍රධාන කොටගත් දැවැන්ත දේශපාලන සන්ධානයද කලඑළි බැසීමේ ලකුණු පහළ කොට තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ අසුන්ගත් දින සිටම විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් උත්සාහ කළේ සජබය ප්රමුඛ කොටගෙන ගොඩනැගීමට උත්සාහ කළ මෙම සන්ධානය කඩාකප්පල් කිරීමටය. ඒ සඳහා ගත් විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු අවස්ථා ගණනාවකදීම මෙම තීරයෙන් අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. ඒ සඳහා විවිධ පුවත් පළකළ ආකාරය, විවිධ පුද්ගලයන් උපයෝගී කරගත් ආකාරය, එම මෙහෙයුම් අසාර්ථක වූ ආකාරය ආදිය වරින් වර අපි මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු.
මේක දෙන්නම්!
කෙසේ වෙතත් පසුගිය කාලය පුරා සජබය සමග සන්ධානගත වීමට සාකච්ඡා පැවැත්වූ ප්‍රධානම කණ්ඩායමක් වූයේ ඩලස් ප්රමුඛ නිදහස් ජනතා සභාවේ 13 දෙනාය. මෙහිදී එහි සිටින අති බහුතරයක් සජබය සමග කෙළින්ම සම්බන්ධ වීමට තීරණය කර ඇති නමුත් ඩලස් අලහප්පෙරුම හා චරිත හේරත් යම් යම් හේතු මත සජබයට එක්වීම පමා කිරීමට කටයුතු කොට තිබිණි. එහිදී ඩලස්ගේ ප්රශ්නය වී තිබුණේ ඔහු විසින් නව සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය ඉල්ලා සිටීමය. නමුත් සජබය එහිදී පෙන්වා දී තිබුණේ මෙම සන්ධානය තුළ පක්ෂ ගණනාවක් සිටින බැවින් නියෝජ්‍ය නායක තනතුරක් ඩලස්ට ලබාදිය නොහැකි බවය. විශේෂයෙන්ම රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන් වැනි පක්ෂ නායකයන් රැසක් සිටියදී ඩලස්ට නියෝජ්‍ය නායකත්වය ලබාදිය නොහැකි බවත්, නායකයා ප්රමුඛ නායකත්ව මණ්ඩලයක් මෙම සන්ධානය තුළ නිර්මාණ්ය වන බවත් එහිදී සජිත්ගේ පැත්තෙන් කියවිණි. නමුත් ඩලස් එම තනතුර දිගින් දිගටම ඉල්ලා සිටි නිසා අවසානයේදී සජබය මැද තැනකට ඇවිත් යෝජනා කළේ එසේ නම් නව සන්ධානයේ ප්‍රධාන කැඳවුම්කරු ධුරය ඩලස්ට ලබාදිය හැකි බවය. නමුත් ඩලස් ඊට එකඟතාව පළකළේ නැත. ඒ අනුව සන්ධානයේ සාකච්ඡාවලින් ඩලස් ඉවත් වූ අතර, ඒ සමගම මහාචාර්ය චරිත හේරත්ද ඉවත් වීමට පියවර ගෙන තිබිණි. චරිතගේ යෝජනාව වී තිබුණේ දැන්ම සන්ධානයට එකතු වුවහොත් එය සජබයට වාසියක් වනු ඇති බවත්, ජනාධිපතිවරණයට මාසයක් පමණ තබා එකතු වුවහොත් එය නිදහස් ජනතා සභාවට වාසියක් වනු ඇති බවත්ය.
මෙසේ ඩලස් හා චරිත සාකච්ඡාවලින් ඉවත් වුවද ජී.එල්. පීරිස් අනෙකුත් කණ්ඩායම සමග සජබය සාකච්ඡාවල දිගින් දිගටම නිරත වී සිටියේය. ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේ නියත වශයෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත්, ඊට මාස දෙකකට පසු මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්, එම නිසා දැන්ම තියා නව සන්ධානය බිහිකළ යුතු බවත්ය.
සන්ධානයේ පිල්ලි!
කෙසේ වෙතත් මේ ආකාරයට අලුත් සන්ධානය බිහිකිරීමේ පසුබිම සකස් වී තිබියදී පවා සජබය ඇතුළේ එම මතය දුර්මුඛ වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොවුණා නොවේ. ඇතැමුන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේම කියා තිබුණේ කිසියම් කණ්ඩායමක් සන්ධානයට එකතු වෙනවා නම් ඒ එන පිරිස සජබ ආර්ථික ප්‍රතිපත්ති පිළිගත යුතු යැයි කියාය. සජබයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතු යැයි කියාය. මේ ආකාරයට විවිධ පුද්ගලයන් සන්ධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබීම නිසා අවස්ථා ගණනාවකදීම පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් සජිත්ට පෙන්වා දී තිබුණේ මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සන්ධානය ගොඩනැගීමට හානිකර නිසා ඒවා වහාම නැවැත්විය යුතු යැයි කියාය. එවැනි පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එහිදී බොහෝ දෙනා සජිත්ට පෙන්වා දුන්හ. විශේෂයෙන්ම ගම්වල සිටින පාක්ෂිකයන් සහ ආසන සංවිධායකවරුන් සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සහ කෙටි පණිවුඩ තබමින් කියා තිබුණේ සජබය දැනට ගමේ සිටින මට්ටමින් ඉදිරියට පැමිණීමට නම් නියත වශයෙන්ම සන්ධානයක් බිහිවිය යුතු බවත්, ඊට සියලු දෙනා ඒකරාශී කරගත යුතු බවත්ය.
මීට අමතරව සන්ධානය කඩාකප්පල් කිරීමට මාන බලන ඇතැම් මන්ත්‍රීවරුන් තැන් තැන්වල කර ඇති විවිධ ප්‍රකාශයන් පිළිබඳවද සජබ මන්ත්‍රීවරුන්ට තොරතුරු රැසක් ලැබී තිබිණි. සන්ධානයක් ගොඩනගනවා නම් මුලින්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කතාකළ යුතු බවත්, ඔහු සහ ඔහුගේ පාර්ශ්වයද ඊට එක්කරගත යුතු බවත් මෙම පිරිස් සඳහන් කොට තිබිණි. එසේම රනිල්ට කතාකළ නොහැක්කේ මන්ද යනුවෙනුත් ඔවුන් කතාබහ කර තිබූ බවටද තොරතුරු වාර්තා වී තිබිණි.
මීට අමතරව රාජගිරියේ පිහිටි එක්තරා නිවෙසක මෙම සජබ සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා නිතර නිතර සාකච්ඡා පැවැත්වී ඇති බවත්, ඊට සහභාගි වී සිටි පුද්ගලයන් පිළිබඳවත් සජබ මන්ත්‍රීවරුන්ට තොරතුරු රැසක් ලැබී තිබිණි.
කෘත්‍යාධිකාරිය කැඳවයි!
සජිත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සිකුරාදා රැස් කළේ මෙවැනි පසුබිමක් යටතේය. අතිශය තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් බව වැටහී තිබුණු නිසාදෝ ඊට වෙනදාට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම රැස්වීම ආරම්භයේදීම ප්‍රධාන මාතෘකාව වන සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් කතා කරමින් සජිත් සියල්ලන්ටම කියා සිටියේ ඉදිරි මැතිවරණවලදී සජබ ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම සන්ධානයක් ගොඩනැගිය යුතු බවත්, පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන්ට එය ගොඩනැගීම සඳහා බලය ලබාදුන් බවත්, ඒ අනුව තමන් එම සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, එය සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනාගේම ආශීර්වාදය තමන්ට අත්‍යාවශ්‍ය බවත්ය. සජිත් මෙම මාතෘකාව එළියට ගත්තේම පක්ෂය ඇතුළේ ඒ වන විටත් යම් යම් පුද්ගලයන් විසින් සන්ධානයට එරෙහිව තැන් තැන්වල ප්‍රකාශ සහ යම් යම් ක්‍රියාකාරකම් සිදුකොට ඇති බවට ලැබී තිබූ තොරතුරු නිසාය.
තල්ලුව මරික්කාර්ගෙන්!
සජිත්ගේ මේ ආරම්භයත් සමග ඊට රුකුල් දුන්නේ මරික්කාර්ය. මරික්කාර් දැඩිව කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන් සන්ධානය බිහිකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත්ය.
‘දැන් එන්නේ මැතිවරණ වසරක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි තියන්න ඕනේ. අපිට මේවා ජයගන්න නම් සන්ධානයක් තියෙන්නම ඕනේ. අපි සන්ධානයක් ගහනවා කියලා කිව්වාම දැන් හැමෝම කලබල වෙලා. ගොඩක්ම කලබල වෙලා තියෙන්නේ රනිල්. පොහොට්ටුවත් කලබල වෙලා. අනුරත් කලබල වෙලා. මේ හැමෝටම ඕනේ මෙතැන සන්ධානය හැදෙන එක කඩන්න. මොකද ඒ අය දන්නවා මෙතැන හැදෙන සන්ධානය තමයි ඡන්ද දිනන සන්ධානය කියලා. ඔබතුමා තමයි පක්ෂ නායකයා විදියට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ. ඒ නිසා ඔබතුමාට අවශ්‍ය විදියට සන්ධානය බිහිකරන්න අපි බලය පවරලයි තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ඉස්සරහට යන්න බෑ…’ යනුවෙන් කියමින් මරික්කාර් සන්ධානයට පක්ෂව අදහස් ප්‍රකාශ කරද්දී ඊට පරස්පර යම් යම් අදහස්ද පළනොවුණා නොවේ. එවැනි එක් අදහසක් පළ කළේ මුජිබර්ය. ඒ, සන්ධානයට එකතු වීමට නියමිත යම් යම් පිරිස් පසුගිය කාලයේදී මුස්ලිම් ප්‍රජාවට ගැටලු ඇතිකළ බව කියමිනි.
මුජිබර්ගේ ප්රශ්නය!
‘මට මෙතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සන්ධානය හදන එක ගැන අපිට අවුලක් නෑ. ඒක අනිවාර්යෙන්ම හැදෙන්න ඕනේ. හැබැයි මේ සන්ධානයට එකතු කරගන්න අය ගැන යම් යම් ගැටලු තියෙනවා. උදාහරණයක් විදියට නිදහස් ජනතා සභාවේ චන්න ජයසුමන මන්ත්‍රීතුමා. එතුමා පහුගිය කාලේ මුස්ලිම් කලබල ඇතිවුණු වෙලාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කළා. ඒ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.’ යනුවෙන් මුජිබර් කියද්දී හිරුණිකාද මෙම පිරිස සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළාය. ඒ ඔවුන් අරන් එන ඡන්ද ප්‍රමාණය කියමින්ය.
‘සන්ධානයක් හැදුවට කමක් නැහැ. හැබැයි අපි ඒකට එකතු කරගන්න අය ගැන හොඳට බලන්න ඕනේ. මේකට එකතු වෙන අයට ඡන්ද කීයක් තියෙනවද, ඒ අය අපිට එද්දී ඡන්ද කීයක් අරන්ද එන්නේ කියලා බලන්න ඕනේ…’ යනුවෙන් හිරුණිකා අදහස් පළකළ නමුත් නිරෝෂන් පාදුක්ක, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන අය සන්ධානයක් අවශ්‍ය බව කියමින් අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
සුජීවත් විරුද්ධයි?
කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හොඳම සිද්ධිය දැකගන්න ලැබුණේ ඉන් පසුවය. ඒ, සියල්ලන්ම පුදුමයට පත්කරමින් සුජීව සේනසිංහ නැගිට අදහස් පළකිරීමට පටන්ගැනීමත් සමගය. එහිදී සුජීව තම අදහස් දැක්වීම ආරම්භ කළේම, ‘මම මේ සන්ධානයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.’ යනුවෙන් කියාගෙනය. තමන්ට හුරු පුරුදු උස් හඬින් සුජීව මෙසේ කියද්දී සභාවේ සිටි සියල්ලක්ම මීයට පිම්බාක් මෙන් නිශ්ශබව්දව සුජීව දෙස බලන්නට වූයේ ‘මේ මනුස්සයා මොකක්ද මේ කියන්න යන්නේ’ වාගේ හැඟීමකින් යුක්තවය. සියලු දෙනාම පුදුමයට පත්වූ බව දුටු සුජීව නැවතත් උස් හඬින් කියා සිටියේ, ‘ඔව් මම සන්ධානය හදනවට සම්පූර්ණයෙන් විරුද්ධයි. මාත් එක්ක ඉන්න අය අත උස්සන්න’ යැයි කියාය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි කිසිවකුත් සුජීව කී දේට පක්ෂව අත් උස්සන්නට කටයුතු නොකිරීමය. සුජීව හරියටම සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ඉන් පසුවය. ‘අන්න ඒක තමයි මම කියන්නේ. මෙතැන ජරා ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. අපි ඉස්සෙල්ලාම දේශපාලනය කරලා ඉන්න ඕනේ. ඡන්දවලට මුහුණ දෙන්න ඕනේ. ආණ්ඩු පිහිටුවන්න කලින් ඡන්ද දිනන්න ඕනේ. ඡන්ද දිනන්න නම් සන්ධාන ගහන්න ඕනේ. එහෙම සන්ධාන ගහද්දී උසද, මිටිද, කළුද, සුදුද, දෙමළද, මුස්ලිම්ද, කතෝලිකද කියලා බලන්න බෑ. මේ හැමෝම එකතු කරගන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ දැනට අපේ තියෙන ඡන්ද ප්‍රතිශතය කීයද කියලා.’ යනුවෙන් කී සුජීව, හිරුණිකා ඊට මොහොතකට කලින් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමටද පියවර ගත්තේය.
හිරුණිකාට උත්තර!
‘දැන් මෙතැන හිරුණිකා නංගි කිව්වා මේ එන අය සන්ධානයට එකතු කරගන්න ඉස්සෙල්ලා ඒ අයට ඡන්ද කීයක් තියෙනවද බලන්න ඕනේ කියලා. අපි මෙහෙම කියමුකෝ. දැන් හිරුණිකා නංගි දේශපාලනය ඉස්සෙල්ලාම පටන්ගත්තේ නාමල්ලා එක්ක. හිරුණිකා නංගී මහින්දලත් එක්ක තමයි දේශපාලනය කළේ. පස්සේ රනිල් ළඟට ආවා. ඒ එද්දී හිරුණිකා නංගී ඡන්ද අරගෙන ආවේ නෑ. හැබැයි රනිල්ගේ ස්ටේජ් එකට නැගලා, රනිල් පිරිසිදු නායකයෙක්, රනිල් හොඳ නායකයෙක්, රනිල් හොරකම් නොකරන නායකයෙක් කියලා කිව්වා. මිනිස්සු ඒක තමයි පිළිගත්තේ. නාමල්ලා, මහින්දලා ළඟ ඉඳන් එළියට ඇවිල්ලා මිනිස්සුන්ට මේ දේ කියපු හින්දා තමයි මිනිස්සු ඒක පිළිගත්තේ. දැන් අපි උදාහරණයක් ගමුකෝ. වාසුදේව නානායක්කාර මහත්තයා ගත්තොත් එතුමාට අපි දන්නවා ඡන්ද තුන්දාහක්වත් නෑ. හැබැයි එතුමා හෙට සජිත්ගේ වේදිකාවට ඇවිල්ලා සජිත් හොරකම් නොකරන නායකයෙක්, සජිත් මිනී මරන්නේ නැති නායකයෙක්, සජිත් පවුල් බලය පෝෂණය නොකරන නායකයෙක් කියලා කිව්වාම මිනිස්සු වාසුදේව කියන කතාවට අත්පුඩි ගහනවා. එතකොට බලන්නෙ නෑ වාසුදේවට තියෙන්නේ ඡන්ද දාහද දෙදාහද කියලා. ඒක හින්දා ඡන්ද නෑ කියන කතාව මෙතැනට අදාළ වෙන්නේ නෑ.’ යන්න සුජීවගේ තර්කය විය.
සජිත් තීන්දුව කියයි!
සුජීවගෙන් පසුව අදහස් දැක්වූයේ සජිත්ය. සජිත් කීවේ තමන් නියත වශයෙන්ම සන්ධානය ගොඩනැගීමට කටයුතු කරනවා යැයි කියාය.
‘මෙතැන ඉන්න හැමෝම සන්ධානයක් හදනවට පක්ෂයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සන්ධානයක් හදනවා. හැබැයි ඒකට විරුද්ධ කවුරු හරි ඉන්නවා නම් ඒ අයට තීන්දුවක් ගන්න පුළුවන්. ඒ නිසා සන්ධානය හදන වැඩේට අවශ්‍ය බලය මට දෙන්න….’ යනුවෙන් සජිත් කියද්දී සියල්ලෝම අත උස්සා ඊට අනුමැතිය ලබාදීමට පියවර ගත්හ.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේදී මාධ්‍ය කණ්ඩායම්ද එළියේ රැස්ව සිටි අතර, ඔවුන් රැස්වීමේ සිදුවූයේ කුමක්ද යන්න මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු සියලු මන්ත්‍රීවරුන් කියා සිටියේ නව සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලු බලය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීන්දු කළ බවකි.
සජිත් යට ගියේ ඇයි!
ඒ අනුව සන්ධානය ගොඩනැගීමේ බලය සම්පූර්ණයෙන්ම සජිත්ට හිමිවීමත් සමග ගෙවුණු දින දෙක තුන තුළ කිසිවකුටත් සජිත් සොයාගන්නට හැකියාවක් ලැබුණේ නැත. වෙනදා නම් ‘සක්වල’, ‘හුස්ම’ වැඩසටහන් ඔස්සේ රට වටේ ගියද, එළිපහළියේද සජිත්ගේ මුහුණ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ දෙනා සිතා සිටියේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් සජිත් නිවෙසට වී සිටිනවා යැයි කියාය. ඇත්තටම සජිත් එම දින කිහිපයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවුවද ඒ කිසිවක් නොතකා සජිත් සිටියේ විශාල දේශපාලන මෙහෙයුමක නිරතවය. ඒ වන විටත් සජිත් සහ නිදහස් ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර සන්ධානය ගොඩනැගීම මුල්කරගෙන පැවැති සාකච්ඡා අතිශය සාර්ථක අවසානයක් දක්වා ළඟාවෙමින් පැවැති අතර, තවත් රටේ නමගිය ප්‍රබල චරිත කිහිපයක් සමග එම දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සජිත් කටයුතු කොට තිබිණි. ස්ථාන හතරක මෙම සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් සජිත්ට එම දින කිහිපය තුළ වරින් වර මෙම ස්ථාන හතරටම යෑමට සිදුව තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡා සඳහා රටේ නමගිය ප්‍රබල චරිත කිහිපයක්ම එක්ව සිටීමය. ඇතැම් ස්ථානවල කිසිසේත්ම විශ්වාස කළ නොහැකි ආණ්ඩුවට සම්බන්ධ ඉහළම චරිතද සිටි ආකාරයක් දැකගත හැකි විය.
රහස් සාකච්ඡා!
සාමාන්‍යයෙන් අතීතයේදී මෙවැනි රහස් සාකච්ඡාවන් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රචලිතව සිටියේ වෙන කවුරුවත් නොව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. විපක්ෂයේ සිටියදී රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විපක්ෂයට එක්කර ගැනීම සඳහා පැවැති සාකච්ඡා පිළිබඳ එවකදී දැන සිටියේ ඔහුත් සමග සිටි අතිශය සමීප තුන් හතර දෙනකු පමණි. ඒ තරමටම එම සාකච්ඡා රහසිගත ඒවා විය. සියල්ලන්ම මෙම සාකච්ඡාවල ප්‍රතිඵල දැකගන්නේ එකවර ආණ්ඩුවෙන් දහ දොළොස් දෙනකු කඩාගෙන ඇවිත් විපක්ෂයේ අසුන්ගැනීමත් සමගය. නමුත් දැන් රනිල්ටද එහා ගොස් සජිත් පසුගිය සතියේ මේ ආකාරයේ රහස් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූයේ පක්ෂයේ හෝ කිසිවකුත් නොදැන අතිශය රහසිගත ආකාරයටය.
කැබිනට් තුන්දෙනෙක්!
ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අප සහතික වශයෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිත ප්‍රබල දේශපාලන පෙරළියක අනාවැකියක් සිදුකිරීමට සූදානම්ය. ඒ, පසුගිය සතියේ සජිත් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් තුන්දෙනකු කොළඹ ස්ථාන දෙකකදී මුණගැසී සාකච්ඡා කළ බවය. එහිදී කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු එක් තැනකදී හමුවී සාකච්ඡා කළ සජිත්, තවත් තැනකදී අනෙක් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡා දෙකම සම්බන්ධීකරණය කර තිබුණේ එක්තරා විශේෂ පුද්ගලයකු විසිනි. මෙම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව තවත් විශේෂ චරිත කිහිපයක් සමගම මේ ආකාරයට සජිත් පසුගිය සතියේදී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
දීපු රහස් ටික!
කෙසේ වෙතත් මෙම සාකච්ඡා අවසානයේදී සජිත් එක්තරා විශේෂ තීන්දුවකටද පැමිණි තිබිණි. ඒ, නියත වශයෙන්ම සන්ධානය ගොඩනගා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ පසුබිම සකස් කිරීමටය. එපමණක් නොව සන්ධානය බිඳහෙළිම සඳහා හෝ කඩාකප්පල් කිරීම සඳහා යම් අයකු පක්ෂය ඇතුළතින් හෝ පක්ෂයට පිටතින් සිට ක්‍රියා කරන්නේ නම්, ඒ සෑම දෙනකුටම එරෙහිව තරාතිරම නොබලා, තනතුරු නොබලා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද සජිත් තීන්දු කොට අවසානය. ඊට බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, කැබිනට් අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ විශේෂ චරිත සමග පැවැති සාකච්ඡාවලදී මෙම සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා යම් යම් පිරිස් ගෙනයන කුමන්ත්රණයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම ඔවුන් සජිත් හමුවේ සිදුකොට තිබීමය. මෙහිදී මෙම පිරිස් හෙළිකළ ඇතැම් කරුණු හේතුකොට ගෙන සජිත් ගල්ගැසී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෑතකදී මෙම පිරිස් විටින් විට ජනාධිපතිවරයා මුණගැසී ව්‍යාපාර කිරීම පිළිබඳ සාකච්ඡා කළ ආකාරයත්, විවිධ ගනුදෙනු සිදුකළ ආකාරයත් එම ඇමැතිවරුන් සජිත්ට හෙළිදරව් කරද්දී සජිත්ද පුදුමයට පත්ව ඒවා අසා සිටි ආකාරයක් දැකගත හැකිවිය.