බැසිල්ගේ ප්ලෑන් එක 105ක්! රනිල් නාමල් අල්ලගෙන ගේමක් ගහයි!
බෙල්ල මුලටම හිරවෙන ජිනීවා තොණ්ඩුව!
නොවැම්බර් අයවැය ආණ්ඩුවට තීරණාත්මකයි!
පත්තර ගහපු අතේ රෝල් ටික!
‘සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 15ක් ආණ්ඩුවට එකතු වෙනවා…’ – දිවයින
‘සජබයේ 10ක් ජනපතිගේ සහායට…’ – දිනමිණ
‘මද්දුමබණ්ඩාර ඇතුළු සජබ 20ක් රනිල්ට කිට්ටු වෙති. යන මන්ත්‍රීවරු සජිත් හමුවට…’ – අරුණ
‘සජබෙ පිරිසකටත් ඇමැති ධුර…’ – ලංකාදීප
‘සජබෙ ජ්‍යෙෂ්ඨයන් පහක් කැබිනට්ටුවට’ – දේශය
පත්තර කියවන අය ලවා උදේට කියවයි!
ඉහතින් දැක්වෙන්නේ පසුගිය සති කිහිපය පුරාම විවිධ අවස්ථාවලදී මේ රටේ පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය දිනපතාම පාහේ පළ කළ පුවත්ය. ඕනෑම අයකුට පසුගිය සති කිහිපයේ පත්තර අවුස්සා බැලීමට හැකි නම් මෙවැනි ආකාරයේ පුවත් පනහකට වඩා පසුගිය සති කිහිපය පුරා පළව තිබූ ආකාරයක් සොයාගත හැකිය. ඒ හැම පුවතකින්ම කියැවුණේ සජබයෙන් 5ක්, 10ක්, 15ක්, 20ක් පමණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සජබය කඩාගෙන පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බවකි. මෙය කෙතරම් විධිමත් ආකාරයකට සැලසුම් කර සිදුකර තිබුණාද කියනවා නම් කියවන පාඨක ජනතාවට විශ්වාසය ඇතිකරවන ආකාරයට ඇතැම් පුවත්පත් මන්ත්‍රීවරුන්ගේ නම් ගම් පවා පළකරමින් එම පුවත් පළකිරීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව ඊට පසු දින රූපවාහිනී නාලිකාවල පත්තර කියවන මාධ්‍යවේදීන් ලවා එම පුවත් පණ පිහිටුවා රටටම ඇසෙන පරිදි කියවා ගැනීමටද මෙම පිරිස් කටයුතු කර තිබිණි.
වැරැද්ද හැදුවෙවත් නෑ!
ඒ ආකාරයට මෙම පුවත රූපවාහිනී නාලිකාවලින් විකාශය වීමත් සමග සිදුවූයේ පක්ෂයේ විවධ පිරිස්ද, පාක්ෂිකයන්ද ඒ ඒ නම් කියැවුණු මන්ත්‍රීවරුන්ට කතාකොට මේ පිළිබඳ විමසා සිටීමය. ඇතැම් විට නිරපරාදේ දොස් නැගීමය. ඇතැම් මන්ත්‍රීවරුන් මේ පුවත අසත්‍ය බව කෙතරම් කීවත්, එම පුවත අසත්‍ය බව සඳහන් කරමින් අදාළ පුවත්පත්වලට කෙතරම් පැහැදිලි කිරීම් යොමු කළත් ඒ වන විටත් ඒ මන්ත්‍රීවරුන්ට සමාජය ඉදිරියේ විය යුතු හානිය සිදුව අවසානය. මන්ත්‍රීවරු සමාජය ඉදිරියේ වැරැදිකරුවන් බවට පත්කොට අවසානය.
මව්රට හැමවෙලාවෙම ඇත්ත කිව්වා!
කෙසේ වෙතත් අප ‘මව්රට’ පුවත්පත හෝ www.mawratanews.lk වෙබ් අඩවිය හෝ කිසිම අවස්ථාවක මේ ආකාරයේ සදාචාර විරෝධී පුවත් පළකිරීමට කටයුතු කොට නැත. ඒ වෙනුවට අප නිරතුරුවම සත්‍ය තොරතුරුම පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. මෙවැනි අසත්‍ය පුවත් පළකොට මන්ත්‍රීවරුන් අපහසුතාවට පත්කරනවා වෙනුවට අප කළේ මෙම පුවත් පළකිරීම හරහා ඇතැම් කණ්ඩායම්වලට තිබූ වුවමනාවන් අප වෙබ් අඩවිය ඔස්සේ හා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමය. විවිධ ඇමැති ධුර, වරදාන, වරප්‍රසාද, සල්ලි මලු යෝජනා කරමින් පරණ තාලයටම ඇතැම් පිරිස් විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබා ගැනීමේ මෙහෙයුම පිළිබඳව රටට කරුණු අනාවරණ කිරීමය.
ඇමැතිකම් 37ම දුන්නේ පොහොට්ටුවෙන් ඉල්ලපු අයට!
ඒ අනුව මීට පැය 48 කට පෙර එනම්, ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී විවිධ පුවත්පත්, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා සති කිහිපයක් පුරා පුන පුනා රටට කී සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට වූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව රටටම ඔප්පු විය. මේ පුවත්පත්, රූපවාහිනී තමන්ගේ වටිනා ඉඩකඩ භාවිත කරමින් රටම මුළා කළ බව රටටම ඔප්පු විය. ඒ, බ්‍රහස්පතින්දා දිනයේදී රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු දිවුරුම් දීම හරහාය. ඒ අනුව මේ සියලු පුවත් එක තැනකින් බෙදාහැරුණු ඒවා බව පැහැදිලිවම දැකගත හැකි විය. එමෙන්ම මාධ්‍ය අල්ලාගෙන සති කිහිපයක් පුරා ගෙන ගිය කුමන්ත්‍රණය අසාර්ථක වූ බවද පැහැදිලිවම දැකගත හැකි විය.
ඉදිරියට තවත් කුමන්ත්‍රණ! පරෙස්සමෙන්!
මෙහිදී දිවුරුම් දුන් ඇමැතිවරුන් දෙස බලන විට විශේෂත්වයක් දැකගත හැකිය. ඒ, දිවුරුම් දුන් සියල්ලන්ම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණි අය වීමය. එම ඇමැතිවරු 37 දෙනා අතර විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු නොවීය. ඒ අනුව අපට ජනතාවට කීමට ඇත්තේ එක් කරුණක් පමණි. ඒ, ඇතැමුන් ඇතැම් මාධ්‍ය අල්ලාගෙන කරන මෙවැනි කුමන්ත්‍රණ ඉදිරියේදී තව තවත් පැමිණිය හැකි බවත්, ඒ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත්ය.
පොහොට්ටුවේ දැන් ඉන්නේ හරියටම 119යි!
මීට අමතරව අපි පසුගිය සතියේ ආණ්ඩුවේ සංයුතිය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ අයවැයේ ඡන්ද විමසීමේදී පොහොට්ටුවේ බලය ජනාධිපතිවරයාට පෙන්වීම සඳහා පොහොට්ටුව ඇතුළේ සාකච්ඡා ගණනාවක් සිදුවූ බවකි. පොහොට්ටුවට ආරම්භයේදී පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරුන් 157කගේ සහාය හිමිව තිබුණද මේ වන විට නිල වශයෙන් පොහොට්ටුවට සිටිනුයේ මන්ත්‍රීවරුන් 119කි. ඉතිරි මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් දැනටමත් විපක්ෂයේ අසුන්ගෙන ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක්ම ස්වාධීන කණ්ඩායම් ලෙස ආණ්ඩු පක්ෂයේම අසුන්ගෙන සිටිති. ඒ අනුව පොහොට්ටුවේ රැස්වීම් සඳහා නිල වශයෙන් ආරාධනා කරනුයේ මන්ත්‍රීවරුන් 119 දෙනකුට පමණි.
ගත්ත 120න් පොහොට්ටුවේ 112යි!
කෙසේ වෙතත් අයවැයට 120ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණද එදින සැබෑ ලෙසම පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ 119ක් වූ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් 112ක ප්‍රමාණයක් පමණි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරය වූ 113ක මන්ත්‍රී ප්‍රමාණය හෝ එදින පොහොට්ටුවෙන් පැමිණ තිබුණේ නැත. නමුත් ශ්රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතර දෙනකුද, පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමේ හතර දෙනකුද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා 120ක බහුතරයක් පෙන්වීමට ආණ්ඩුවට හැකි විය. කෙසේ වෙතත් ආරම්භයේදී ජන්ද ප්‍රතිපලය තීන්දු වීමට ගියේ නම් මේ ආකාරයට නොවේ.
බැසිල්ගේ ප්ලෑන් එක වුණේ 105ක් ගෙන්වන්න! රනිල් නාමල් අල්ලගෙන ගේමක් ගහයි!
අපට ලැබී ඇති තොරතුරුවලට අනුව බැසිල්ගේ සැලසුම වී තිබී ඇත්තේ පොහොට්ටුවේ ඡන්ද 119ක් තිබුණද එම ප්‍රමාණය ඡන්ද 105 දක්වා පහත වට්ටවා ජනාධිපතිවරයාගේ අයවැයට බහුතරයක් නොමැති බව පෙන්වීමය. එසේ කොට ආණ්ඩුවේ බලය පොහොට්ටුව අතට ගන්නටය. නමුත් මේ බව කල් තියාම වටහාගෙන සිටි ජනාධිපතිවරයා බැසිල්ගේ මෙම සැලසුම කඩාකප්පල් කිරීම සඳහා පාවිච්චි කළේ රාජපක්ෂ පවුලේම සාමාජිකයකු වන නාමල් රාජපක්ෂය. ඒ අනුව 105ක් දක්වා පහත දමා තිබූ පාර්ලිමේන්තුවට පැමිණෙන පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම 112 දක්වා ඉහළ දමා ගැනීමට නාමල් හරහා ජනාධිපතිවරයා සමත් විය. අයවැයට ලැබුණු මුලු ඡන්ද ප්‍රමාණය 120 දක්වා ඉහළ නංවා ගන්නට ජනාධිපතිවරයා අවසානයේදී සමත් වුවද එදින ඡන්දයට පොහොට්ටුවෙන් පැමිණ තිබුණේ මන්ත්‍රීවරුන් 119න් 112 දෙනකු පමණක් වීම විශේෂ සිදුවීමකි. එමෙන්ම ඉදිරියේදී මෙම ඡන්ද ගණනද එහා මෙහාට කරමින් පොහොට්ටුව පැත්තෙන් පෙරළි රැසක් සිදුකිරීමට නියමිතව ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
රනිල්ට කුට්ටිගෙන් ප්‍රබල ප්‍රහාරයක්!
දිගින් දිගටම කල්ගිය රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිදුකීරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ මෙම පසුබිම යටතේය. ඒ සඳහා බලපෑ තවත් විශේෂ සිදුවීමක්ද පසුගිය සඳුදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිදුවිය. ඒ පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු මෙන්ම දැඩි බැසිල්වාදියකු ලෙස නම් දරා සිටින තිස්ස කුට්ටිආරච්චි රනිල් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමත් සමගය. මේ සඳහා කුට්ටිආරච්චිලාට හයිය ලැබී තිබුණේ අයවැය ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් ගණන 112ට අඩුකොට පෙන්වා බැසිල් ගහපු දේශපාලන ගේම් එක මුල්කරගෙනය.
දැන්වත් පොහොට්ටුවට දීලා වැඩේ ඉවර කරන්න!
‘හිටපු ජනාධිපතිතුමා අරගලය නිසා රටින් පිටවුණාට පස්සේ අපි ඔබතුමාව පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කළේ තාවකාලිකවයි. හැබැයි ඔබතුමා අරගලය කරපු අය පාලනය කරලා අපේ ගැලවුම්කාරයා වුණා. ඒක වෙනම කතාවක්. හැබැයි දැන් ඔබතුමා ඇමැතිවරු පත්කරලා බහුතරය තියෙන කණ්ඩායමට අවස්ථාව දෙන්න වැඩ කරන්න. ඔබතුමා මුලින් කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. අපිත් බලන් හිටියා ඔබතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනකම්. හැබැයි ඒක වුණේ නැහැ. අපිට ආරංචි විදියට වෙන පක්ෂවලින් ආණ්ඩුවට එන්නෙ නෑ. එහෙව් එකේ ඇමැතිවරු පත් නොකර බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ මේ ඉන්න අයත් කැඩි කැඩී යන එක. එහෙම වුණොත් අන්තිමේදී ඔබතුමාටත් වෙන්නේ ගෝඨාට වෙච්ච දේම තමයි. ඒ හින්දා අපි කියන්නේ දැන්වත් බහුතරය තියෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවලා ඇමැතිකම් ටික දීලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න…’ යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරද්දී ජනාධිපතිවරයා තරමක් වික්ෂිප්තව එය අසා සිටින ආකාරයක් අනෙකුත් මන්ත්‍රීවරුන්ට දැකගන්නට ලැබිණි.
ගෝඨා එයි! ආවේ පොඩ්ඩයි!
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගිය සති අන්තයේ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගත්තේය. කලින් පොහොට්ටුවේ කිසියම් පිරිසක් ගෝඨාගේ මේ යළි ලංකා ගමන උත්සවාකාරයෙන් සිදුකිරීමට සැලසුම් කර තිබුණද වෙනත් සැලසුම් කිහිපයක් හේතුකොටගෙන බැසිල් එම උත්සව සියල්ල අත්හිටුවන ලෙස දැනුම් දී තිබිණි. මේ නිසා ගෝඨා සිංගප්පූරුවේ සිට ලංකාවට ආ ඉකුත් සෙනසුරාදා දිනයේදී ඔහු පිළිගැනීමට කටුනායකට පැමිණ තිබුණේ ඉතා සුළු පිරිසකි.
මන්ත්‍රීරුන්ට කතා කළාම කියපු දේ!
කෙසේ වෙතත් මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගි කරවා ගැනීමට ඇතැම් පිරිස් පොහොට්ටුවේ විවිධ මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ලබාදීමටද පියවර ගෙන තිබිණි. එසේ කතා කළ එක් මන්ත්‍රීවරයකුට තවත් මන්ත්‍රීවරයෙක් කියා තිබුණේ, ‘එයා ඉතින් අපට කියලා නෙවෙයිනේ රටින් ගියේ. ඒ හින්දා ඉතින් එයා එනකොට යන්න ඕනත් නෑ… එයාගෙන් ඇමැතිකම් ගත්ත අය යන්නෙ නැතෑ….’ යැයි කියාය. ඒ කිව්වා වාගේම එම අවස්ථාවට පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් දහදොළොස් දෙනකුටත් අඩු පිරිසක් වීම විශේෂ සිදුවීමකි.
ගෝඨා පාර්ලිමේන්තු එනවද?
කෙසේ වෙතත් ගෝඨා ලංකාවට පැමිණීමෙන් පසු කෙළින්ම ගියේ ආණ්ඩුව විසින් ඔහුට ලබාදී තිබූ කොළඹ බෞද්ධාලෝක මාවතටත්, මලලසේකර මාවතටත් මුහුණලා තිබූ රජයේ නිල නිවාසයක් වෙතය. මෙම නිල නිවෙස කලක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් භාවිත කළ එකක් වන අතර රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයකු වන නාමල් රජපක්ෂද නවාතැන් ගෙන සිටින්නේ මෙම නිවෙසට යාබදව පිහිටි රජයේ නිල නිවාසයකය. කෙසේ වෙතත් ගෝඨා එන විට කටුනායකට නොගිය මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ගෝඨා පැමිණීමෙන් පසු ඔහුගේ දුක සැප බැලීම සඳහා සෙනසුරාදා දින සිටම මලලසේකර මාවතේ පිහිටි මෙම නිල නිවෙසට ආගියහ. එහිදී ගෝඨාගේ දුක සැප විමසීමෙන් පසු ඒ සියලු දෙනාම ගෝඨාගෙන් විමසා සිටි ප්‍රශ්න කිහිපයක් විය. ඒ, යළි දේශපාලනයට පැමිණෙනවාද, පාර්ලිමේන්තුවට පැමිණෙනවාද, අගමැතිකම ගන්නවාද යන ප්රශ්නය. නමුත් ඒ සියලු දෙනාටම ගෝඨා කියා සිටියේ තමන් යළි දේශපාලනයට නොඑන බවකි. ඒ වන විටත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම ගෝඨාට සමීප වියත් මගේ නියෝජිතයකු ලෙස සැලකෙන සීතා අරඹේපොළ මහත්මිය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨාට ලබාදිමට සූදානම් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් පවා ලබා දී තිබිණි.
ප්‍රබලයන් දෙන්නෙක් ගෝඨාගේ ඔළුව වෙනස් කරයි!
කෙසේ වෙතත් සෙනසුරාදා දින සිට තමන් බැලීමට පැමිණි සියලු දෙනාටම ගෝඨා මෙවැනි පිළිතුරක් ලබාදී තිබුණද ඉකුත් අඟහරුවාදා දිනයෙන් පසු මෙම පිළිතුරේ ස්වභාවය තරමක් වෙනස් වී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අඟහරුවාදා රාත්‍රියේ සිදුවූ විශේෂ සිදුවීමක් හේතුකොටගෙනය. එදින ගෝඨා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් දේශපාලකයන් නොවන ප්‍රබලයන් දෙදෙනෙක් (මොවුන් දෙදෙනාගේ නම් අපි පසු කලාපයක ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නෙමු.) ගෝඨා මුණගැසීම සඳහා මලලසේකර මාවතේ නිල නිවෙසට පැමිණියහ. එහිදී මේ තිදෙනා අතර නිල නිවෙසේ ඇතුළේ කාමරයක පැය ගණනක දීර්ඝ කතාබහක් සිදුවූ බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. දැනට අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සයකන් මන්ත්රණයේදී ගෝඨාගේ අනාගත දේශපාලන ගමන් මග පිළිබඳ යළිත් කිසියම් අඩිතාලමක් වැටී ඇති බවකි. එය කිසියම් සැලසුමකට අනුව සිදුවිය යුතු බවට සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය.
වෙලාව එනකම් ඉමු!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු ගෝඨා මුණගැසීමට ගිය මන්ත්‍රීවරුන්ට දේශපාලන මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී ගෝඨාගෙන් ලැබී තිබුණේ තරමක් වෙනත් පිළිතුරකි. මුලදී ‘මම ආයෙ දේශපාලනයට එන්නෙ නෑ…’ යනුවෙන් කියමින් සිටි ගෝඨා යටකී සාකච්ඡාවෙන් පසු තමන් හමුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට දී තිබුණේ ‘දැන්ම කල් වැඩියි දේශපාලනයට එන්න. ඒ හින්දා වෙලාව එනකම් ඉමු. ඒ වෙලාව ආවාට පස්සේ වැඩේ කරමු…’ යන පිළිතුරය. ඒ හරහා මන්ත්‍රීවරුන්ටද ගෝඨාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් යම් ඉඟියක් ලැබී තිබේ. ඒ, ගෝඨා ලංකාවට පැමිණි දිනවල තිබූ ස්ථාවරය පසුව කිසියම් ආකාරයකින් වෙනස් වී ඇති බවක්ය.
ජයසුමන එළියට දාපු දේශපාලන ගේම් එක!
ඒ සමගම පසුගිය සතියේදී පොහොට්ටුවෙන් වෙන්ව ඩලස් සමග විපක්ෂයේ අසුන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයක් මගින් නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත දේශපාලන පෙරළි ගණනාවක් පිළිබඳවම ඉඟි කිහිපයක් ලැබිණි. එහිදී ඔහු කියා සිටියේ මේ දිනවල පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම තමන්ට ඇමතුම් ලබාදෙමින් අලුත් අගමැතිවරයකු යටතේ අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට සහාය ඉල්ලා සිටින බවකි. ඒ අවස්ථාවේදී වැඩි දෙනකු චන්නගේ මේ ප්‍රකාශය පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වුවද අපට නම් කිීමට ඇත්තේ අත ළඟ දේශපාලන පෙරළි රැසක් සිදුවීමේ පෙරමඟ ලකුණු චන්නගේ මේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇති බවය.
සීසීකඩ වුණු පොහොට්ටුව යළි එක ගොඩකට!
එමෙන්ම ජනතා අරගලය මුල්කරගෙන පසුගිය කාලයේ සීසීකඩව තිබූ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම යළි සංවිධාන වෙමින් සිටින බවත්, බලය අතට ගැනීම සඳහා ඔවුන් පෙළගැසෙමින් සිටින බවත් චන්නගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන තවත් කාරණයකි. ඒ හරහා බැසිල්ගේ සැලසුම වී ඇත්තේ දිනේෂ්ව අගමැති ධුරයෙත් ඉවත් කොට පොහොට්ටුවේම මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත්කරගැනීමටය. ලබන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසරේ අයවැය ලේඛනයට පෙර මෙම වෙනස සිදුකිරීමටද බැසිල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ සඳහා පසුගිය කාලසීමාවේදී පොහොට්ටුවෙන් කැඩී ගිය සියලු දෙනාම එකතු කර ගැනීම බැසිල් පාර්ශ්වයේ සැලසුම වී ඇත. විපක්ෂයේ අසුන්ගත් චන්නටද ඒ සඳහා එක්වන ලෙසට ආරාධනා ලැබෙන්නේ එම සැලසුමට අනුවය.
දිනේෂ් ඉවතට! අලුත් අගමැති මහින්ද?
එසේ නම් දිනේෂ් ඉවත් කොට නව අගමැතිවරයා ලෙස පත්කිරීමට බැසිල් පාර්ශ්වය සැලසුම් කර ඇත්තේ කවුරුන්ද?
මෙහිදී පොහොට්ටුව ඇතුළේ මත දෙකක් ඉදිරිපත්ව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එක් කොටසක් කියා සිටින්නේ දැනට ලක්ෂ 69ක ජනවරම තවමත් පවතින්නේ ගෝඨාට බැවින් ඔහු අගමැති කරවිය යුතු යැයි කියාය. මෙම කොටස නියෝජනය කරන්නේ ගෝඨා බලයට ගෙන ඒම සදඟා විශාල කාර්යභාරයක් සිදුකළ කණ්ඩායමය. නමුත් පොහොට්ටුවේ දැඩි මතධාරී කණ්ඩායම නම් කියා සිටින්නේ දැනට පාර්ශ්ව කිහිපයකට කැඩී ඇති පොහොට්ටුව ඒකරාශී කළ හැකි එකම පුද්ගලයා වන්නේ මහින්ද බවත්, එම නිසා මහින්දව යළි අගමැති කළ යුතු බවත්ය. ඒ අනුව දැනට අගමැති ධුරය සඳහා යෝජනා වී ඇත්තේ ගෝඨාගේත්, මහින්දගේත් නම් දෙකය. නමුත් පොහොට්ටුවට 119ක මන්ත්‍රී කණ්ඩායමක් සිටින බව කියැවුණද සත්‍ය වශයෙන්ම පොහොට්ටුවට සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය අනුව මෙම යෝජනාවල ක්‍රියාකාරීත්වය තීරණය වනු ඇත.
නොවැම්බර් අයවැය තීරණාත්මකයි!
කෙසේ වෙතත් මෙම නම් දෙකෙන් කවුරු අගමැති වුවද ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසරේ අයවැය නම් ආණ්ඩුවට ඉතා තීරණාත්මකය. මන්ද දැනට ආණ්ඩුවට ඉදිරිපත් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි විශාල ප්‍රමාණයක් මෙම අයවැය හරහා සිදුකිරීමට ආණ්ඩුවට පසුබිම සකස් කිරීමට සිදුව තිබීම ඊට හේතුවය. දැනටමත් මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම්දී ඇත්තේ රජයේ වියදම් විශාල වශයෙන් අඩු කොට ආදායම් වර්ධනය කරගත යුතු බවය. එමෙන්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීම, පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම ඇතුළු අසීරු යෝජනා රැසක් මෙම අයවැය හරහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. අනෙක් අතට පසුගිය සතියේදී ආණ්ඩුව අතුරු අයවැයද සම්මත කරගත්තේ ශ්‍රීලනිපයෙන් සහ ස්වාධීන කණ්ඩායම්වලින් එකතු කරගත් මන්ත්‍රීවරුන්ගේ පිහිටෙනි. එවැනි පසුබිමක් යටතේ 2023 අයවැයට පොහොට්ටුවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ අර්බුදයකි. මන්ද පොහොට්ටුව ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලීකරණය පිළිගන්නේ නැත. රාජ්‍ය සේවය කප්පාදු කිරීම පිළිගන්නේද නැත. එම නිසා 2023 අයවැයට සහාය දෙනවාද, නොඑසේ නම් එය පරාජයට පත්කර පොහොට්ටුවේ දේශපාලන ගමන හදාගන්නවාද යන්න සම්බන්ධයෙන් දැනටමත් පොහොට්ුව ඇතුළේ තැන් තැන්වල සාකචඡා ආරම්භ වී ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
හර්ෂ-ඉරාන්-කබීර් යයිද?
අනෙක් අතට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අති බහුතරයක් ආණ්ඩුවේ අතුරු අයවැය ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වුවද සජබයේ ආර්ථික විශේෂඥයන් ලෙස කටයුතු කරන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් නිතරම ප්‍රකාශ කරනුයේ ප්‍රතිපත්තියක් ලෙස ගත් විට අයවැය තුළින් සජබ ආර්ථික ප්‍රතිපත්ති නියෝජනය වන නිසා ඊට විරුද්ධ විය නොහැකි බවකි. ඒ අනුව ලබන අයවැයට පෙර මෙම පිරිස් ආණ්ඩුවට ගෙන අයවැය සම්මත කරගැනීමේ පදනම සකසා ගැනීමේ මෙහෙයුමක්ද මේ වන විට ආණ්ඩුව පැත්තෙන් දියත් වී අවසානය.
විපක්ෂය 100 පන්නයි! ඩලස්-සජිත් එක පාරක!
මේ සියල්ල අවසානයේ තවත් එක් විශේෂ සිදුවීමක්ද පසුගියදා පැවැති අයවැය ඡන්ද ප්‍රතිඵලය විමසීමේදී පෙනී යයි. ඒ, මෙතෙක් 60කට 65කට සීමාවී තිබූ විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය පොහොට්ටුවේ මේ බිඳීම හරහා ඡන්ද 100 ඉක්මවා ගොස් ඇති බවය. ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ ඩලස් පිල හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණේ එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් කටයුතු කරන ආකාරය පිළිබඳවය. එමෙන්ම සාමකාමී අරගලකරුවන් ඉලක්ක කරගෙන ආණ්ඩුව විසින් මුදාහැර ඇති මර්දනය පිළිබඳවත්, ප්රජාතන්ත්රවාදී රාමුව ශක්තිමත් කිරීම පිළිබඳවත් විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් ශක්තිමත් විපක්ෂ සන්ධානයක් බිහිකර ගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
විපක්ෂයෙන් පොදු වේදිකාවක්!
එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගෙන් එකඟතාව මත පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති අතර විපක්ෂ නායකවරයා ඊට සිය එකඟතාව පළකොට ඇති බවත් දැනන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමටත්, ආණඩුවේ මර්දනයට එරෙහිව දැවැන්ත පොදු වේදිකාවක් නිර්මාණය කිරීමටත් මෙහිදී සියලු දෙනාම එකඟ වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
ශ්‍රීලනිප නායකත්වය ගන්න චන්ද්‍රිකා ගහපු ගේම අල වෙයි!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පන්නා දැමීමේ මෙහෙයුමක් දියත්ව ඇති ආකාරයක් පළමුවරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන කොටගත් යම් කණ්ඩායමක් මෙම මෙහෙයුම පසුපස සිටින බවත්, හිටපු ජනාධිපතිනියගේ සමයේදී ශ්‍රීලනිප ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ වගන්තියක් මුල්කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බවත්, දැනටමත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවත්ය. යම් හෙයකින් මෙම නඩුවෙන් වාසිසහගත ප්‍රතිඵලයක් පැමිණියහොත් එහිදී මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිපයේ තාවකාලික නායකයා බවට පත්කොට පක්ෂය යළි සියතට ගැනීමේ සැලසුම වී ඇති බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
මහින්දත් අමරවීරව උස්සලා තියයි!
කෙසේ වෙතත් චන්ද්‍රිකා පිල විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණද ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහාය හිමිව තිබූ ආකාරයක් පසුගිය සතියේදී දැකගත හැකි විය. ඒ, මහින්ද පසුගිය සතියේදී අමරවීරව කැදද්වා මේ පිළිබඳ විමසා එම වැඩපිළිවෙළට ආශීර්වාද කිරීමත් සමගය. ඒ අනුව මෙම නඩුවේ තීන්දුව ලැබීමට නියමිතව තිබුණේ ඉකුත් 05 වැනිදාය. මෛත්රීද නඩුව කෙරෙහි වැඩි බරක් තබා කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ ලංකාවේ නමගිය ජනාධිපති නීතිඥවරුන් ලෙස ප්‍රකට පිය-පුතු යුගලක් වූ ෆයිස් මුස්තාෆාත්, ෆයිසර් මුස්තාෆාත් තම පාර්ශ්වය වෙනුවෙන් නඩුවට එක් කරගැනීම හරහාය. නමුත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට නඩුවේදී තීන්දුව ලැබුණේ චන්ද්‍රිකා-අමරවීර පාර්ශ්වයට වාසිසහගත ලෙස නොව, මෛත්‍රී පිලට වාසිසහගත ආකාරයටය. ඒ අනුව පක්ෂයෙන් ඉවත්ව සිටින කුමාර වෙල්ගම වැනි පිරිස් යළි පක්ෂයට ගෙන පක්ෂයේ බලය ඇල්ලීමේ චන්ද්‍රිකා පිලේ මෙහෙයුම ලත් තැනම ලොප් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
මෛත්‍රී කසය අතට ගනී! අමරවීරලා පන්නන්න සූදානම්!
කෙසේ වෙතත් නඩුව යන අවස්ථාවේදී මෛත්‍රී ද නිකන් සිටියේ නැත. මෛත්‍රී කළේ පක්ෂ විනය කඩන මන්ත්‍රීවරුන්ට, පක්ෂ සාමාජිකයන්ට එරෙහිව පක්ෂ නායකයාට දැඩි සහ ක්ෂණික ක්‍රියාමාර්ග ගතහැකි වන පරිදි පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එම සාකච්ජාවලදී ආණ්ඩුවට එක්ව ඇමැති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය සහ කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින දුමින්ද දිසානායක ඊට දැඩි විරෝධයක් පළකළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඔවුන් විරෝධය පළ කළද මධ්‍යම කාරකසභාවේදීත්, විධායක සභාවේදීත්, පක්ෂ සම්මේලනයේදීත් ඒකමතික අනුමැතියට යටත්ව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට මෛත්‍රී සමත් විය. මෛත්‍රී එසේ කළේම මෙම මන්ත්‍රීවරුන් රනිල් සමග යම් දේශපාලන ගනුදෙනුවක කලක සිටම සිටින බව තහවුරු වී තිබීම නිසාත්, ඔවුන් රනිල්ගෙන් ඇමැතිකම් ලබාගෙන ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබීමත් නිසාය. ඒ කිව්වා වාගේම ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී මෙම මන්ත්‍රීවරු රනිල් ළඟට ගොස් රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගැනීමට පියවර ගත්හ. ඒ අනුව මේ වන විට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කොට දැඩි බලතල තමා යටතට ගෙන ඇති මෛත්‍රී සූදානමින් සිටින්නේ මෙසේ පක්ෂ මතයට පිටින් ගොස් ඇමැති ධුර ගත් සියලු දෙනාම පක්ෂයෙන් නෙරපා හැරීමටය. මෛත්‍රීත්, පක්ෂ ලේකම් වශයෙන් දයාසිරිත් මේ වන විට තීන්දු කොට ඇත්තේ පක්ෂයේ ඉතිරිව සිටින්නේ මන්ත්‍රීවරුන් තුන් හතර දෙනාද, ඔවුන් සමග එක්ව ඉදිරියේදී ශක්තිමත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමටය.
අමරවීරත් සූදානම් ශරීරෙන්! දයාසිරිගේ විරෝධයෙන් රහස එළියට පනී!
මේ ආකාරයට පස්වැනිදා පැවැති නඩුවේදී තමන්ට අවාසිසහගත තීන්දුවක් ලැබීමත් සමග මහින්ද අමරවීරගේද බලාපොරොත්තු සුන්වී ගිය බවක් දැකගත හැකි විය. ඒ අනුව නියත වශයෙන්ම පක්ෂය විසින් දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවට කල්තියාම ලැබුණු ඉඟිය නිසා අමරවීර කළේ සූදානම් ශරීරයකින් යුතුව සිටීමට වෙනත් ලියාපදිංචි පක්ෂයක් තමන්ගේ නමට හරවා ගැනීමය. එම කතාව පසුගිය කාලය පුරාම රහසක් ලෙස තබා ගත්තද එම රහස එළියට පැන්නේ පසුගිය බදාදා දිනයේදී අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මහජන සභාව පිහිටුවීමේ පක්ෂ නායක රැස්වීමේදීය. ඊට මහින්ද අමරවීරද පැමිණ සිටීම නිසා දයාසිරි වහාම විරෝධය පළකරමින් පක්ෂයෙන් නම්කරන අය පමණක් මෙම රැස්වීමට සහභාගි කරවා ගැනීමට පියවර ගත යුතු බව ප්‍රකාශ කිරීම ඊට මුල් විය. අදාළ නැති පුද්ගලයන්ට මෙම රැස්වීමට සහභාගි වීමට ඉඩ නොදිය යුතු බව එහිදී දයාසිරි කියා සිටියේ අමරවීරට ඇනෙන්නට මෙන්ය. නමුත් අමරවීරද එහිදී දුන්නේ දයාසිරි කිසිසේත්ම බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ. අමරවීර නැගිට එහිදී දිනේෂ්ට කියා සිටියේ, ‘මම පක්ෂයක් හදලා තියෙන්නේ. ඒ පක්ෂෙ නායකයා මම. ඒ නිසා පක්ෂ නායකයකු විදියට මට මේකට සහභාගි වෙන්න අයිතිය තියෙනවා…’ යැයි කියාය. ඒ ආකාරයට පළමු වරට අමරවීරගේ කටින් අලුත් පක්ෂයක් ගැන කතාව එළියට පැන්නද දිනේෂ් එය පිළිගැනීමට සූදානම් නැත. දිනේෂ් කියා සිටියේ එසේ කළ නොහැකි බවත්, අමරවීර පොහොට්ටුව යටතේ ඡන්දය ඉල්ලූ මන්ත්‍රීවරයකු නිසා වෙනත් පක්ෂයක නායකයකු ලෙස පිළිගැනීමට නොහැකි බවත්ය. ඒ අනුව දයාසිරිද වහාම කියා සිටියේ පිළිගත් පක්ෂ නායකයකු හෝ නොවන පොහොට්ටුවෙන් නම්කර හෝ නොමැති අමරවීරට එම රැස්වීමට සහභාගි වීමට නොහැකි යැයි කියාය.
වෙඩින් එකේදි කියපු කතාව!
මීට අමතරව බදාදා රාත්‍රියේ පැවැති මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණියකට සම්බන්ධ මංගල උත්සවයකදීද අමරවීරගේ මෙම අලුත් පක්ෂය පිළිබඳ කතාව එළියට ඇදිණ. එම විවාහ උත්සවයට මෛත්‍රී, දයාසිරි, අමරවීර, චම්පික සහ සජබ මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටි අතර, එහිදීද අමරවීර කියා සිටියේ, ‘අපිව දැන් ඉතින් පක්ෂයෙන් පන්නන්නනේ හදන්නේ. අලුත් ව්‍යවස්ථාවෙ හැටියට අපි වැරැදි විදියට හිණා වුණත් ඒකත් ඇති අපිව අයින් කරන්න… හයියෙන් කිඹුහුමක් ඇරියත් සභාපතිතුමාට පුළුවන් ඒක පිටින් දාලා අපිව අයින් කරන්න… ඒක හින්දා අපිත් ඒකට උත්තරයක් හොයාගන්න ඕනනේ. ඒ හින්දා මම පක්ෂයක් ගත්තා. මම තමයි ඒකෙ නායකයා. අපිව ශ්‍රීලනිපයෙන් පැන්නුවොත් මගේ අලුත් පක්ෂයෙන් මම, මගෙත් එක්ක ඉන්න කණ්ඩායමක් එක්ක දේශපාලනය කරනවා….’ යැයි කියාය.
බෙල්ල මුලටම හිරවෙන ජිනීවා තොණ්ඩුව!
පසුගිය සති කිහිපයක සිටම මෙවර ජිනිවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් වාර්තා කරමින් අප කියා සිටියේ ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් බරපතළ යෝජනාවක් මෙවර සමුළුවට ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි කියාය. වරින් වර අප කී එම සියලු කරුණු සනාථ කරමින් පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ ලංකාවට එරෙහිව ඇති චෝදනා සියල්ල ලිඛිතව දැනුම් දෙමින් විශේෂ වාර්තාවක් ආණ්ඩුව වෙත එවීමට කටයුතු කර තිබිණි. අප කී ආකාරයෙන්ම එහි ලංකාවට එරෙහිව බරපතළ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා රැසක් අඩංගුව තිබිණි. නමුත් එහි තිබූ භයානකම චෝදනාව වූයේ ලංකාවේ ආර්ථික අපරාධ කළ පුද්ගලයන්ට එරෙහිව දඬුවම් දිය යුතු බවට වූ වගන්තියය.
පළමු වරට දාපු බරපතළම චෝදනාව!
පළමු වරට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම වගන්තිය ඊට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් යම් පසුබිම් කතාවක් තිබේ. පසුගිය කාලය පුරාම එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී සාකච්ඡාවට ලක්වූ කාරණාවක් වූයේ එම සංවිධානයට අයත් රටවල දේශපාලකයන් රටේ ධනය සොරකම් කොට වෙනත් රටවල තැන්පත් කර ඇත්නම් ඒවා යළි අත්පත් කරගැනීමේ නීතිරීති ඇතුළත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත්, ඔවුන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතු බවත්ය. කාලයක් පුරා විවාද කළ මෙම කරුණ මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කළ නීතියක් බවට පත්ව තිබේ. ඒ අනුව මේ වන විට ලංකාවට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට පමණක් නොව, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්ටද මෙවර ජිනීවා සමුළුවේදී උත්තර දීමට සිදුවනු ඇත. පසුව ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරන්නේ ඊට ආණ්ඩුව විසින් ලබාදෙන පිළිතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමය. ඒ අනුව දැන් ආණ්ඩුවට මෙවර චෝදනා දෙකකට එකවර පිළිතුරු සැපයීමට සිදුව තිබේ. එක් චෝදනාවක් වන්නේ යුද අපරාධ චෝදනාවය. අනෙක් චෝදනාව වන්නේ ආර්ථික අපරාධ චෝදනාවය. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවට ඇත්තේ භයානක කාල වකවානුවකට මුහුණ දීමට බව අමුතුවෙන් කිව යුතු නැත.
IMF සල්ලි ලැබෙයිද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියකු වන පීටර් බෲවර් මහතා පසුගියදා ශ්‍රී ලංකා සංචාරය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේදී කෙළින්ම කියා සිටියේ ලංකාව සමග කාර්යමණ්ඩල ගිවිසුමක් අස්සන් කිරීමට එකඟතාවක් ඇතිවූ බවත්, ඒ සඳහා තවත් පසු කළ යුතු පියවර ගණනාවක් පවතින බවත්ය. නමුත් ආණ්ඩුව කළේ එම සාකච්ඡා අවසන් වූ වහා එදිනම මුදල් රටට ලැබෙනවා හා සමාන ආකාරයේ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමය. එසේ වුවත් මේ වන විට එය එසේ නොවන බව සියල්ලන්ටම පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සතිය වන විට දකුණු ආසියානු රටවල් දෙකක් වූ පාකිස්තානයටත්, බංග්ලාදේශයටත් ණය පහසුකම් ලබාදෙමින් මුදල් මුදාහැරීමට පියවර ගෙන තිබිණි. නමුත් තවමත් නිශ්චිත වශයෙන් ලංකාවට මුදල් ලැබෙන දිනයක් සහතික කොට කිව නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.
IMF ලොක්කා ඉන්දියාවට!
මෙවැනි තත්ත්වයක් මතුව පැවැතියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය දකුණු ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත. ඒ අනුව ඇගේ ගමනාන්තය වන්නේ ඉන්දියාවේ නවදිල්ලියය. එහිදී ඉන්දීය අගමැති මෝදි සමගද සාකච්ඡා පැවැත්වීමට ජෝජියාවා සැලසුම් කර තිබේ. ඇගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දකුණු ආසියානු කලාපයේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මෝදි සමග සාකච්ඡා කිරීමය. මෙහිදී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවද ආරංචිය.
එහිදී ලංකාව කෙතරම් වැදගත් වී ඇති බවක් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ද මෙම සාකච්ඡාවට නවදිල්ලියට කැඳවීමට ඉන්දීය රජය පියවර ගැනීම හරහාය. ඒ අනුව එම සාකච්ඡාවේදී ලංකාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිතව ඇති බව පැවසේ. ඒ අනුව ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය බවට ඉන්දියාව පත්ව ඇති බවක් මෙම සිදුවීම හරහා දැකගන්නට තිබේ.
අමෙරිකාවත් ඉන්දියාවට එයි!
මේ ආකාරයට අයි.එම්.එෆ්. ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා ලංකාව ගැන කතා කරන්න ඉන්දියාවට පැමිණෙද්දී දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතාද දූත කණ්ඩායමත් සමග නවදිල්ලියට පැමිණීමට නියමිතය. ලූ මහතාගේ ආසියානු සංචාරයේ අරමුණ වී ඇත්තේ කලාපයේ ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක කරණු පිළිබඳ ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමය. ලූ මහතා මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝජියාවා මහත්මිය නවදිල්ලියේ සිටින කාලය ඇතුළතම නවදිල්ලියට පැමිණෙනවාද, එසේත් නැත්නම් ඊට පසුව පැමිණෙනවාද, රටවල් දෙකම එක්ව ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනවාද යන්න තවමත් පැහැදිලි නැත. නමුත් මේ සාකච්ඡාවලදී ලංකාව ප්‍රධාන මාතෘකාවක් වන බව නම් ඉතා පැහැදිලිය.
ගෝඨා රනිල් ගැන හෙළිකරපු රහස!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල මලලසේකර මාවතේ නිවෙසේ විවේක සුවයෙන් කල්ගත කරද්දී ඔහුගේ සුවදුක් විමසීමට පැමිණෙන පිරිස් සමග පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් කතාබහ කරන ආකාරයක් දැකගන්නට පුළුවන. මෙහිදී හිතවතුන් සමග ගෝඨා රනිල් ජනාධිපතිවරයා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව දැක්වූ විරෝධය පිළිබඳ සඳහන් කිරීමට ද පියවර ගෙන තිබිණි.
‘මම මැලේසියාවේ ඉන්නකොට ඉන්දියාව මගෙන් ලොකු ඉල්ලීමක් කළා රනිල්ව ජනාධිපති කරන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයෝ එකඟ වූ විදියට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති විදියට පත්කරන්න කියලයි ඉන්දියාව මගෙන් ඉල්ලීම් කළේ. ඒත් එහිදී මට විවිධ පාර්ශ්වවලින් බලපෑම් ආවා රනිල්ව ජනාධිපති කරන්න කියලා. අපේම අයත් මට ඇවිල්ලා කිව්වා රනිල්ට ජනාධිපතිකම දෙන්න කියලා. ඉතින් මට ආපු බලපෑම් හින්දා රනිල්ට ජනාධිපතිකම දුන්නා. හැබැයි මට හිතෙනවා ඒ වැඩෙන් ඉන්දියාව මගෙත් එක්ක තරහා වුණා වගේ කියලා…’ යනුවෙන් ගෝඨා සිය හිතවතුන්ට කියා ඇති බවක් ආරංචිය.
රනිල්ට ඉන්දියාව නැති වෙයිද?
ඒ අනුව ගෝඨා කී මේ කතාවේ ඇත්තක් තිබේ නම් ඉදිරියේදී ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනු ඇත්තේ තරමක් අසීරු කාලසීමාවකටය. මන්ද යත් ඇමෙරිකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ගනුදෙනු කිරීම ආරම්භ කොට ඇත්තේ ඉන්දියාව සමග වීම ඊට හේතුවය.
පවර් ලංකාවට පවර් එක පෙන්වයිද?
මේ අතර ඉදිරි සතියේදී තවත් ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉන් එක් අයකු වන්නේ ‘යූ.එස්. ඒඩ්’ ආයතනයේ ප්‍රධානියා වන සමන්තා පවර්ය. ඇය සෙනසුරාදා (10) ලංකාවට පැමිණීමට නියමිතය.
සමන්තා පවර් සම්බන්ධයෙන් ලංකාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. සමන්තා ඇමෙරිකානු රජය වෙනුවෙන් විවිධ රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළාය. එමෙන්ම යහපාලන රජය සමයේ මෙරට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ සමගත්, එම ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර සමගත් ඉතා සමිපව කටයුතු කළ අයෙකි. කෙතරම් සමීපව කටයුතු කළාද කියනවා නම් මංගලගේ පොත නිකුත් කරන අවස්ථාවේදී සමන්තා ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණ එම උත්සවයට සහභාගි වීමට පවා කටයුතු කළාය. එමෙන්ම සමන්තා ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වී තිබූ යුද අපරාධ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයක්ද ඉටු කළාය. ඇය මංගල සමග එක්ව ඇමෙරිකානු රජයේ ද සම අනුග්‍රහයෙන් යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගත්තාය. ඒ ආකාරයට ඇය මානව හිමිකම් ප්‍රශ්නයෙන් ලංකාව ගළවා ගැනීමට විශේෂ මෙහෙයක් ඉටු කළාය.
නමුත් අද සමන්තා පවර් ලංකාවට එද්දී ලංකාවේ ආණ්ඩුව මෙම සම අනුග්‍රාහක යෝජනාවෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කොට සතියක්වත් නැත. මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට අලි සබි්ර සහ විජයදාස රාජපක්ෂ සහභාගි වන්නේ එම පණිවුඩයත් කොමිසමට දැනුම් දීමටය.
අරගලකාරයොත් හමුවෙයි!
මීට අමතරව මෙවර සංචාරයේදී සමන්තා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පමණක් නොව විපක්ෂයේ නියෝජිතයන්ද, අරගලයට සම්බන්ධ ප්‍රධාන චරිතද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. ඉන් අනතුරුව ඇය ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඇමෙරිකානු රජයට භාරදීමටද නියමිතව ඇත.
තවත් ප්‍රබලයෙක් ගොඩබහී!
සමන්තා පවර්ට අමතරව ඉරිදා දිනයේදී (11) තවත් විශේෂ අමුත්තකුද ලංකාවට පැමිණීමට නියමිතය. ඒ අමුත්තා වෙන කවුරුවත් නොව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා වන මාටින් චන්ගොන්ග් මහතාය. මෙම සංචාරයේදී චන්ගොන්ග් ලංකා පාර්ලිමේන්තුව තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු වී පවතිනවාද, සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතය. එටමන්ම මේ වන විට ආණ්ඩුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ජත්‍යන්තරය පිළිගත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බැලීමට මහලේකම්වරයා සැලසුම් කර තිබේ. එමෙන්ම මේ වන විට අදහස් දැක්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාලවේලාව අහිමි කර ඇති බවට එල්ලවී ඇත් චෝදනාව පිළිබඳ පැමිණිල්ලක් පාර්ලිමේන්තු ලේකම්වරයාට ඉදිරිපත් කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. මේ සියල්ල පිළිබඳ සංචාරය අවසානයේදී මාර්ටින් චන්හොන්ග් මහතා විසින් අන්තර් පාර්ලිමේන්තු සංගමයට වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
ඒ අනුව මෙම සතිය තුළ ජිනීවා ප්රශ්නය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්රශ්නය, සමන්තා පවර් සහ මාර්ටින් චන්හොන්ග් වැනි චරිත ලංකාවට පැමිණීම හරහා ඉදිරි සති කිහිපය ආණ්ඩුවට අතුරේ යනවා හා සමාන ගමනක යෙදීමට සිදුව ඇත.