ඡන්දය කටමුල තියෙද්දී ඡන්ද කොමිසමට බාල්දියක් පෙරළන්න අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවේදී ගහපු අභිරහස් පත්තර දැන්වීම් ගේම! (රාජ්‍ය රහස්) EXCLUSIVE

ඡන්දෙ කල්දාන්න ගහපු අන්තිම ගේම!

පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සඳහා ආණ්ඩුව දිනෙන් දින දිනෙන් දින විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව මේ වන විට රටේ සමස්ත ජනතාවටත්, ජාත්‍යන්තරයටත් තවදුරටත් රහසක් නොවේ. මුල් කාලයේදී ආණ්ඩුව මෙම උත්සාහය තිරය පිටුපස හොර රහසේ කරගෙන ගියත් දැන් දැන් එය එළිපිටම කරන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සියලු උත්සාහයන් එකින් එක ආණ්ඩුව විසින් දියත් කළ ආකාරයත්, එසේම ඒවා ව්‍යර්ථ වූ ආකාරයත් අප මෙම රාජ්‍ය රහස් තීරය හරහා සතිපතාම පියවරෙන් පියවර රටට හෙළිකිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව මෙවර අප මෙම තීරය ඔස්සේ රටට ඉදිරිපත් කරන්නේ පසුගිය සතියේ ආණ්ඩුව ඡන්දය කල්දමා ගැනීම සඳහා ගැසූ අලුත්ම උත්සාහය පිළිබඳවත්, ඊට සම්බන්ධ වූ චරිත පිළිබඳවත්ය

දිනය තීන්දු කළේ සූම් සාකච්ඡාකින්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස මාර්තු 09 වැනිදා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළේ පසුගිය සෙනසුරාදා දිනය. එම දිනය තීන්දු කෙරුණේ කොමිසමේ සාමාජිකයන් හතර දෙනකු සම්බන්ධ වූ සූම් සාකච්ඡාවක් ඔස්සේය. එම සූම් සාකච්ඡාව තැබීමට හේතු වූයේ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු හට මරණ තර්ජන එල්ල වී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්‍යාවශ්‍ය රාජකාරියකට හැර මැතිවරණ කොමිසම වෙත නිකරුණේ නොපැමිණීම හේතුකොට ගෙනය. ඔවුන් දෙදෙනා මැතිවරණ කොමිසමට පැමිණෙන්නේද දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ වීම විශේෂ සිදුවීමකි. ඒ අනුව පසුගිය සෙනසුරාදා කොමිසමට පැමිණ සිටි සාමාජිකයන් දෙදෙනකු හා මෙම සාමාජිකයන් දෙදෙනා අතර විශේෂ සූම් සාකච්ඡාවක් පැවැති අතර එහිදී මේ සිවුදෙනා එක්ව මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වීමට කතිකා කරගත්හ. ඒ බව මාධ්‍යයට දැනුම් දීමටද ඔවුහු පියවර ගත්හ.

ගැසට් එක ගැහුවේ නැත්තේ ඇයි?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවත් අවුලක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වුණු කරුණ වූයේ මැතිවරණ දිනය මාර්තු 09 වන දින බවට වාචිකව පමණක් ප්‍රකාශ කොට ඇති බවත්, එය ගැසට් මගින් ප්‍රකාශ කොට නැති බවත්ය. ඒ පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් වෙනම ප්‍රචාරයක් රැගෙන ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් කොමිසම පැත්තෙන් කියවී තිබුණේ දැනට දිනය වාචිකව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් බවත්, සතියක් පමණ ගිය පසු එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්ය. එය සාමාන්‍ය සම්ප්‍රදාය බවද එහිදී කියැවිණි. ඊට හේතුව ලෙස කොමිසම ප්‍රකාශ කර සිටියේ තේරීම් භාර නිලධාරීන් එවනු ලබන ඇමුණුම් සියල්ල කොමිසම වෙත ලැබීමෙන් පසු ඒවාද ඇතුළත් කොට ගැසට් පත්‍රය නිකුත් කෙරෙනු ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව ගෙන ගිය ගැසට් පත්‍රයේ කතාවටද එතෙකින් තිත තැබිණි.

අමුතු සිදුවීම් පෙළක ආරම්භයක්! ජනපති ඡන්දෙකට ලෑස්ති වෙන්න කියයි!

ඉන් අනතුරුව තවත් විශේෂ සිදුවීම් පෙළක් සතිය ආරම්භයේ සිටම ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. මෙම සිදුවීම් එකිනෙක අතර සම්බන්ධයක් ඇතිද යන්න කීමට තවමත් තොරතුරු නැතත් හරියට මේ සිදුවීම් සිදුවූයේ දිනපතා විකාශය වන මෙගා ටෙලිනාට්‍යයක කොටස් වාගේ වීම විශේෂ සිදුවීමකි. පළමු සිදුවීම වූයේ හදිසියේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අඟහරුවාදා දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමය. එම නිවේදනයෙන් කියැවුණේ එජාප කළමනාකරණ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත්, එහිදී හදිසි මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් එජාප ප්‍රධානීන්ට දැනුම්දුන් බවත්ය.

හදිසි ව්‍යවස්ථාදායක රැස්වීමක්!

ඒ සමගම බදාදා දින හදිසි ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් කැඳවා ඇති බවට එහි සාමාජිකයන්ට අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් ඇමතුමක් ලැබිණි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී සහ තවමත් ව්‍යවස්ථාදායක සභාවට සුළු පක්ෂ නියෝජිතයන් නම්කොට නොමැති අවස්ථාවක මේ අයුරින් ව්‍යවස්ථාදායක සභාවට කැඳවන්නේ කුමන හේතුවක් නිසාද යනුවෙන් එහිදී ප්‍රශ්න කිරීමක් කෙරුණු අතර ඊට පිළිතුරු වශයෙන් කියැවුණේ අධිකරණ ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය පත්කිරීම් රැසක් සිදුකිරීමට අවශ්‍ය බැවින් මෙම ව්‍යවස්ථාදායක සභා රැස්වීම කැඳවීමට පියවර ගෙන ඇති බවකි. නමුත් ඇත්ත වශයෙන්ම අප කලින් කිවාක් මෙන් මෙම ව්‍යවස්ථාදායක සභා රැස්වීම අමුතු සිදුවීම් ගණනාවක ආරම්භයක් විය.

නිව්ස් එකක් ප්ලාන්ට් වෙයි!

එහි පළමු සිදුවීම වූයේ ව්‍යවස්ථාදායක සභාවට කැඳවීම් කළ අඟහරුවාදා දින පස්වරුවේම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය කිහිපයක එක්තරා විශේෂ පුවතක් ‘ප්ලාන්ට්’ වීමය. එම පුවතින් කියැවුණේ මැතිවරණ කොමිසම ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා වෙත අලුත් සාමාජිකයන් පත්කිරීම සඳහා මෙම හදිසි ව්‍යවස්ථාදායක සභා රැස්වීම පැවැත්වෙන බවකි. ඒ හරහා ඉඟිකොට තිබුණේ අලුත් මැතිවරණ කොමිසම පත්කෙරෙන බැවින් මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවකි. පහත පළවන්නේ එසේ ආණ්ඩුව පැත්තෙන් තමන්ට හිතවත් මාධ්‍යවල පළකෙරුණු පුවතය.

මෙන්න ගහපු පුවත!

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතය.

මීට අමතරව සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද බදාදා රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූවේ විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය. නව ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා සඳහා අලු‍තින් සාමාජිකයන් පත්කර ඒවා යළි ස්ථාපනය කළ යුතු වේ.

සජිත් ධම්මිකගෙන් ඇත්ත නැත්ත විමසයි!

ඒ අනුව අඟහරුවාදා සවස් වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ගිය රාවයකින්ද කියැවුණේ ආණ්ඩුව මැතිවරණ කොමිසම වෙත බලපෑම් කොට කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීම හරහා ඡන්ද කල්දමා ගැනීමට ගේමක් ගැසීමට සූදානම් වන බවකි. විවිධ පාර්ශ්වයන් මේ පිළිබඳ විපක්ෂ නායක සජිත්ටද දැනුම් දීමත් සමග සජිත් කළේ වහාම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට දුරකතන ඇමතුමක් ගෙන ඒ පිළිබඳ විමසා සිටීමය. එහිදී පළමුව සජිත් ධම්මිකගෙන් විමසා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ සාමාජිකයන් වූ 10 දෙනාම පත්වන තුරු එම සභාව ක්‍රියාත්මක නොවන බවට කතානායක, අගමැති හා තමන් අතර පැවැති පූර්ව සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බව සටහන් වී තිබෙනවා නේද යන්නත්, තවමත් සුළු පක්ෂ නියෝජිතයා පත්කොට නොමැති පසුබිමක් යටතේ මේ ආකාරයට ව්‍යවස්ථාදායක සභාව කැඳවීමේ පරමාර්ථය කුමක්ද යන්නත්ය.

ධම්මික සජිත් කී දේ පිළිගනී!

එහිදී ධම්මිකද එම පූර්ව එකඟතාව සටහන් වී ඇති බව පිළිගත්තේය. නමුත් ධම්මික කියා සිටියේ පත්කිරීම් රැසක් අවසන් කිරීමට සිදුව ඇති බැවින් ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට සිදුව ඇති බවත්, සුලු පක්ෂ නියෝජිතයා පත්කිරීම පමා වන්නේ නම් දැනට පත්කොට ඇති සාමාජිකයන්ගෙන් සභාවේ වැඩකටයුතු සිදුකරගෙන යෑම ගැටලුවක් නොවන බවත්ය. ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් සජිත් නැවත කියා සිටියේ පූර්ණ සාමාජිකයන් පත්කරන තුරු ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවේ යනුවෙන් ලිඛිත එකඟතාවක් තිබියදී මෙසේ හදිසියේම ව්‍යවස්ථාදායක සභාව කැඳවීම ගැටලුවක් බවකි. නමුත් ධම්මිකද ඊට පිළිතුරු දෙමින් කීවේ හදිසි පත්කිරීම් රැසක් සිදුකිරීමට නියමිතව ඇති බැවින් සභාව රැස්කිරීමට තීන්දු කොට ඇතැයි කියාය.

න්‍යාය පත්‍රය කෝ?

එවිට සජිත් විමසා සිටියේ රැස්වීමේ න්‍යායපත්‍රය පිළිබඳවය. එවිට ධම්මික රැස්වීමට න්‍යාය පත්‍රයක් නොමැති බවත්, සාකච්ඡාවක් පමණක් වීම නිසා න්‍යාය පත්‍රයක් සකස් කොට නොමැති බවත් කියද්දී ඊටද විරෝධය පළ කළ සජිත් න්‍යාය පත්‍රයක් අවශ්‍ය බවත්, මෙසේ ලිඛිත එකඟතා පවා කඩකරමින් ව්‍යවස්ථාදායක සභාව රැස්කිරීම පිළිබඳ සැකසංකා මතුවීම වැළැක්විය නොහැකි බවත් කියා සිටියේය. නමුත් ධම්මික සහතිකයක් දෙමින් සජිත්ට කියා සිටියේ එවැනි කිසිදු රහස් කටයුත්තක් මෙම සාකච්ඡාවේදී සිදු නොවනු ඇති බවකි.

ගේමක් ගහන බව සජිත්ට වැටහෙයි!

ධම්මික එසේ කියා සිටියද අඟහරුවාදා සවස් වන විට යම් යම් මාධ්‍යවල සහ වෙබ් අඩවිවල පළවෙමින් තිබූ පුවත් හරහා යම් කුමන්ත්‍රණයක් තිරය තිරය පිටුපස ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය සජිත්ටද වැටහී ගියේය. ඒ අනුව සජිත් කළේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමය. එහිදී සජිත් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව යම් කුමන්ත්‍රණයක් කරමින් සිටිනවා නම් ඊට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවකි.

සජිත්ගෙන් කල් තියාම විශේශ ප්‍රකාශයක්!

මේ මැතිවරණ කඩාකප්පල් කිරීමේ මගඩියේ අලුත් පියවරක් ලෙස හෙට දින ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කර, මැතිවරණ කොමිසම අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවත්, ජනතා පරමාධිපත්‍යයට අත තිබ්බොත් එයට දෙන දඬුවම් රටේ නීති පොත්වල සඳහන්ව ඇති බැවින් හපුහින්න මගඩිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් විපක්ෂ නායක සජිත් එහිදී පැවසීය.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම, මාර්තු 09 වැනිදා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීමට භාවිත කළොත් ඊට එරෙහිව රටේ ජනතාවගේ ඡන්ද අයිතීන් සුරකිමින් එම ක්‍රියාව නියත වශයෙන්ම පරාජය කරන බවත්, ඒ සඳහා ඕනෑම පියවරක් ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ වගකිවයුතු පාර්ශ්වයන්ට කියා සිටින්නේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසත් ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් අනතුරු අඟවන බවත් සජිත් කියා සිටියේය.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සුරැකීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා ලෙස මේ රටේ ජනතා පරමාධිපත්‍ය කෙලෙසන සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට නායකත්වය ලබාදෙන බවත්, ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

කබීර් කෑගල්ලේ! සජිත් කනිවම යයි!

ඒ අනුව බදාදා පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට සූදානම් වූ සජිත් එහි සිය නියෝජිතයා වූ කබීර්ට ඇමතුමක් ගනිද්දී කබීර් සිටියේ කෑගල්ලේ මැතිවරණ කටයුතුවල නිරත වෙමිනි. ඒ අනුව සජිත් කබීර්ට එම කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස දැනුම් දී තනිවම ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගි වීමට තීන්දු කළේය. සජිත් බදාදා පෙරවරුවේ රැස්වීමට එන විට අගමැති, කතානායක, ආණ්ඩුවේ නියෝජිත වූ නිමල් සිරිපාල, පොහොට්ටුවේ නියෝජිතයා වූ සාගර කාරියවසම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනාද ඊට එක්ව සිටියහ.

අනෙක් කොම්සම් කමක් නෑ! මැතිවරණ කොමිසමට අත තියන්න බෑ!

කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ ස්වාධීන කොමිෂන් සභා 10ට ව්‍යවස්ථාදායක සභාව මගින් සාමාජිකයන් පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් පිළිබඳවය. එහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා වෙත සාමාජිකයන් පත්කිරීමට නිර්ණායකයන් සකස් කිරීමේ ගැටලුවක් නොමැති නමුත්, පළාත් පාලන මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීම සදාචාරාත්මක නොවන මෙන්ම එය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කරන්නක් නිසා වන බැවින් එවැන්නක් කිරීම සුදුසු නැතැයි කියාය. එය සටහන් (මිනිට්) කරගන්නා ලෙසද සජිත් එහිදී අවධාරණය කොට සිටීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සජිත් කළ දැනුම්දීමට එකඟ වූ ආකාරයක් පෙන්වන සිදුවීම් පෙළක් එහිදී දැකගන්නට ලැබිණි.

සජිත් කෙළින්ම විපක්ෂ නායක කාර්යාලයට!

කෙසේවෙතත් මෙම සාකච්ඡාව අවසන් කළ සජිත් කෙළින්ම පැමිණියේ කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයටය. සජිත් එන විට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එහි රැස්ව සිටියහ. ඒ අනුව සාකච්ඡාවේ සිදුවූ දේ පිළිබඳ මන්ත්‍රීවරුන් විමසද්දී සජිත් කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් වූ නිර්ණායකයන් පිළිබඳ සාකච්ඡා වූ බවත්, මැතිවරණ කොමිසම හැරුණු විට අනෙකුත් කොමිසම් සඳහා අලුත් සාමාජිකයන් පත්කිරීමේ කටයුතු ඉදිරියට ගෙනයාමට තීන්දු වූ බවත්ය.

එකගතාව කඩවෙයි! සියලු කොමිසම් වෙනස් කරන්න නිවේදනයක්!

නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ බදාදා පස්වරුව වන විට ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල පළවූ විශේෂ පුවතක් හේතුකොටගෙනය. එම පුවතින් කියැවුණේ මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා දහයටම නව සාමාජිකයන් පත්කිරීම සඳහා දැන්වීම් පළකිරීමට ව්‍යවස්ථාදායක සභාවේදී තීන්දුවක් ගෙන ඇති බවත්, මෙම සති අන්තයේදී ඊට අදාළ දැන්වීම පුවත්පත්වල පළකිරීමට තීන්දු කොට ඇති බවත්ය. ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට කැමැත්තක් දක්වන පුද්ගලයන් හට අයැදුම් කළ හැකි බවද එම පුවතින් කියැවිණි.

සජිත්ට යකා නගී! කතානායකට ඇමතුමක් ගනී!

ඒ සමගම කලබල වූ මැතිවරණ කටයුතුවල නිරතව සිටි සජබ මන්ත්‍රීවරුන්, අපේක්ෂකයන් දිගින් දිගටම සජිත්ට කතා කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීන්දු කර ඇති පුවතේ ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්හ. ඒ කතා කළ සියලු දෙනාටම සජිත් කියා සිටියේ එවැනි තීන්දුවක් නොගත් බවත්, ආණ්ඩුව ඡන්දය කල්දමා ගැනීම සඳහා තවත් කුමන්ත්‍රණයක් දියත් කිරීම ආරම්භ කර ඇති බවත්ය. එමෙන්ම එම සිදුවීමෙන් දැඩි කෝපයට පත්වූ සජිත් වහාම කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දුරකතන ඇමතුමක් ගැනීමය. එසේ කතානායකවරයාට කතා කළ සජිත් කියා සිටියේ අලුත් ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳ සාකච්ඡා කළ නමුත් මැතිවරණ කොමිසම පිළිබඳ සාකච්ඡා නොකළ බවත්, තමන් එය පැහැදිලිවම සටහන් කරගන්නා ලෙස දැනුම් දුන් බවත්ය. එවිට කතානායකවරයාද පිළිතුරු දෙමින් කියා සිටියේ තමන්ටද එවැන්නක් ඇසුණු බවත්, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඊට අදාළ නිවේදන නිකුත් කොට ඇති බවත්, මේ වන විට පුවත්පත්වලට යැවිය යුතු දැන්වීම් පවා මහලේකම්වරයා විසින් සකස් කොට ඇති බවත්ය.

එතකොට පත්තරවල දැන්වීම් ගිහිල්ලත් ඉවරයි!

කතානායකවරයාගේ එම ප්‍රකාශයෙන් තවත් කෝපයට පත්වූ සජිත් කියා සිටියේ ඊට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති මේ මොහොතේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට බලපාන කිසිවක් නොකළ යුතු බවත්, උදේ පැවැති රැස්වීමේදී එය පැහැදිලිවම ප්‍රකාශයට පත්කෙරුණු බවත්ය. නමුත් ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා නැවතත් කියා සිටියේ එසේ නම් මේ පිළිබඳ සඳුදා දිනයේදී තවත් ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමට හැකි බවකි. නමුත් ඊට විරෝධය පළකළ සජිත් කියා සිටියේ ඒ වන විට සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළවී අවසන් බවත්, එවිට සිදුවිය යුතු සියල්ල සිදුව අවසන් බවත්ය. එසේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම්වරයා සමග සාකච්ඡා කරන ලෙස කතානායකවරයා සජිත්ට දැනුම්දී සිටියේය.

සදුදාට තවත් ව්‍යවස්ථායක සභා රැස්වීමක්!

ඒ අනුව සාකච්ඡා අවසන් වුවද ධම්මිකට ගැනීමට ප්‍රථම යළිත් සජිත් කතානායකවරයාට කතාකොට පුවත්පත් වෙත යවා ඇති දැන්වීම් නතර කරන ලෙස ඉල්ලීමක් කළේය. නමුත් කතානායකවරයා යළි කියා සිටියේ මේ වන විට සියලු පුවත්පත්වලට අදාළ දැන්වීම් යොමුකොට ඇති බවත්, එය දැන් අවලංගු කළ නොහැකි බවත්ය. එසේ නම් තමන් මීට විරෝධය පළකරමින් කළ ප්‍රකාශය ලේඛනගත කරන ලෙස සජිත් ඉල්ලා සිටියද කතානායකවරයා කියා සිටියේ එයද දැන් කළ නොහැකි බවත්, සඳුදා දිනයේදී නැවත ව්‍යවස්ථාදායක සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡාවක් කළ හැකි බවත්ය. නමුත් සජිත් ඊට කිසිසේත්ම එකඟතාව පළ කළේ නැත.

ධම්මිකට දුරකතන ඇමතුමක් දෙයි!

ඒ අනුව සජිත් කළේ කතානායකවරයාගේ ඇමතුම විසන්ධි කොට අනෙක් පැත්තට ධම්මිකට කතාකිරීමය. එසේ කතාකළ සජිත් ධම්මිකගෙන් විමසා සිටියේ පෙරවරුවේ පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී තමන් මැතිවරණ කෙමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කිරීමට විරෝධය පළ කළ බවත්, එම කොමිසම ඉවත් කොට අනෙක් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බව තමන් කී බවත් පිළිගන්නවාදැයි කියාය. එවිට ධම්මික එය පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග සජිත් පෙරළා යළි විමසා සිටියේ එසේ නම් තම විරෝධය ලේඛනවල සටහන් (මිනිට්) නොකළේ මන්ද කියාය. එවිට ධම්මික කියා සිටියේ තමන්ට එය මිනිට් කිරීමට නොහැකි වූවා යැයි කියාය. එසේ නම් වහාම පුවත්පත් දැන්වීමේ නාමලේඛනයෙන් මැතිවරණ කොමිසම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සජිත් ධම්මිකට දැනුම් දෙද්දී ධම්මික කීවේ දැනටමත් ඒවා පුවත්පත් ආයතන වෙත යොමුකර ඇතැයි කියාය.

ධම්මිකගේ උත්තරෙන් සජිත්ට යකා වැහෙයි!

ධම්මිකගේ මේ පිළිතුරත් සමග සජිත් තවත් කෝපයට පත් විය.
‘එහෙම කොහොමද කරන්නේ? අපි ව්‍යවස්ථාදායක සභාවේ එකඟ නොවූ කරුණක් ඇතුළත් කරලා දැන්වීම් සකස් කරන්නේ කොහොමද? දැන් ඡන්දය කැඳවලත් ඉවරයි. නාමයෝජනා දීලත් ඉවරයි. දිනය ප්‍රකාශයට පත්කරලත් ඉවරයි. ඒ වගේ වෙලාවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අලුතෙන් පත්කරන්න කියලා දැන්වීම් දාන්න අපිට පුලුවන්ද? මිනිස්සු ඉල්ලන්නේ ඡන්දයක්. එහෙම වෙලාවක ඔබතුමාලා මේ විදියට කටයුතු කළොත් මිනිස්සු කුපිත වෙයි. ඒ නිසා මම කියන්නේ කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. එහෙම කළොත් මම මුළු රටටම කියනවා මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා…’ යනුවෙන් සජිත් දැඩි ස්වරයෙන් කියද්දී තමන් අතින් අත්වැරැදීමක් සිදුවූ බව පිළිගත් ධම්මික කතානායකවරයාද සමග සාකච්ඡා කොට ඊට අදාළ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සජිත්ට දැනුම් දී සිටියේය.

විරෝධය වැඩ කරයි! දැන්වීම් වෙනස් කරන්න තීන්දු කරයි!

ඒ අනුව විනාඩි කිහිපයක් ඇතුළත යළිත් ධම්මිකගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් ධම්මික සජිත්ට කියා සිටියේ කතානායකවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, මුලින් ඇතිකරගත් එකඟතාව අනුව මැතිවරණ කොමිසම හැර අනෙක් කොමිෂන් සභා දැන්වීමද ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්, සජිත් පළකළ විරෝධය ද මිනිට්වලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත්ය. කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත්තේ සජිත් මේ ආකාරයට විරෝධය පළ කිරීමත් සමග සති අන්ත පුවත්පත්වලට යැවූ නිවේදන පවා අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

වහාම නීති උපදෙස් ගනී!

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග සජිත් වහාම සිය නීතීඥ කණ්ඩායම කැඳවා මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට පියවර ගත්තේය. එමෙන්ම යම් හෙයකින් තම විරෝධය නොතකා මැතිවරණ කොමිසමටද සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළේ නම් වහාම දෙස්විදෙස් මාධ්‍යවේදීන් කැඳවා මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ පිළිබදව කරුණු කීමටද සජිත් සැලසුම් කර තිබිණ.

බදාදා රෑම චාල්ස් නාඩගම පටන් ගනී!

බදාදා පස්වරුවේ මෙම සිදුවීම මේ ආකාරයට අවසන් වෙද්දී තවත් ආන්දෝලනාත්මක ජවනිකාවක් බදාදා රාත්‍රියේ ආරම්භ විය. ඒ, මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වූ පී.එම්.පී. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වී ඇති බවට ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වාර්තා කිරීමය. එම පුවතේ අස්වීමේ ලිපිය හෝ අස්වීමට හේතු මොනවාද යන්න සඳහන්ව නොතිබුණු අතර ජනාධිපතිවරයා වෙත ලිපිය යොමුකොට ඇති බවක් පමණක් සඳහන් විය.

සභාපති කියපු කතාව!

බදාදා රාත්‍රියේ මෙම පුවත පළවීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය එකවරම කැලඹී ගියේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල්දැමීමේ නියත තුරුම්පුවක් ගසා ඇති බවට හාහූවක් සමාජගත වීමත් සමගිනි. ඒ අනුව හැමෝම මෙම පුවතේ ඇත්ත නැත්ත සොයාබැලීමට යුහුසුළු වූහ. මැතිවරණයක් කැඳවා ඇති මොහොතක කොමිසමේ සාමාජිකයෙක් අස්වුවහොත් මැතිවරණයට කුමක් වේවිද, එය අවලංගු කිරීමට සිදුවේද, එසේත් නැතිනම් සිටින සාමාජිකයන්ට මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට හැකිද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවෙමින් පැවැති මොහොතේ එම සැකය නැති කළේ වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාත්, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාත්ය. ඒ අනුව පුංචිහේවා මහතා බ්‍රහස්පතින්දා උදෑසනම මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් කියා සිටියේ චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසමට බලපෑමක් නොමැති බවත්, මැතිවරණය නියමිත ආකාරයට මාර්තු 09 වැනිදා පවත්වන බවත්ය. එමෙන්ම චාල්ස්ගේ ඉල්ලා අස්වීමට සමගාමීව කොමිසමේ සභාපතිවරයාද ඉල්ලා අස්වීමට නියමිතව ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබීම හේතුවෙන් ඊටද පිළිතුරු දුන් පුංචිහේවා කියා සිටියේ එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත්, එවැනි පුවත්වලට පිළිතුරු දීමට පවා කාලය නාස්ති කළ යුතු නැති බවත්ය.

ලියුමක්වත් එවලා නෑ! කියලත් නෑ!

එමෙන්ම මේ වන විට චාල්ස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්ද මතුව ඇත්තේ මහත් ආන්දෝලනයකි. ඒ, සිකුරාදා වන තෙක්ම මැතිවරණ කොමිසමට නිල වශයෙන් එවැනි ලිපියක් ලැබී නොතිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වන්නේ නම් පළමුව ඒ බව දැනුම්දිය යුතුව ඇත්තේ කොමිසමටය. නමුත් තවමත් එවැනි ලිපියක් කොමිසම වෙත ලැබී නොතිබීම හේතුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී මැතිවරණ කොමිසම ඒ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. එම නිවේදනයේ සඳහන් වූයේ මෙවැන්නකි.

දාපු නිවේදනය මෙන්න!

2023.01.26

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ඉල්ලා අස්වී ඇති බවට සහ කොමිෂන් සබාවේ එක් සාමාජිකයකුගේ ඉල්ලා අස්වීම ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවට ද වූ ප්‍රවෘත්තිය ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය වී ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුගේ ලිඛිත ඉල්ලා අස්වීමක් හෝ එසේ යවන ලද ලිපියක පිටපතක් හෝ මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර, සභාපතිතුමා ඇතුළු සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කාර්යයන් හා 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිදු අඩාළ වීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරනු ලබන බවද මෙයින් නිවේදනය කරමි.

කොමිෂන් සභාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර නිර්මාණය කොට ප්‍රචාරය කරනු ලබන බව කොමිෂන් සභාවට නිරීක්ෂණය වී ඇති බවද වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි

එච්.එම්.ටී.ඩී. හේරත්
ලේකම්,
මැතිවරණ කොමිෂන් සභාව

නීතිය මෙන්න!

මීට අමතරව මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය, චාල්ස්ගේ ඉවත්වීම හා ඊට අදාළ තීරණය සඳහන් කොට තිබුණේ මේ ආකාරයටය.

ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපණ වේවිද? මෙයට පිළිතුර නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි. නැවත නැවත බොහෝ දෙනකු විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පළකළෙමි.

එය නැවත පහත උපුටා දක්වමි.
104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.

(2) (අ) කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිෂන් සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය.

(ආ) කොමිෂන් සභාවේ තීරණ, ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.

(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද, ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම, කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය. නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.

ඒ අනුව දැන් ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් ඉතිරිව ඇත්තේ තවත් එක් අවස්ථාවක් පමණි. ඒ, ලබන 09 වැනිදාට අධිකරණය විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ලබාදෙන තීන්දුවය.

බැසිල් හන්තානේ විවේක සුවයෙන්!

පසුගිය සතියේ කොළඹ දේශපාලනය මෙසේ උණුසුම් වෙද්දී පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සිටියේ මේ උණුසුමෙන් මිදී කන්ද උඩරට සීතලේය. හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් සතියේ පැවැති අතර එහි මනාලයාගේ පාර්ශ්වයෙන් අස්සන් කිරීම භාරව සිටියේ බැසිල්ය. ඒ නිසා බැසිල් සිය බිරිය වූ පුෂ්පාද සමග පසුගිය සෙනසුරාදා දින නුවරට ගියේ දින කිහිපයක් එහි විවේක සුවයෙන් ගතකොට විවාහ උත්සවයටද සහභාගි වීම සඳහාය. බැසිල් සිය විවේකය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ හන්තානට ආසන්න මනරම් බංගලාවකි. ඒ අනුව බැසිල් එම දින කිහිපය තමන්ට අතිශය සමීප තවත් හිතවතුන් දෙදෙනෙක්ද සමග විවේකයෙන් ගතකරනු දැකගන්නට ලැබිණි.

චාල්ස් නාට්‍යය පිටිපස්සේ බැසිල් හිටියද?

කෙසේ වෙතත් හන්තානේ සිටි දින කිහිපය තුළ ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධ නොවුණත්, බැසිල් ලොකු දේශපාලන සැලසුමක් සකස් කළ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව හන්තානේ සිටම කොළඹ සිටි ප්‍රබල දේශපාලන චරිත කිහිපයකටම බැසිල් ඇමතුම් ලබාදුන් ආකාරයක්ද දැකගන්නට ලැබිණි. සමහරු සැක කරන්නේ මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මිය ඉවත් කිරීම පසුපසද බැසිල්ගේ සෙවනැල්ලක් වැටී ඇති බවකි. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණ වී නොමැත.

කපිල පුංචිමාන්නගේ

Exit mobile version