චීනය එවපු අලුත් ලියුමෙන් අලුත් අවුලක්! දාපු අලුත් කොන්දේසිය! ණය සාකච්ඡාවලදී ගේන්න යන තර්කය! ඝානාවටයි සැම්බියාවටයි වෙච්ච දේම ලංකාවටත් වෙයිද? රාජ්‍ය රහස් EXCLUSIVE

සීසීකඩ ගිය රාජපක්ෂ පවුල එකතු කරපු ඩිනර් එක!

ජ්‍යොතිෂ උපදෙස්වලින් මහින්දට කියපු දේ!

මහින්ද දේශප්‍රිය ගහන්න යන අලුත්ම ගේම!

දයාසිරි මෛත්‍රීත් එක්ක කලකිරිලා!

IMF ගිය ඉතිහාසය!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළේ මීට මාස 11කට පමණ ඉහතදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් විදේශ ඇමැති අලි සබ්‍රි මහතා විසිනි. සබ්‍රි සමග වොෂින්ටනයේ පිහිටි මූල්‍ය අරමුදලේ මූලස්ථානයට ගිය ගමනට එදා මහබැංකු අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් එක්ව සිටියහ. ඒ අනුව එදින සිටම ආණ්ඩුව දිගින් දිගටම කාල වකවානු ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මාස 3ක් ඇතුළත එම ණය මුදල් ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. අවස්ථා ගණනාවකදී එම කාලවකවානුව මාස දෙකකින්, මාස තුනක් ආදී වශයෙන් ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුවට සිදුවූයේ මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කොන්දේසි සපුරාලීමේ අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව තිබූ බැවිනි.

බරපතළ කොන්දේසි 15ක්!

ඉන් බරපතළම කොන්දේසිය වී තිබුණේ සියලු විදේශ ණය හිමියන් විසින් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට මූල්‍ය අරමුදල විසින් සහතිකයක් බලාපොරොත්තු වීමය. මීට අමතරව ආණ්ඩුව විසින් ඉටුකළ යුතු කොන්දේසි 15ක්ද මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ, රට ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් ලෙසය. ඒ අනුව ආණ්ඩුව තෙල් මිල, විදුලි බිල, ජල බිල, බදු බර ඉහළ නංවමින් පසුගිය කාලය පුරාම එම කොන්දේසි ඉටුකිරීමට කටයුතු කළේ රට ඇතුළෙන් මතුවුණු දැවැන්ත ජනතා විරෝධය තඹයකට මායිම් නොකරය.

චීනය තමයි අවුල!

කෙසේ වෙතත් ඒ සියලු කොන්දේසි ඉටුකළද ණය හිමියන්ගෙන් ලබාගත යුතු සහතිකය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ පා සිටියේ විශාල අර්බුදයකටය. ඊට හේතු වූයේ ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය විසින් ඒ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළ නොකිරීමය. චීනය පැත්තෙන් කියැවුණේ එවැන්නක් මීට පෙර සිදුකොට නොමැති නිසාත්, එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියහොත් තමන් විසින් ණය ලබාදී ඇති අනෙකුත් රටවල්ද එවැනි ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඉල්ලා සිටිය හැකි නිසාත් එවැන්නක් සඳහා එකඟ විය නොහැකි බවකි. නමුත් ලංකාවේ අනෙකුත් ණය හිමියන් වන ඉන්දියාව, ජපානය, යුරෝපා රටවල් වසර 10ක කාලයක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට සහතික ලබාදීම හේතුකොට ගෙන චීනයටද එසේ කරන ලෙසට අමෙරිකාව ඇතුලු ප්‍රබල රටවලින් විශාල බලපෑමක් එල්ල වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

බැරිම තැන ලියුම එවයි!

ඒ අනුව චීනය බැරිම තැන ඇපෙන් ගැළවෙන්නට මෙන් මීට මාසයකට පමණ ඉහතදී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීමට තමන්ද සූදානම් බවට වූ ලිපියක් ආණ්ඩුවට එවීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී ආණ්ඩුවත්, පොහොට්ටුවේ මැති ඇමැතිවරුනුත් මහත් ප්‍රීතියට පත්ව යළිත් වතාවක් දින වකවානු ප්‍රකාශයට පත්කරමින් මූල්‍ය අරමුදල මගින් ස්ථිර වශයෙන්ම ණය පහසුකම ලබාදෙනු ඇති බවට ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. මෙරට අතිබහුතරයක් මාධ්‍ය ඒ සියලු ප්‍රකාශ ඒ ආකාරයෙන්ම ගෙඩිය පිටින් ගෙන කිසිදු වගවිභාගයකින් තොරව, වැඩිදුර සොයාබැලීමකින් තොරව උදේ දවල් රාත්‍රී ප්‍රචාරය කරන ආකාරයක්ද දැකගත හැකි විය.

මාධ්‍ය ආයෙමත් බොරු ගැහුවාද?

කෙසේ වෙතත් සෑම අවස්ථාවකදීම මෙන්ම ‘රාජ්‍ය රහස්’ තීරය මේ සම්බන්ධයෙන් මුල සිටම සත්‍ය තොරතුරු රටට ඉදිරිපත් කරමින් මෙහි ඇති ගැටලුසහගත තැන් රැසක්ම එකින් එක පෙන්වා දීමට කටයුතු කළේ වගකිව යුතු මාධ්‍යයක් ලෙස සැබෑ මාධ්‍යකරණයේ වගකීම ඉටුකරමිනි. එහිදී අප දිගින් දිගටම පෙන්වා දුන්නේ ආණ්ඩුව සහ මාධ්‍ය අසත්‍ය කරුණු රටට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, අනෙක් රටවල් මෙන් නොව චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදිමදි කරන ආකාරයක් දැකගන්නට ඇති බවත්ය. එමෙන්ම ආණ්ඩුව විසින් ඇතැම් මාධ්‍ය අල්ලාගෙන පළකරන පුවත් සම්පූර්ණ අසත්‍ය බවද අප මෙම තීරුවෙන් රටට කියා සිටියේ වරක් දෙවරක් නොවේ. යම් යම් පිරිස් විසින් යම් කණ්ඩායමකට මුදල් ගෙවා මෙම පුවත් පළකරන බවටද මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත තොරතුරු රැසක් ලැබී ඇති අතර ඉදිරියේදී අප එම මුදල් ලබාදුන් කණ්ඩායම් පිළිබඳවත්, මුදල් ලබාගෙන අසත්‍ය තොරතුරු පළකරන කණ්ඩායම පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

චීන ලිපියට විරෝධය!

ඒ කෙසේ වෙතත් චීන සහතිකය ලැබුණු බවට ඒ දවස්වල ආණ්ඩුව උද්දාමයට පත්ව සිටියත් ‘රාජ්‍ය රහස්’ තීරය එහිදී කියා සිටියේ වසර 2ක කාලයක් සඳහා පමණක් චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට ඇති බැවින් එම ලිපිය මුල් කරගෙන අර්බුදයක් ඇතිවිය හැකි යැයි කියාය. අප කී ආකාරයටම මූල්‍ය අරමුදල මගින් වහාම ආණ්ඩුවට දැනුම් දී සිටියේ චීනය වසර 2ක කාලයක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනෙකුත් රටවල් මෙන් චීනයද වසර 10ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළකළ යුතු බවත්ය.

ලියුම මෙහෙම එවන්න!

මීට අමතරව ලිපියේ තිබූ තවත් අඩුපාඩු කිහිපයක්ද මූල්‍ය අරමුදල මගින් පෙන්වා දී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ මෙම ලිපිය චීන රජය මගින් ලබාදිය යුතු වුවද, එය චීන ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව මගින් ලබාදී තිබීමය. අනෙකුත් ණය හිමි රටවල් සියල්ල ඒ ඒ ආණ්ඩු විසින් ලිපි නිකුත් කර තිබූ බැවින් චීනයද එසේ කළ යුතු බව මූල්‍ය අරමුදල මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. අනෙක් කරුණ වූයේ මෙම චීන ලිපිය ඍජුවම මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ යුතු බවය. මන්ද ඔවුන් එම ලිපිය ලබාදී තිබුණේ චීන එක්සිම් බැංකුව මගින් ලංකා ආණ්ඩුව ආමන්ත්‍රණය කොටය. එය පිළිගත නොහැකි බවත්, චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආමන්ත්‍රණය කොට අදාළ ලිපිය යොමු කළ යුතු බවත් මූල්‍ය අරමුදල මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. ඒ අනුව අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අමතා මේ බව සාකච්ඡා කිරීමට උත්සාහ කළත්, ඒ සියලු අවස්ථා ව්‍යර්ථ වූ බව අප මෙම තීරුව මගින් මීට පෙර සති දෙකකදී රටට හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණි.

ලොකු මාධ්‍ය මෙහෙයුමක්!

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ එක්වරම සියලු මාධ්‍ය ‘බ්‍රේකින් නිවුස්’ එකක් පළකරමින් කියා සිටියේ මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයට චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කර ඇතැයි කියාය. පොහොට්ටු මැති ඇමැතිවරු මහත් උද්දාමයෙන් යුතුව පාර්ලිමේන්තුව තුළදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ බලාපොරොත්තු වූ ආකාරයට චීනය විසින් ණය සහතික ලිපිය ඉදිරිපත් කර ඇති බවත්, මාර්තු 20 වන විට මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ පළමු වාරිකය නිකුත් කරනු ඇති බවක් බලාපොරොත්තු විය හැකි බවත්ය. ජනාධිපතිවරයාද වහාම පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් චීනය අවශ්‍ය ආකාරයට ණය සහතිකය ලබාදී ඇති බවත්, නුදුරේදීම ණය මුදල අනුමත වනු ඇති බවත් ප්‍රකාශ කළේය. මෙරට චීන තානාපති ෂැන්හොන් මහතා අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලබාදෙන ඡායාරූපයද මාධ්‍යවල පළකෙරෙන ආකාරයක් දැකගත හැකි විය.

ලියුමෙ තිබුණ දේවල් මෙන්න!

ඒ අනුව ජනාධිපතිවරයා මේ කියන කතාව ඇත්තද, මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයට චීනය අදාළ ණය සහතික පිළිබඳ ලිපිය යොමුකරලාද, ආණ්ඩුව කියන විදියට මාර්තු මස 20 වැනි දින මූල්‍ය අරමුදලේ පළමු ණය කොටස ලංකාවට හිමිවනු ඇතිද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරයද විශේෂ විමර්ශනයක් සිදුකළේය. එහිදී අපට තහවුරු වූ එක් කරුණක් වූයේ ආණ්ඩුව කියන පරිදි සහ මාධ්‍ය වාර්තා කළ පරිදි චීනය විසින් අදාළ ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටම ආමන්ත්‍රණය කොට යවා ඇති බවය. ඒ පැත්තෙන් බලද්දී නම් එම කරුණ සම්පූර්ණ සත්‍යයකි. නමුත් මෙහිදී ආණ්ඩුව සහ මාධ්‍ය විසින් හෙළි නොකරන කරුණුද රැසක් පවතින බව අප කළ මෙම විමර්ශනයේදී දැකගන්නට ලැබිණි. එහිදී චීනය විසින් එවන ලද පළමු ලිපිය හා අවසන් වරට එවන ලද දෙවැනි ලිපිය අතර විශාල වෙනස්කමක් නොතිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමය. එහිදී දැකගන්නට තිබුණේ වෙනස්කම් දෙකක් පමණි. ඉන් පළමු වෙනස්කම වූයේ ශ්‍රී ලංකාවට ආමන්ත්‍රණය කොට එවා තිබූ ලිපිය වෙනුවට මෙම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආමන්ත්‍රණය කොට එවීමට පියවර ගෙන තිබීමය. දෙවැනි වෙනස වූයේ ලිපියේ එක් වාක්‍යයක සුළු වෙනස්කමක් පමණක් දැකගන්නට ලැබීමය. එම වාක්‍යයේ සඳහන්ව තිබුණේ, ‘We are considered to see other options’ (අප අනෙකුත් විකල්පයන් සලකා බැලීමට සූදානම්ය) යන්නය.

ලොකු වෙනසක් නෑ!

ඒ අනුව චීනය එවන ලද පළමු ලිපියේත්, දෙවැනි ලිපියේත් ලොකු වෙනසක් දැකගන්නට තිබුණේ නැත. පළමු ලිපිය මෙන්ම දෙවැනි ලිපිය එවා තිබුණේද චීන ආණ්ඩුව මගින් නොව, චීන අපනයන ආනයන සංවර්ධන බැංකුව හෙවත් එක්සිම් බැංකුව මගිනි. දෙවැනි ලිපියේද ඇතුළත්ව තිබුණේ වසර දෙකක කාලයක් සඳහා පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කොට ඇති බවකි. නමුත් ආණ්ඩුව නම් කියන්නේ මෙම ලිපිය පදනම් කොට ගෙන ලබන මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට නිදහස් කිරීමට නියමිත ණය මුදල පිළිබඳ සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි කියාය.

ප්‍රශ්නේ එන්නේ ඊළගට! ඝානාවට සැම්බියාවට වෙච්ච දේ!

ඒ අනුව මෙම ලිපිය 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඔවුන් ඊට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ලිපිය උපයෝගී කොට ගෙන අදාළ ණය මුදල නිදහස් කිරීමට මූල්‍ය අරමුදල සිය එකඟතාව පමණක් ප්‍රකාශයට පත්කරනු ඇති බවකි. නමුත් බරපතළම ගැටලුව ආරම්භ වන්නේ එතැන් සිටය. මන්ද යත් එතැන් සිට මූල්‍ය අරමුදල ලංකාවේ විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනු ඇත. ගැටලුව ඇත්තේ එම සාකච්ඡාවලදී මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන වසර 10ක ණය පොලී සහනය සහ චීනය විසින් ලබාදී ඇති වසර දෙකක ණය පොලී සහනය සමග යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වීමය. ඊට හොඳම උදාහරණය වන්නේ සැම්බියාව සහ ඝානාවය. මීට පෙර සැම්බියාව සහ ඝානාවද එරට උද්ගතව පැවැති බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි අතර, මූල්‍ය අරමුදලද ඔවුන්ට ණය ලබාදීමට එකඟතාව පළ කළේය. නමුත් ඔවුන්ගේ ගැටලුව පැනනැගුණේද චීනය සමග පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදීය. එහිදී චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එකඟ නොවීම හේතුවෙන් මුදල් නිකුත් කිරීමට එකඟතාව පළ කර තිබුණද, තවමත් එම මුදල් නිදහස් කිරීමේ කටයුතු සිදුව නොමැත. ඒ අනුව ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසු සැම්බියාට සහ ඝානාවට සිදුවූ දේම සිදුවනු ඇතිද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව තිබේ.

අලුත් කොන්දේසියක් දමයි!

එමෙන්ම චීනය අදාළ ලිපිය මගින් තවත් විශේෂ කරුණක්ද දැනුම්දී තිබේ. ඒ, ණය පිළිබඳ සාකච්ඡා පැවැත්විය යුත්තේ චීනය සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර පමණක් බවය. නොඑසේ නම් ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර පමණකි. ඒ හරහා ඔවුන් නොකියා කියා සිටින්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අනෙක් රටවල් සමග සාකච්ඡා කිරීමට චීනය සූදානම් නැති බවකි. බොහෝ දෙනා මෙම වගන්තිය චීනය මගින් එවා තිබූ දෙවැනි ලිපියෙන් ඉවත් කරනු ඇති බව සිතා සිටියද එම වගන්තය යළිත් ඊට ඇතුළත් කොට තිබීම විශේෂ කරුණක් සේ සැලකිය හැකිය.

සාකච්ඡාවලදී ගේන්න යන තර්කය!

මේ අතර චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවේදී පාවිච්චි කිරීමට සූදානමින් සිටින එක්තරා උපක්‍රමයක් පිළිබඳවද පසුගිය සතියේදී තොරතුරු වාර්තා විය. ඒ, චීනය විසින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදීම සිදුකොට ඇති රටවල් ප්‍රමාණය සහ එවායේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල් කරගෙන සාකච්ඡාවේදී යම් තර්කයක් මතුකිරීමට සැලසුම් කොට තිබීමය. මේ වන විට චීනය විසින් ලොව රටවල් 79කට පමණ ණය ලබාදීම සිදුකොට තිබීම හේතුවෙන් චීනය ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස සැලකේ. මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යනාදිය විසින් ලොව රටවල් 192කට පමණ ණය ලබාදීම සිදුකොට ඇත. ඒ අනුව මෙම සාකච්ඡාවලදී චීනය විසින් පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ණය දී ඇති රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සිදුකොට පෙන්වන ලෙසට යෝජනා කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව චීනය ජාත්‍යන්තරය සමග ලංකාවේ ප්‍රශ්නය හරහා තවත් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරගැනීමේ වැඩපිළිවෙළකට යොමුවෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. ඒ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විශාල අවුලකට ඇදදැමීමට සැලසුම් කිරීම හරහාය. මේ කිසිවක් පිළිබඳ මේ වන විට කිසිදු මාධ්‍යයක් වාර්තා නොකරන නමුත් ජාත්‍යන්තර මාධ්‍ය නම් මේ පිළිබඳ විටින් විට විශේෂ තොරතුරු වාර්තා කරන ආකාරයක් දැකගන්නට පුළුවන. මුලදි මුලදී ශ්‍රී ලංකාවේ සිට තොරතුරු සපයන ඇතැම් රොයිටර් පුවත් මගින් මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳ අතේ පැලවෙන අසත්‍ය පුවත් පළ කළද වෙනත් රටවල සිට යොමුකරන රොයිටර් වාර්තා මගින් මෙම සාකච්ඡා පිළිබඳ සමබරව තොරතුරු වාර්තා කර ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. එම මධ්‍යස්ථ වාර්තා දෙස බලන විට දැකගැනීමට ඇත්තේ කවුරු කුමක් සඳහන් කළද මූල්‍ය අරමුදල සම්බන්ධ සාකච්ඡා ඉතා අවදානම්සහගත තැනකට තල්ලු වෙමින් ඇති බවය.

බැලුම ආයෙත් පිපිරෙයිද?

ඒ අනුව රට ඇතුළේ මතුවෙමින් පැවැති ඡන්ද උණුසුම යටපත් කිරීම සඳහා ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සාකච්ඡා ‘අතිසාර්ථක’ බව කියමින් මාධ්‍ය හරහා පුම්බමින් සිටින බැලුම කුමන අවස්ථාවකදී හෝ පිපිරී යෑම සිදුවනු නොඅනුමානය.

රාජපක්ෂ පවුල ඇතුළේ පිපිරිලි!

පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල ඇතුළේ මතුව ඇති බරපතළ දේශපාලන අර්බුදය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හැරදමා රටින් පලා යෑමත් සමග රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති මතභේද විශාල වශයෙන් එළියට පැමිණි බවකි. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා සිය පුත්‍රයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග ආණ්ඩුව ඇතුළේ සිටිමින් වෙනම ගමනක් ආරම්භ කළ ආකාරයත්, බැසිල්, මහින්ද ඇතුළු කණ්ඩායමට ප්‍රසිද්ධියේ බැණවැදී තිබුණු ආකාරයත්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග වැඩි ඇයිහොඳයියක් නොපැවැත්වූ ආකාරයත් අප මෙම තීරය ඔස්සේ වාර්තා කොට සිටියෙමු.

ඔක්කොම එක මේසෙට ගේන මෙහෙයුමක්!

කෙසේ වෙතත් හිටි හැටියේම පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු එක මේසයක එක්ව සිටින ආකාරයේ ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. රාජපක්ෂ පවුල අතර බරපතළ දේශපාලන මතගැටුම් පවතින බවට රට ඇතුළේ මතයක් තිබීම නිසා මෙසේ රාජපක්ෂ පවුල නැවත එක්ව සිටීම දැක්වෙන ඡායාරූපය පළවූ සැණින් බොහෝ දෙනා සොයා බලන්නට වූයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යළි එකතු වී අලුත් දේශපාලන ගමනක් ආරම්භ කොට ඇති දැයි කියාය. මාධ්‍ය හරහා එම ඡායාරූපයට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබීම හේතුවෙන් මේ පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයද මෙසේ රාජපක්ෂවරුන් එක මේසයකට එකතු වීම පිළිබඳ ඇති තිරය පිටුපස කතාව සොයා බැලීමට පියවර ගත්තෙමු.

පිටිපස්සේ හිටියේ නංගියි මස්සිනායි!

එහිදී අපට දැනගන්නට ලැබුණේ සීසීකඩ ගොස් සිටි රාජපක්ෂ පවුල මෙසේ යළි එකමුතු කිරීමට පියවර ගෙන ඇත්තේ විදෙස්ගතව සිට පසුගියදා ලංකාවට පැමිණි රාජපක්ෂ පවුලේ එක් නැගනියක සහ ඇය විවාහ වී සිටින සැමියා විසින් බවය. මෙය ඔවුන් හඳුන්වා දී තිබුණේ Reunion of Rajapaksha family යන නමිනි. ඒ සඳහා රාජපක්ෂ පවුලේ සියලු දෙනාට ආරාධනා කරමින් ඔවුන්ගේ කොළඹ පෞද්ගලික නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කිරීමට ඔවුන් පියවර කොට තිබිණි. ඒ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳටත්, මහින්ද රාජපක්ෂ පවුලේ සියලු දෙනාටත්, බැසිල් සහ චමල්ගේ පවුලේ සියල්ලටමත් ආරාධනා කිරීමට ඇය පියවර ගෙන තිබිණි.

අන්තිම මොහොතේ වැඩේ බකල් වෙයි! මහින්ද-ශිරන්ති-නාමල් තංගල්ලේ යයි!

කෙසේ වෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සියල්ලන්ගේම එකඟතාව පළවුණත් අවසන් මොහොතේදී එය කඩාකප්පල් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, හදිසියේම මහින්දත්, ශිරන්තිත්, නාමලුත් තංගල්ලේ පිහිටි මහගෙදර බලා පිටත්ව යෑම නිසාය. මෙය අහඹු සිදුවීමක් ලෙස පෙනෙන්නට තිබුණත්, දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබූ විවිධ කටකතාවලින් නම් කියැවුණේ ශිරන්තිගේ සහ නාමල්ගේ බලවත් ඉල්ලීම මත මහින්ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවී තංගල්ල බලා පිටත්ව ගියා යැයි කියාය. ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ මහින්දත්, ශිරන්තිත්, නාමලුත් නොමැතිවය. කෙසේ වෙතත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වී සිටීමය.

ආයෙමත් ඩිනර් එකක් ලෑස්ති කරයි!

මේ ආකාරයට රාජපක්ෂ පවුල යළි එකමුතු කරන මෙහෙයුමේ පළමු උත්සාහය කඩාකප්පල් වී ගියත්, රාජපක්ෂ පවුලේ නැගණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා එම උත්සාහය අත්හැරියේ නැත. ඒ අනුව මහින්ද, ශිරන්ති සහ නාමල් තංගල්ලේ සිට යළි කොළඹ බලා පැමිණීමෙන් අනතුරුව නැවත වතාවක් ඇය විසින් සිය නිවෙසේ රාජපක්ෂ පවුල වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කළාය. කලින් වතාවේ මෙන් ඊටද සියලු රාජපක්ෂවරුන්ට ආරාධනා කිරීමටද ඇය පියවර ගත්තාය. එහි ප්‍රතිඵලයක් වූයේ කලකට පසුව රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම යළිත් එක මේසයකට එක්ව භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව සැලසීමය. ඊට මහින්ද, චමල්, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර එක්ව සිටි අතර, මේසයේ නොසිටියේ ගෝඨාත්, අයෝමාත් පමණි. කෙසේ වෙතත් මෙහිදීද රාජපක්ෂ පවුල ඇතුළේ ගෝඨාභයට ඇති විරෝධය එළියට පැන්නේ භෝජන සංග්‍රහය අතරතුරදීද රාජපක්ෂපවුලේ ඇතැමුන් විසින් ගෝඨා ගෙන ගිය ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගෙන තිබීම නිසාය.

මහින්දගේ අගමැති සටන ලෑස්තියි! අපි කලින්ම කිව්වා!

කෙසේ වෙතත් මීට සති තුනකට ඉහතදී අප මෙම තීරය ඔස්සේ මහින්දව යළි අගමැති කිරීම සඳහා පොහොට්ටුව ඇතුළේ දියත් කර ඇති මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර සිටියෙමු. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ අප තැබූ සටහනය.

‘පොහොට්ටුව මේ දිනවල තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කර ඇති බවක් ආරංචිය. ඒ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති තනතුරට පත්කිරීමේ මෙහෙයුමය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොමැතිව මොන යම් හෝ මැතිවරණයකට ගියහොත් පොහොට්ටුවට ඉතා භයානක ඉරණමක් අත්වනු ඇති බව පක්ෂයේ ප්‍රධානීන් හට අවබෝධ වී තිබීමය. එම තත්ත්වය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් ආණ්ඩුවේ ඉහළ තනතුරක් පොහොට්ටුව වෙත ලබාගත යුතු බව බැසිල් ඇතුළු පිරිසේ මතය වී ඇත.

නමුත් මේ සඳහා ප්‍රධාන බාධකය වී ඇත්තේ වන කවුරුවත් නොව වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන බැවින් එක්වරම මෙවැනි යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළ නොහැකි නමුත් පසුගිය සතිය වන විට රාජපක්ෂ පවුල ඇතුළෙන් ඔහුට මෙම පණිවුඩය නොනිල ලෙස ලබාදීමට කටයුතු කෙරිණි. එහිදී කියැවුණේ මහින්දට තවත් එක් අවස්ථාවක් පමණක් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළයුතු යැයි කියාය.

පළමු අවස්ථාවේදී දිනේෂ්ගෙන් නිහඬ ප්‍රතිචාරයක් ලැබී තිබුණු බැවින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම යළිත් එම පණිවුඩය දිනේෂ් වෙත නොනිල ලෙස දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් දිනේෂ් මේ වන තෙක්ම ඊට ‘හා’ හෝ ‘බෑ’ කියා හෝ නොමැති බවක්ද දැනගන්නට ඇත. නමුත් රාජපක්ෂ පවුල තවමත් එම මෙහෙයුම අතහැර නැති බවද වාර්තා වේ.’

අගමැති සටන යළිත්!

අප සඳහන් කළ මෙම කාරණයද එදින රාත්‍රී භෝජන සංග්‍රහයේදී නැවත වතාවක් සාකච්ඡා වී ඇති ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම තොරතුර රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කරන අවස්ථාවේදී දිනේෂ් ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණත් පසුව දිනේෂ් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ අගමැති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බවකි. ඒ සම්බන්ධයෙන්ද මෙහිදී රාජපක්ෂ පවුල ඇතුළේ තොරතුරු සාකච්ඡා වූ බවක් දැනගන්නට ඇත. ඒ අනුව රාජපක්ෂ පවුල නැවත ඒකරාශි කිරීමේ මෙහෙයුම හරහා මහින්දව යළි අගමැති කිරීමේ මෙහෙයුමද එළියට පැමිණ තිබූ බවක් දැකගැනීමට හැකි විය.

බැසිල් අලුත් ගේමක!

මෙවැනි පසුබිමක් යටතේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතාද සිය දේශපාලන සැලසුම තරමක වෙනසකට ලක්කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා සමීපයේ සිටින පොහොට්ටුවේ මැති ඇමැතිවරු කණ්ඩායමක් විසින් පොහොට්ටුව දියකර හැරීම සඳහා දේශපාලන මෙහෙයුමක් දියත් කොට ඇති බවට බැසිල් වෙත තොරතුරු ලැබී තිබීමය. මේ තත්ත්වය යටතේ දේශපාලන උපක්‍රමයක් ලෙස බැසිල් තීන්දු කොට ඇත්තේ ටික කාලයක් යන තෙක් නිහඬව හිස පහත් කොට ගෙන වැඩකටයුතු කරගෙන යෑමටය. බැසිල්ගේ ගණන් බැලීම වී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ගේමක් ගැසීමට නම් මුලින්ම රාජපක්ෂවරුන් ශක්තිමත් වී කෙළින් කටින් සිටගෙන සිටිය යුතු යැයි කියාය.

ජ්‍යොතිෂ උපදෙසුත් ලැබිලා!

මීට අමතරව රාජපක්ෂවරුන් යනු දැඩිව ජ්‍යොතිෂය විශ්වාස කරන දේශපාලන පවුලකි. දිනුවා හෝ පැරැදුණා හෝ ඕනෑම දේශපාලන කටයුත්තක් සිදුකිරීමට පෙර ජ්‍යොතිෂයට අනුව කටයුතු කිරීම රාජපක්ෂවරුන්ගේ සිරිතය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන මැයි වන විට රාජපක්ෂවරුන්ට යළි බලය ඇල්ලීමේ අවස්ථාවක් මතුවන බවට ජ්‍යොතිෂවේදීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවකි. එතෙක් නිහඬව සිටිය යුතු බව රාජපක්ෂවරුන්ගේ අදහස වී ඇති අතර, අප්‍රේල් අගභාගය වන විට යළි දේශපාලන කටයුතු සක්‍රීය ලෙස ආරම්භ කිරීම එම පවුලේ සැලසුම වී තිබේ.
මීට අමතරව මැයි මාසයෙන් පසු කෙටි කාලයකට හෝ මහින්දට යළිත් අගමැති පුටුවේ වාඩිවිය හැකි බවට වූ අනාවැකියක්ද ජ්‍යොතිෂවේදීන් විසින් රාජපක්ෂ පවුල වෙත දැනුම් දී ඇති බවක්ද ආරංචිය. රාජපක්ෂ පවුලේ නැගණියගේ නිවෙසේ හදිසියේම රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කොට රාජපක්ෂ පවුල යළි එකමුතු කිරීමේ මෙහෙයුමක් දියත් වී ඇත්තේද මෙම ජ්‍යොතිෂ උපදෙස්වලට සමගාමීව වීම විශේෂ සිදුවීමකි.

ඡන්දෙට ‌කරන්න යන දේ!

මාර්තු 09 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන්ගේ කකුලෙන් ඇදීම හේතුකොට ගෙන මේ වන විට අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ඉකුත් සතියේදීය. ඒ අනුව අධිකරණය විසින් මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවාගැනීම තහනම් කරමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව මැතිවරණ කොමිසම පසුගිය සතියේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් මුද්‍රණාලයාධිපතිනියාත්, පොලිස්පතිවරයාත් මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාව කැඳවා තිබූ අඟහරුවාදා දිනයේදී හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් මහින්ද සිරිවර්ධන මහතා සාකච්ඡාවට සහභාගි නොවූ අතර, ඊට පැමිණ සිටි මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කියා සිටියේ ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල දින 05ක් ඇතුළත් මුද්‍රණය කර දිය හැකි බවත්, ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර කාලයකදී මුද්‍රණය කරදිය හැකි බවත්ය.

දේශප්‍රියව දාලා ගහන්න යන ගේම!

ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණයට සූදානම් වෙමින් කටයුතු කළත්, ආණ්ඩුව පැත්තෙන් තවමත් මැතිවරණය කල්දමන සැලසුම් ක්‍රියාත්මක කිරීම හකුලාගෙන නැත. ඒ අනුව ආණ්ඩුවේ අලුත්ම සැලසුම වී ඇත්තේ සීමා නීර්ණය කිරීමේ කමිටුවේ වාර්තාව හරහා මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය. එම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය. ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ හැකි ඉක්මනින් මෙම වාර්තාව මහින්ද දේශප්‍රියගෙන් ලබාගෙන, එය කැබිනට්ටුවේ සම්මත කොට, පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.

විශ්‍රාම ගිය දේශප්‍රියත් ඇප්ලිකේෂන් එකක් දාලා!

ඒ අතරවාරයේ මහින්ද දේශප්‍රිය සම්බන්ධයෙන් තවත් අලුත් තොරතුරක්ද මාධ්‍ය වෙත වාර්තා වී තිබිණි. ඒ, වසර 35කට අධික කාලයක් මැතිවරණ කොමිසමේ සේවය කොට විශ්‍රාම ලබා විශ්‍රාම සුවයෙන් නිවෙසට වී දරුමුනුපුරන් සමග කාලය ගත කළ මහින්ද දේශප්‍රිය මහතා නැවත වතාවක් මැතිවරණ කොමිසමේ සභාපති ධුරය සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බවය. මහින්ද දේශප්‍රියට අමතරව කොමිසමේ වත්මන් සභාපතිවරයා වන නිමල් පුංචිහේවා මහතාද මේ වන විට ඊට නැවත වතාවක් අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවේ සහයෝගය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට හිමිව ඇතැයි කියාය.

ඉස්සර බැසිල්ට! දැන් රනිල්ටද?

සාමාන්‍යයෙන් මහින්ද දේශප්‍රිය අතීතයේදී සැලකුණේ බැසිල්ට සහ රාජපක්ෂවරුන්ට සමීප චරිතයක් ලෙසය. නමුත් මේ වන විට මහින්ද දේශප්‍රිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීපව කටයුතු කරන්නකු බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ මහින්ද දේශප්‍රියගේ සීමා නීර්ණ වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඉන් අනතුරුව මැතිවරණය අවලංගු කරවා ගැනීමටය. එසේ කිරීමෙන් පසු තමන්ට හිතවත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බවක්ද දැනගන්නට ඇත.

දයාසිරිට කැපිල්ලක්ද?

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව වැඩබලන මහලේකම්වරයකු පත්කිරීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. එසේ පත්කරනු ලැබුවේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ සරත් ඒකනායක මහතාය. මෙම පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ‘දයාසිරිට කැපිල්ලක් නේද?’ යනුවෙන් මෛත්‍රිගෙන් විමසද්දී මෛත්‍රී සිනාසෙමින් කියා සිටියේ එවැන්නක් නොමැති බවත්, දයාසිරි විදෙස්ගතව සිටින බැවින් ඒ සඳහා වැඩබලන මහලේකම්වරයකු පත්කර ඇති බවත්ය.

මෛත්‍රීපාල ගහන්න යන ගේම!

මෛත්‍රී මේ ආකාරයෙන් පක්ෂය ඇතුළේ අර්බුදයක් නොමැති බවට සිනාසෙමින් කියා සිටියද ඇත්ත වශයෙන්ම දයාසිරි නම් සිටියේ කලක සිටම ඉතා කලකිරීමෙනි. සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්ස්වය වෙනුවෙන් දයාසිරි විදෙස්ගත වූයේද ඒ දේශපාලන කලකිරීමෙන් යුක්තවමය. දයාසිරිගේ මේ කලකිරීමට හේතු වී තිබුණේ මෛත්‍රී නැවත වරක් ආණ්ඩුවත් සමග ඩීල් එකක් දමාගෙන ඇති බවට කනින් කොනින් තොරතුරු වාර්තා වී තිබීමය. එසේම පහුගිය කාලයේදී ශ්‍රීලනිපය කඩාගෙන ආණ්ඩුවට ගිය දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම සමග මෛත්‍රී යළිත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවටත්, ඔවුන් සියලු දෙනාම සමග පක්ෂයක් ලෙස නැවත වතාවක් ආණ්ඩුවට එකතු වීමට මෛත්‍රී සූදානමින් සිටින බවටත් දයාසිරි වෙත තොරතුරු වාර්තා වී තිබිණි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙසට ලැබුණු නඩු තීන්දුවෙන් පසුව මෛත්‍රී මෙසේ වෙනස් වී ඇති බව දයාසිරි සමග කතාබහ කළ බොහෝ දෙනා ඔහුට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම මෛත්‍රී විටින් විට ජනාධිපතිවරයාට කතාකොට ඇති බවත්, තවත් අවස්ථාවකදී බැසිල්ට කතාකොට ඇති බවට වූ තොරතුරුද දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණි.

දයාසිරිත් තදින් සිටී!

මේ තත්ත්වය යටතේ මෛත්‍රී මුලින්ම නිදහස් ජනතා සන්ධානය සමග සන්ධානගතව විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට සූදානමින් සිටියත් එම සන්ධානයේ නියෝජිතයන්ටද මෛත්‍රීගේ මෙම වෙනස වාර්තා වීමත් සමග ඔහුව එම සන්ධානයෙන් ඉවත් කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් දයාසිරි නම් දිගටම නිදහස් සන්ධානයේ සාකච්ඡාවලට සහභාගි වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට විදෙස්ගතව සිටින දයාසිරි ලංකාවට පැමිණි පසු බොහෝ දුරට දැඩි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

Exit mobile version