SLIM බ්‍රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන 2022 සඳහා නව ඇගයීම් නිර්ණායක එළි දක්වයි…

අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද වෙළෙඳ සන්නාමයන් විශිෂ්ටව මෙහෙයවූ අලෙවිකරණ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය 2022 අගෝස්තු 22 වැනි දින 21 වැනි SLIM බ්‍රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන 2022 (SLIM Brand Excellence Awards) උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම වසරේ සන්නාම උළෙල “Mettle of Resilience” යන තේමාව යටතේ නවතම ඇගයුම් ක්‍රියාවලියක් සමඟ දියත් කොට ඇත. එම නවමු ඇගයුම් නිර්ණායක සහ අනෙකුත් කරුණු පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමට පසුගියදා ජයික් හිල්ටන් හිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

උපාය මාර්ග, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනයන් උපායශීලීව භාවිතා කිරීම තුළින් දේශීය සහ ගෝලීය වෙළෙඳපළ ජය ගැනීමට සමත් වූ සන්නාමයන්ගේ උත්සාහය ඇගයීම සඳහා SLIM බ්‍රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන පහක් සහ විශේෂ සම්මාන දහයක් පිරිනැමීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම දැනුවත් කිරීමේ සැසියේදී පැමිණ සිටින්නන් පිළිගනු ලැබූ අතර වත්මන් ගැටලුවලට ඍජු විසඳුමක් ලෙස ‘ශ්‍රී ලංකා’ සන්නාමය ඉදිරියට ගෙන යාමට අලෙවිකරුවන් ඉදිරිපත් විය යුතු බව අවධාරණය කළේය. ජූරි සභාවේ ප්‍රධානී ඉමාල් ෆොන්සේකා මහතා සහ ව්‍යාපෘති සභාපති කවී රාජපක්ෂ මහත්මිය විසින් අයදුම්පත් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට සහ දෙවැනි වටයේ ඉදිරිපත් කිරීම් සඳහා සහාය වන නවතම ඇගයීම් නිර්ණායක පිළිබඳව දැනුවත් කරන ලදී.

Exit mobile version