ජවිපෙ විජිත වෙනුවෙන් සජිත් සාගර එක්ක සටනක!
ප්රභාකරන්ගේ ෆොටෝ එකෙන් ඉන්දියාවම කැළඹෙයි!
අමෙරිකාවෙන් ඉන්දියාවෙන් ආ බරපතළ නිවේදන!
මයන්ත ගැන රනිල් ජොනීගෙන් අහපු දේ!
අනෙක් මාධ්‍ය ඡන්දෙ ගැන අතේ පැළවෙන බොරු ගහද්දී ඇත්ත කිව්වේ ‘රාජ්‍ය රහස්’ විතරයි!
මාර්තු 09 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩුවට සම්බන්ධ විවිධ කණ්ඩායම් විසින් බාධා කිරීම හේතුකොට ගෙන මැතිවරණ දිනය කල්දැමීමට කොමිසම තීන්දු කළේ මීට සතියකට ඉහතදීය. එහිදී කොමිසම පැහැදිලිවම කියා සිටියේ මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය මුදල් අමාත්‍යාංශය මගින් නොලැබී ගොස් ඇති බවත්, මැතිවරණය සලකුණු කිරීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින් මුද්‍රණාලයාධිපතිනිය විසින් එම කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබීම මත සැලසුම් කළ දිනට ඡන්දය පැවැත්වීමට නොහැකි වනු ඇති බවත්ය. ඒ සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අකුරක් නෑර අප සටහන් කළේ අනෙකුත් ඉංග්‍රීසි-සිංහල පුවත්පත් සියල්ලක්ම මැතිවරණය කල්දැමීමට උඩගෙඩි දෙමින් සහ අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් පුවත් පළකරමින් තිබූ පසුබිමකය. එහිදී ආණ්ඩුවේ වුවමනාව මත ඇතැම් පුවත්පත් අතේ පැළවෙන බොරු නිර්මාණය කළ ආකාරයත්, ඇතැම් නිලධාරීන් ආණ්ඩුවේ වුවමනාවට අනුව කටයුතු කළ ආකාරයත් අපි එහිදී උදාහරණ සහිතව පෙන්වා දීමට පියවර ගත්තෙමු. එහිදී අනෙක් සියලු මාධ්‍ය නිහඬව සිටිද්දී අපි තවත් එක් විශේෂ කරුණක් මෙහිදී මතුකර පෙන්වූයෙමු. ඒ, මේ ආකාරයෙන් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර බලපෑමක් ආණ්ඩුව වෙත එල්ල වීමේ අවදානමක් මතුව ඇතැයි කියාය.
නූලන්ඩ්-ලෝබැචර් කියපු කතා!
අප කී එම කරුණු සනාථ කරමින් මීට මාසයකට ඉහතදී ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනාධිපතිවරයා මුණගැසී පැහැදිලිවම කියා සිටියේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසටය. මෙහිදී මාධ්‍ය හමුවේ සහ විපක්ෂයේ සුළු පක්ෂ නියෝජිතයන් හමුවී ඇය කියා සිටියේ මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට දැනුම්දී සිටි බවක්ය. මීට අමතරව ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා රියර් අද්මිරාල් අයිලින් ලෝ බැචර් මහත්මියද ජනාධිපතිවරයා මුණගැසී දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවකි.
ඉන්දියාවත් ඡන්දෙ තියන්න කිව්වා!
එමෙන්ම ඉන්දියාවද අවස්ථා කිහිපයකදීම මැතිවරණය නිශ්චිත කාලයේදී පැවැත්විය යුතු බව ආණ්ඩුවට දැනුම් දී තිබූ අතර, යුරෝපා කොමිසමද ආණ්ඩුවට අනතුරු අඟවමින් දැනුම් දී තිබුණේ නියමිත කාලයට මැතිවරණය නොපවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරනු ලබන්නේ නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන්ද අවදානමක් මතුවිය හැකි බවකි.
අනෙක් හැමෝම කිව්වේ ඔක්කොම හරි කියලා!
අප මෙම කරුණු එකින් එක ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නිරන්තරයෙන් වාර්තා කරද්දී අනෙකුත් මාධ්‍ය සියල්ලක්ම පාහේ දිනපතාම පුවත් පළකරමින් කියා සිටියේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහාය ලැබෙමින් පවතින් බවකි. ඇමෙරිකාව ආණ්ඩුවට උදව් කිරීමට තීන්දු කර ඇති බවකි. ඉන්දියාව ආණ්ඩුවට උදව් කිරීමට තීන්දු කර ඇති බවකි. චීනය ලංකාවට උදව් කිරීමට තීන්දු කර ඇති බවකි. මේ ආකාරයෙන් ජාත්‍යන්තරය වත්මන් ජනාධිපතිවරයා යටතේ ලංකාවට සිය මිත්‍රත්වයේ දෑත දිගුකරමින් සිටින බව නිරන්තරයෙන්ම පාහේ මෙම මාධ්‍ය පුවත් පළකරමින් රටට කියා සිටියහ.
අමෙරිකාව් රතු කට්ට පනී! ඉහළින්ම දැනුම් දීම එයි!
නමුත් මෙහි බරපතළම නිවේදනය නිකුත් වුණේ පසුගිය බදාදා (01) දිනයේදීය. ඒ, ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව මගිනි. ඉකුත් බදාදා දින එම කමිටුව විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ ආකාරයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් ප්රජාතන්ත්ර විරෝධී බවත්ය. එමෙන්ම එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කර තිබූ ආකාරයක්ද එම ට්විටර් පණිවුඩය මගින් දැකගත හැකි විය.
නිවේදනය ආවේ නිකම්ම නෙමෙයි!
ඇමෙරිකාවේ සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව යනු ඉතා බලගතු ආයතනයක් බව අලුතෙන් කිවයුතු නැත. ඇමෙරිකානු රජයේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කරනු ලබන්නේ මෙම විදේශ සබඳතා කමිටුව මගිනි. අපට ඇති තොරතුරුවලට අනුව නම් ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ලංකාව සම්බන්ධයෙන් වන මෙම නිවේදනය නිකුත් කිරීමට තීන්දු කළේ එක රැයකින් නොවේ. ඒ සඳහා දින කිහිපයක් පුරා ප්‍රධාන රටවල් කිහිපයක් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට මෙම විදේශ සබඳතා කමිටුව පියවර ගෙන තිබිණි. ඉදිරියේදී මැතිවරණය කල්දැමීමට එරෙහිව පැමිණීමට නියමිත නිවේදන රැසක පළමු නිවේදනය ලෙස ඇමෙරිකාව මෙම පණිවුඩය නිකුත් කළේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
අමෙරිකාවට පස්සේ ඉන්දියාවෙන් ආ නිවේදනය!
ඇමෙරිකාව නිකුත් කළ මෙම නිවේදනයත් සමග ඊට පසු දින එනම් බ්‍රහස්පතින්දා (02) දිනයේදී ඉන්දියාවද ලංකාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගැනිණි. ඉන්දීය මාධ්‍යවල පළවූ මෙම නිවේදනය ‘ආර්.ආර්.එම්. ඩිලානි’ නම් මාධ්‍යවේදිනියකගේ නමින් පළව තිබූ අතර එහි සඳහන්ව තිබුණේ ඇමෙරිකාව නිකුත් කළ නිවේදනය පදනම් කරගෙන මෙම නිවේදනයද නිකුත් කර ඇතැයි කියාය. ඉන්දියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව ආසියානු ශාන්තිකර කලාපයේ සහයෝගිතාව වර්ධනය කිරීමට ඒකාබද්ධ ප්රයන්තයක් ගන්නා බවත්, ලංකාවේ ආරක්ෂක තත්ත්වය ශක්තිමත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඒ අතර ප්‍රධාන වන බවක්ද එම නිවේදනයේ සඳහන්ව තිබිණි. පසුගිය කොවිඩ් සමයෙන් පසු සහ දේශපාලන අර්බූද හේතුවෙන් බංකොලොත්භාවයට පත්වුණු ලංකාවේ ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 04කට ආසන්න මුදලක් ලබාදුන් බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබූ අතර, ඇමෙරිකාවද ඩොලර් මිලියන 3.4ක ආධාර මුදලක් කොවිඩ් සමයේදී ලබාදුන් බවත්, ඩොලර් මිලියන 70.9ක ණය මුදලක් පශ්චාත් කොවිඩ් සමයේදී ලබාදුන් බවත් සඳහන් කොට තිබිණි. ඒ හරහා එම ලිපිය මගින් පෙන්වා දී තිබුණේ ඉන්දියාවත්, ඇමෙරිකාවත් ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ පියවර ගෙන තිබූ බවකි.
මීට අමතරව ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට සහාය ලබාදීම චීනය මඟහරිද්දී සහ මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට කටයුතු කරද්දී පවා ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය ලංකාවට සහාය ලබාදුන් බවද එහි සඳහන්ව තිබිණි.
සෙනෙට් මණ්ඩලය ගැන වෙනම පරිච්ඡේදයක්!
කෙසේ වෙතත් මෙහි සඳහන්ව තිබූ වැදගත්ම කොටස වූයේ ඉන්දියාව ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට විශාල බලපෑමක් සිදුකරන බවට සඳහන්ව තිබූ කොටසය. එමෙන්ම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමටත්, උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම කළ යුතු බවටත් ආණ්ඩුවට ඉන්දියාව බලපෑම් කරන බවද එහි සඳහන්ව තිබිණි.
මීට අමතරව ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව පිළිබඳවද මෙම වාර්තාවේ විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබේ. එම පරිච්ඡේදයට අනුව මෙම සෙනට් මණ්ඩල කමිටුව පිහිටුවා ඇත්තේ 1816 තරම් ඈත අතීතයකදීය. ඇමෙරිකාව විදේශ රාජ්‍යයක් සමග සම්බන්ධතා පවත්වන්නේ කුමන ආකාරයකින්ද, ඒවා ශක්තිමත් කරගන්නේ කුමන ආකාරයකින්ද, බලපෑම් කළ යුත්තේ කුමන රටවලටද ආදී වශයෙන් වූ ඇමෙරිකානු රජයේ විදේශ ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ මෙම සෙනට් මණ්ඩල කමිටුව මගිනි. ඇමෙරිකානු රජයද සෑම අවස්ථාවකදීම පාහේ සිය විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට භාවිත කරනු ලබන්නේ මෙම කමිටුව මගින් ලබාදෙන නිර්දේශයන්ය. එමෙන්ම මෙම කමිටුව උදව් උපකාර කරනු ලබන්නේ වංචා දූෂණවලින් තොරව විනිවිදභාවයෙන් යුක්තව පවත්වාගෙන යන ආණ්ඩුවලටය. එමෙන්ම එම රාජ්‍යයන් මානව අයිතිවාසිකම්වලටද ගරු කළ යුතුව තිබේ. ඊට හොඳම උදාහරණය වන්නේ 2021 වසරේදී ලංකාව මුල් කරගෙන මෙම කමිටුව සම්මත කළ පනතය. එහිදී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය කිරීමටත්, යහපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමටත්, යටිතල පහසුකම් නගාසිටුවීමටත් ආධාර ලබාදීමට මෙම කමිටුව තීන්දු කළ අතර, එහිදී මානව හිමිකම් සහ වගවීම දැඩිව ක්‍රියාත්මක විය යුතු බවට කොන්දේසියක් පැනවීමටද පියවර ගෙන තිබිණි.
මහබැංකුවේ ස්වාධීනත්වය!
එමෙන්ම 2022 වසරේදී මෙම කමිටුව නිකුත් කළ නිර්දේශයකින් කියැවුණේ ලංකාවට ජාත්‍යන්තර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නම් මහබැංකුවේ ස්වාධීනත්වය ඇතිකළ යුතු බව අත්‍යාවශ්‍ය කාරණයක් යැයි කියාය. ඒ අනුව එම වකවානුවලදී ආණ්ඩුවද එම නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කිරීමට වගබලාගත්තේ මෙම කමිටුවේ බලපෑම් ශක්තිය පිළිබඳ හොඳින්ම දැන සිටි නිසාය.
ඒ අනුව සෙනෙට් මණ්ඩලය මෙවර නිකුත් කර ඇති නිවේදනයට අනුව ආණ්ඩුව නිසි අයුරින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකළහොත් එහි ප්‍රතිඵල රටට ඉතා අහිතකර වනු ඇති බව අලුතෙන් නොකිවමනාය. එම බලපෑම ඇමෙරිකාවෙන් පමණක් නොව, ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලින් ලංකාවට එල්ල වනු ඇති බවද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.
අධිකරණයෙන් ආ ඓතිහාසික තීන්දුව තීන්දුව!
මේ අතර සිකුරාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් 2023 වසරේ මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාටත්, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාටත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව යමින් මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම නව දිනයක් ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ සිදුකිරීමට නියමිතය. ඒ, සිකුරාදා දින මැතිවරණ කොමිසමේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය. කෙසේ වෙතත් ආණ්ඩුවේ විවිධ බාධාකිරීම් කකුලෙන් ඇදිලි මධ්‍යයේ වුව මැතිවරණ කොමිසම කිසිදු අවස්ථාවක මැතිවරණය පැවැත්වීමේ කාර්යය අත්හැරීමට සූදානම් නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමකි. මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යෑමේ පසුබිමක් පැනනැගී තිබියදීත් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පසුගිය සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී සිටියේ මුදල් බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව හරහා ලබාදීමට මැදිහත් වීමක් සිදුකරන ලෙසය. කතානායකවරයාද මෙම ලිපිය ඊට පසු දිනම මුදල් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබිණි.
සජිත් විපක්ෂය ඒකාබද්ධ කරන්න තීන්දු කරයි! තිසත්ගෙන් හැමෝටම ඇමතුම්! පවිපෙ වෙන පැත්තකට!
කොමිසම විසින් මෙසේ කතානායකවරයාට ලිපියක් යොමුකිරීමත් සමග විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තීන්දු කළේ විපක්ෂයක් වශයෙන් සියලු පක්ෂ ඒකාබද්ධ වී කතානායකවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව සජිත් සිය පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වන තිසත් විජේගුණවර්ධනට දැනුම් දීමක් කළේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් හට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන ලෙසය. ඒ අනුව තිසත්ද ජවිපෙ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් දැනුම් දී සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් කතානායකවරයා හමුවී මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීන්දු කර ඇති බවත්, අඟහරුවාදා පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවත්ය. කෙසේ වෙතත් අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පමණක් හැරුණු විට විපක්ෂයේ අනෙක් සියලු පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ. ජවිපෙ එම සාකච්ඡාවට පැමිණෙනවා වෙනුවට කළේ ඒ වෙලාවේම මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට පියවර ගැනීමය.
සජිත් සාකච්ඡාව අරඹයි! යෝජනා 3ක් එයි!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහා අඟහරුවාදා පෙරවරුවේම සජිත් සිය පාර්ලිමේන්තු නිල කාර්යාලයට පැමිණිමට පියවර ගත්තේය. එසේ පැමිණි සජිත් විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් වන ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, චන්දිම වීරක්කොඩි, චරිත හේරත්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසත් සමග සාකච්ඡාවේදී මතු කළ යුතු කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී විශේෂ කරුණු 3ක් පිරිසගේ අවධානයට ලක්විය. ඉන් පළමුවැන්න වූයේ 2023 වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් වහාම නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බව කතානායකවරයාට දැනුම් දීමය. දෙවැනි යෝජනාව ලෙස ඔවුන් සාකච්ඡා කොට තීන්දු කළේ මැතිවරණයට මුදල් නිදහස් කිරීමට අපොහොසත් වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මහතා වහාම පාර්ලිමේන්තුවට කැඳවා මේ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පසුබිම සකසාගත යුතු බවය.
තුන්වන යෝජනාව වැදගත්!
තුන්වැනි යෝජනාව ලෙස එහිදී තීන්දු වූයේ මැතිවරණය නොපැවැත්වීම හරහා රට ඇතුළේ බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බැවින්, වහාම පාර්ලිමේන්තුව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවය. දැනටමත් මැතිවරණය ඉල්ලා පැවැති විරෝධතාවලදී එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති බැවින් ඉදිරියේදී තත්ත්වය තවත් බරපතළ විය හැකි බවත්, වහාම ඊට එරෙහිව පාර්ලිමේන්තුව හරහා පියවර ගතයුතු බව කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමටත් එහිදී තීන්දු විය.
මීට අමතරව චරිත හේරත් මෙහිදී වැදගත් කාරණයක් පිරිසගේ අවධානයට යොමු කළේය. ඒ, මෙම යෝජනාවන් ආණ්ඩුවට ඉදිරිපත් කොට පිළිතුරු ලබාදිය හැකි බව කතානායකවරයා පැවැසිය හැකි බැවින් හැකි තරම් මෙම සාකච්ඡාවේදීම කතානායකවරයාගෙන් මීට පිළිතුරු ලබාගත යුතු යැයි කියාය.
කාමරයට යද්දී තවත් කට්ටියක් කාමරයේ!
ඒ අනුව සාකච්ඡාව අවසන් කළ සජිත් ඇතුළු පිරිස නියමිත වේලාවට කතානායකවරයා හමුවීම සඳහා කතානායක නිල මැදිරියට යද්දී එහි ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, අනුර ප්‍රියදර්ශන යාපා, ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් එහි අසුන්ගෙන සිටියහ. පසුව කතානායකවරයා පැමිණීමෙන් පසු සාකච්ඡාව ආරම්භ වූ අතර පළමුව සජිත් අදහස් දක්වමින් කතානායකවරයාගෙන් මුලින් සැලසුම් කරගත් යෝජනා 3 ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. සජිත්ගෙන් පසුව කතා කළ ජී.එල්. පීරිස් මැතිවරණය පැවැත්වීම පිළිබඳ ව්‍යවස්ථාපිත රාමුවක්, ආණ්ඩුවට ඊට මුදල් ලබාදීමේ හැකියාව පිළිබඳවත් පැහැදිලි විස්තරයක් සිදුකළේය.
ඩලස් මතු කරපු කරුණ!
ඉන් අනතුරුව කතා කළේ ඩලස්ය. ඩලස් පෙන්වා දුන්නේ පළාත් සභාවලට අත්කර දුන් ආනිශංසයම පළාත් පාලන මැතිවරණයටත් අත්කර දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත්, ඒ හරහා පළාත් සභා පමණක් නොව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාගේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇති බවත්, ඒ හරහා රටේ ප්රජාතන්ත්රවාදයට භයානක අනතුරක් මතුවීමේ අවදානමක් මතුවිය හැකි බවත්ය.
කතානායකවරයා කැමැත්ත දෙයි!
ඩලස්ගෙන් පසුව චන්දිම වීරක්කොඩිත්, නාලක ගොඩහේවාත්, හර්ෂ ද සිල්වාත්, චරිත හේරතුත් අදහස් දැක්වීමට පියවර ගත්හ.
ඉන් අනතුරුව කතා කළේ කතානායකවරයාය. එහිදී කතානායකවරයා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් තනිව තීරණයක් ගත නොහැකි බවත්, බදාදා සවස 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, එහිදී සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත හැකි බවත්ය. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කොට ඇති මුදල් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කිරීම සඳහා කතානායකවරයා එහිදී එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය.
පක්ෂ නායක රැස්වීමේදී සාගරගෙන් ජී.එල්.ට විජිතට දැඩි විරෝධය!
ඉන් අනතුරුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීම සඳහාය. වෙනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම් මෙන් නොව මෙවර පැවැති පක්ෂ නායක රැස්වීමේදී විශේෂ සිදුවීම් දෙකක් දැකගත හැකි විය. ඒ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙතෙක් ඊට සහභාගි වූ තලතා අතුකෝරල මහත්මිය වෙනුවට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සජබයෙන් සාකච්ඡාවට සහභාගි වී සිටීමය. අනෙක් සිදුවීම වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවට විජිත හේරත් මහතා සහභාගි වී සිටීමය. මෙහිදී මෙම සිදුවීම් දෙකට එරෙහිව පක්ෂ නායක රැස්වීමේදී විශාල බාල්දියක් පෙරලූවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ය. සාගර ජී.එල්.ටත්, විජිතටත් දැඩිව විරෝධය පළකරමින් කියා සිටියේ පක්ෂ නායකයන් නොවන සහ පක්ෂය මගින් නම්කොට නොමැති නියෝජිතයන්ට පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නොහැකි යැයි කියාය. මුලින්ම ජී.එල්.ට එරෙහිව සාගර දැඩි ප්‍රහාරයක් එල්ල කරද්දී ජී.එල්. වෙනුවෙන් පෙනී සිටියේ සජිත්ය. සජිත් කතානායකවරයාට දැඩිව කියා සිටියේ දැනට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයකු වශයෙන් ජී.එල්. පීරිස් මහතා මෙම රැස්වීමට සහභාගි වීම කිසිදු ගැටලුවක් නොමැති බවත්, අනෙක ජී.එල්. සහභාගි වූයේ මෙතෙක් සජබයෙන් ඊට සහභාගි වූ තලතා අතුකෝරල වෙනුවෙන් බවත්ය.
සජිත් ජී.එල්. වෙනුවෙන් පෙරට එයි!
‘ජී.එල්. පීරිස් ඇමැතිතුමා කියන්නේ ව්‍යවස්ථාව පිළිබඳ විශාරද දැනුමක් තියෙන කෙනෙක්. ඡන්දෙ කල්දාන්න ආණ්ඩුව ගහන ගේම්වලට එරෙහිව විපක්ෂය වෙනුවෙන් රට ඇතුළෙත් ජාත්‍යන්තර වශයෙනුත් විශාල හඬක් නගන්නේ එතුමා. ඉතින් දැනට රට ඇතුළේ මතුවෙලා තියෙන තත්ත්වේ පිළිබඳ කතාකරන්න සුදුසුම පුද්ගලයා තමයි ජී.එල්. පීරිස් මැතිතුමා. ඒකයි අපි එතුමාව අපේ නියෝජිතයෙක් වෙනුවට පක්ෂ නායක රැස්වීමට එක්කගෙන ආවේ. ඒ නිසා එතුමාට පක්ෂ නායක රැස්වීමට එන්න කිසිම ගැටලුවක් නෑ. කතානායකතුමා ඔබතුමා මේකට කීයටවත් ඉඩ දන්න එපා…’ යනුවෙන් සජිත් කළ ප්‍රකාශයෙන් අනතුරුව කතානායකවරයාද සාගරගේ ඉල්ලීම ඉවත දමමින් ජී.එල්.ට පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලබාදුන්නේය.
විජිත වෙනුවෙනුත් සජිත් සටනේ!
ඉන් අනතුරුව පැමිණියේ විජිත හේරත්ගේ ප්‍රශ්නයය. විජිතට එරෙහිව සාගර අදහස් දක්වද්දී සජිත් විජිත වෙනුවෙන්ද පෙනී සිටීමට පියවර ගත්තේය.
‘අනුර කියන්නේ පක්ෂ නායකයෙක්. මේ තත්ත්වයත් එක්ක එතුමා වැඩ ගොඩක ඉන්න කෙනෙක්. එතකොට ඒ යොදාගත් වැඩ පැත්තකට දාලා හදිසියේ කැඳවන පක්ෂ නායක රැස්වීමකට සහභාගි වෙන්න එතුමාට බැහැ. ඒ නිසා එතුමා ඒ පක්ෂය නියෝජනය කරන්න නියෝජිතයෙක් එවලා තියෙනවා. ඒකට අපට වැරැද්දක් කියන්න බෑ. අනෙක ඡන්දය ගැන සාකච්ඡා කරද්දී එතුමාලගෙ පක්ෂයේ නියෝජනයත් වැදගත් වෙනවා. ඒ නිසා විජිත හේරත් මන්ත්‍රීතුමාට පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙලා ඔවුන්ගේ පක්ෂයේ මතය කියන්න අපි අවස්ථාව ලබාදිය යුතුයි. ඒකයි ප්රජාතන්ත්රවාදය….’ යනුවෙන් සජිත් විජිත වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දක්වද්දී කතානායකවරයා එයද පිළිගැනීමට පියවර ගත්තේය.
යෝජනාව සම්මත කරන්න තීන්දුයි!
මෙම ගැටලුව විසඳා ගැනීමෙන් අනතුරුව සාකච්ඡා වූයේ මැතිවරණ කොමිසම මගින් කතානායකවරයාට එවා ඇති ලිපියට අනුව මැතිවරණයට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳවය. විපක්ෂය මෙම යෝජනාව ඉක්මනින්ම පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවට පැහැදිලි කරද්දී ආණ්ඩු පක්ෂය ඊට විරෝධය පළකරමින් කියා සිටියේ ඒ ආකාරයට ඉක්මනින් එම යෝජනාව විවාදයට ගත නොහැකි බවත්, සාමාන්‍ය ක්‍රියාදාමය අනුගමනය කරමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්ය. ඊට විපක්ෂය එකඟතාව පළ කළ අතර අවසානයේදී දෙපාර්ශ්වය තීන්දු කළේ එම යෝජනාව මාර්තු තුන්වැනි සතියේ 23 වැනි බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්දය විමසීමටය.
සාගරත් අත උස්සයි!
ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් සහ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව විපක්ෂය ආණ්ඩු පක්ෂයට දැනුම් දී සිටියේය. ආණ්ඩුවද ඊට එකඟතාව පළකළ අතර, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් එහිදී කියා සිටියේ තම පක්ෂයද ඡන්දය පැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටිනවා යැයි කියාය. ඒ අනුව කල්තැබීමේ යෝජනාවෙන් පසු දින දෙකක විවාදයක් ඒ සඳහා ලබාදීමටද පක්ෂ නායක රැස්වීමේදී තීන්දු විය.
ප්රභාකරන්ගේ කතාව යළිත් එළියට!
මීට සති දෙකකට ඉහතදී ඉන්දියාව පමණක් නොව ලංකාවද කැලඹෙන ආකාරයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයකු වන පාෂා නෙදුමාරන් විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු නියමිත වේලාවට යළි කරළියට පැමිණීමට සූදානමින් සිටින බවත්ය. මේ ප්‍රකාශය තමිල්නාඩු මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග තමිල්නාඩු දේශපාලනය පමණක් නොව ලංකාවේ දේශපාලනයද කැලඹී ගිය අතර, වහාම යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්රභාකරන් ජීවතුන් අතර සිටින කතාව අසත්‍ය බව යළිත් වතාවක් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කළේය. නමුත් තමිල්නාඩු මාධ්‍ය මගින් හෝ ඉන්දීය ආණ්ඩුව මගින් ඒ සම්බන්ධයෙන් වැඩිමනත් කරුණු ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ප්රභාකරන් ජීවතුන් අතර සිටින කතාව යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
ෆොටෝ එක දැම්මේ වජිර මීඩියා එකෙන්!
කෙසේ වෙතත් පසුගිය සතියේදී නැවත වතාවක් ප්රභාකරන්ගේ මෙම කතාවට පණ ලැබුණේ ඉන්දීය දෙමළ මාධ්‍ය මගින් ප්රභාකරන්ගේ වයස්ගත ඡායාරූපයක් එළියට දැමීමත් සමගය. මෙය පළකොට තිබුණේ ‘වජිර මීඩියා’ යනුවෙන් හැඳින්වෙන තමිල්නාඩු වෙබ් අඩවියක් මගිනි. එය ‘වෙන්කටේශ් කුමාර් ජී’ නමැත්තකු විසින් පළකර තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මෙම ඡායාරූපය තමිල්නාඩු මාධ්‍යවල පළවීමත් සමග එය ඉන්දියාව පුරා රැල්ලක් මෙන් පැතිර යන ආකාරයක් දැකගත හැකි විය. සෑම ඉන්දීය සමාජ මාධ්‍යයක්ම පාහේ මෙම ඡායාරූපය පළකිරීමට පියවර ගැනීමත් සමග යළිත් වතාවක් ප්රභාකරන් ඉන්දියාවේ අංක 01 මාතෘකාව බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. මේ සමගම බොහෝ දෙනා මෙම ඡායාරූපයේ ඇත්ත නැත්ත සොයා බැලීම ආරම්භ කළේ එය බැලූ බැල්මටම ප්රභාකරන්ගේ වයස්ගත කාලය නිරූපණය කරන ඡායාරූපයක් වූ නිසාය.
ඇත්ත කතාව එළියට එයි!
මෙහි ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ‘ෆැක්ට් රිසෙන්ඩෝ’ නම් වෙබ් අඩවියය. එම වෙබ් අඩවිය සමාජ මාධ්‍ය ජාලවල පළවන පුවත්වල සත්‍ය අසත්‍යතාව සොයා බලන වෙබ් අඩවියකි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ සොයාබැලීම ආරම්භ කරමින් අදාළ ඡායාරූපය පළකළ ‘වජිර මීඩියා’ ට්විටර් ගිණුම හරහා ඒ පිළිබඳ ප්‍රශ්න කොට පණිවුඩයක් තැබීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙම ඡායාරූපය සත්‍ය එකක් නොවන බවත්, ප්රභාකරන්ගේ පැරැණි ඡායාරූපයක් ගෙන එය, වයසට යන විට මුහුණේ හැඩය වෙනස් වන ආකාරය පෙන්වන ‘ෆේස් ඇප් එකක්’ මගින් සංස්කරණය කොට සැකසූ එකක් බවත්ය. ඒ අනුව ඡායාරූපය අසත්‍ය එකක් බව එහිදී පැහැදිලිවම තහවුරු වී තිබිණ.
මේ වෙලාවෙම දැම්මෙ මොකද?
කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දියාවේ තහනම් සංවිධානයක් ලෙස නම්කොට තිබියදීත් ප්රභාකරන් සම්බන්ධයෙන් මේ ආකාරයේ විවිධ ගුප්ත පුවත් පළවීමය. ඒවා පළවන්නේ කුමන පදනමක් මතද, එහි සැඟවුණු අරුත කුමක්ද යන්න වටහාගත නොහැකි නමුත් හිටිහැටියේම තමිල්නාඩුව හරහා ප්රභාකරන් මුල් කරගෙන යම් විවාදයක් මතුව තිබීම මීට වඩා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු කරුණක් බව බොහෝ දෙනාගේ අදහසය.
මයන්තගේ අලුත් කතාවක් එළියට එයි!
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්රයේ ආන්දෝලනාත්මකම මාතෘකාවක් බවට පත්ව තිබුණේ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ මහලේකම් මයන්ත දිසානායක මහතා විසින් ආණ්ඩුව නම් කළ ආකාරයට රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධුරය භාරගැනීමට පියවර ගැනීමය. විපක්ෂය ඊට නිල වශයෙන් හර්ෂ ද සිල්වා මහතා යෝජනා කර තිබියදී ආණ්ඩුවේ යෝජනාවකට අනුව මයන්ත එම තනතුර භාරගැනීමත් සමග සජබය ඇතුළේ නොතිබූ අර්බුදයක් මතුවූ ආකාරය දැකගත හැකි විය. ඒ වන විට විපක්ෂ නායකවරයා යාපනයේ සංචාරයක නිරතව සිටි බැවින් එහි සිටම ඔහු මයන්තට කතාකොට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබූ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මයන්තට දැනුම් දී තිබුණේ වහාම එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසය. නමුත් මයන්ත ඒ දෙදෙනාගේම කීම කනකට නොගෙන මුදල් කමිටුවේ පළමු රැස්වීමට සහභාගි වන ආකාරයත්, එය සජබ මන්ත්‍රීවරුන් සියල්ලන්ම විසින් වර්ජනය කර තිබූ ආකාරයත් අපි ඉකුත් සතියේ වාර්තා කර සිටියෙමු. මීට අමතරව අප ඉකුත් සතියේදී මයන්තව ආණ්ඩුවේ යෝජනාවට එකඟ කරවා ගැනීම සඳහා තිරය පිටුපස සම්පූර්ණ මෙහෙයුම දියත් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වජිර අබේවර්ධන යන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් බවත් සඳහන් කර සිටියෙමු.
රනිල් ජොනීගෙන් අහපු කතාව!
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මෙම සිදුවීම පසුපස ඇති තවත් අලුත් තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි විය. ඒ, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත්ව සිටි බවය. ඒ බව අනාවරණ වූයේ විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර තිබූ ඉකුත් පෙබරවාරි 08 වැනි දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. මෙම කණ්ඩායම් රැස්වීමට පැමිණීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙද්දී මන්ත්‍රී ලොබියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුණගැසිණි. එහිදී රනිල් සුපුරුදු සිනහවෙන් යුතුව ජොනීගෙන් විමසා සිටියේ ‘හව් ඊස් ද ඔපරේෂන්…?’ (කොහොමද මෙහෙයුම?) යැයි කියාය. ජනාධිපතිවරයා මේ අහන්නේ මයන්තව බිලී බාගැනීමේ මෙහෙයුම පිළිබඳ බව හොඳින්ම දැන සිටි ජොනී ඊට සිනහවකින් යුතුව පෙරළා පිළිතුරු දුන්නේ ‘එව්රිතිං ගෝස් වෙල් සර්…’ (ඔක්කොම හොඳින් සිදුවෙනවා ජනාධිපතිතුමනි) යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයාද සිතා සිටියේ මයන්තගේ මෙහෙයුම සාර්ථකව සිදුවනවා යැයි කියාය.
සජිත් හම්බවෙලා කියපු කකාව!
නමුත් ඒ සියල්ලට ආයුෂ තිබුණේ සජිත් කොළඹ පැමිණෙන තෙක් පමණි. කොළඹට පැමිණි වහා සජිත් මුලින්ම කළේ මයන්තට තමන්ව හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දීමය. එහිදී පැවැති සාකච්ඡාවේදී මයන්ත තම තීරණය ගැනීමට බලපෑ හේතු සජිත්ට පෙන්වා දෙද්දී සජිත් පෙරළා මයන්තට දැනුම් දී සිටියේ කුමන මතගැටුම් හෝ ආරාධනා තිබුණද පක්ෂය තීන්දුවක් ගත් අවස්ථාවේදී එම පක්ෂ තීන්දුව සමග සියලු මන්ත්‍රීවරුන් එකට සිටගත යුතු යැයි කියාය. එසේ නොකළහොත් පක්ෂය සමග දේශපාලන ගමනක් යා නොහැකි බව මෙහිදී සජිත් මයන්තට පැහැදිලි කර සිටියේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට පැමිණෙද්දී මයන්ත සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ඒමට පියවර ගෙන තිබූ අතර, සජිත් කියා සිටියේ එම ලිපිය කතානායකවරයාට භාරදීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව සජබය මේ වන විට තීන්දු කොට ඇත්තේ නැවත වතාවක් පාර්ලිමේන්තුවේ මූල්‍ය කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමටය.
ආණ්ඩුවට ඇති විකල්ප!
ඒ අනුව දැන් ඉවසීමෙන් බලාසිටිය යුතුව ඇත්තේ ආණ්ඩුව ඊළඟට කුමක් කරනු ඇද්දැයි කියාය. මෙහිදී ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ විකල්ප තුනකි. ඉන් එකක් වන්නේ නැවත වතාවක් මුදල් කමිටුවෙ සභාපති ධුරයට නම්කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු සොයාගැනීමය. එසේත් නැත්නම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජොන්ස්ටන් කීවාක් මෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු මුදල් කමිටුවේ සභාපති ධුරයට නම්කිරීමය. එසේත් නැත්නම් පරාජය බාරගෙන විපක්ෂයේ හර්ෂ ද සිල්වාටම සභාපති ධුරය භාරදීමය. මේ තුනෙන් ආණ්ඩුව කුමක් කරන්නේද යන්න බලාගැනීමට තව දින කිහිපයක් ඉවසා සිටිය යුතුව ඇත.