විවිධ තලයන්හි අග්‍රගන්‍ය පුද්ගලයන් සහ සම්භාවනීය අමුත්තන් එක්රැස්වූ විශිෂ්ට උත්සවයක් ලෙස පැවති නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ 2024 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබිය. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය සැමරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 54/115 දරන යෝජනා සම්මුතිය අනුව වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ 25 වැනි සංවත්සරයද මෙමගින් සනිටුහන් කෙරිණ. (Sri Lanka Latest News)
මෙම සැමරුම් උත්සවය සඳහා අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රධාන සංඝනායක ටැන්සානියාවේ බෞද්ධ විහාරස්ථානයේ සහ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමියන්, නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්යක්ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය සහ කෙන්යානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් කලාපීය අධ්යක්ෂ ගරු මොරිස් ඔකෝත් අමිසි මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරියක මෙන්ම නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්යක්ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් නිකුත් කල විශේෂ වෙසක් දින පණිවුඩය ඉදිරිපත් කරනු ලැබීය. වෙසක් දිනයේ හරය එක්සත් ජාතීන්ගේ අරමුණු සමඟ සමීපව බැඳී ඇති බව මහලේකම් ගුටේරස් සිය පණිවුඩය මගින් අවධාරණය කළේය. ඉවසීම, දයානුකම්පාව සහ මිනිස් වර්ගයාට සේවය කිරීම පිළිබඳ බුදුන්වහන්සේ ගේ ඉගැන්වීම් මෙවන් කැළබිලිකාරී සමයක සැනසීම සහ ශක්තිය ලබා දෙන බව ඔහු සඳහන් කර තිබිණ.
වෙසක් දින සැමරුම් උත්සවය සඳහා පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් සියළුදෙනා පිළිගත් මහ කොමසාරිස් කනනාදන් මහතා 1999 වසරේ ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සම අනුග්‍රාහකයන්ට කෘතඥතාව පළ කළේය. වෙසක් දිනය අද ලෝකයට අන් කවරදාටත් වඩා වැදගත් වන බව පෙන්වා දුන් ඔහු නූතන යුගයේ අභියෝග හමුවේ සාමයේ සහ දයානුකම්පාවේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කළේය.
“මෙය බුදුන්වහන්සේගේ අකාලිකවූ ඉගැන්වීම් ගැඹුරින් මෙනෙහි කළ යුතු කාලයකි,” යනුවෙන් මහකොමසාරිස් කනනාදන් මහතා පැවසීය. “එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක්ව 25 වසර සමරන වෙසක් දිනය ආදරය, දයානුකම්පාව සහ අවිහිංසාව පිළිබඳ සිහිපත් කරවන අවස්ථාවකි. අප සිදුකල ක්‍රියාවන් නැවත ආවර්ජනය කිරීමට පොළඹවන වෙසක් දිනය සමාජ සාධාරණත්වය, පාරිසරික සංරක්ෂණය සහ දුක් වේදනා සමනය කිරීම සඳහා වන ප්රයත්නයන් දිරිගන්වයි. ” බුදුන් වහන්සේගේ ආදරය, දයාව, සන්තුෂ්ටිය සහ සන්සුන් බව යන ගුණාංග අනුව යමින් ප්‍රඥාව, සහකම්පනය සහ සියල්ලන් කෙරෙහි ගෞරවය දක්වන ලෝකයක් නිර්මාණය කිරීමට කැපවන ලෙස මහකොමසාරිස් කනනාදන් මහතා පැමිණ සිටී අයගෙන් ඉල්ලීමක්ද කළේය.
උත්සවයට සහභාගී වූ විවිධ ආගමික ඇදහිලි සහිත සියල්ලන්ට කෘතඥතාව පලකල කනනාදන් මහතා බුදහම, ඇදහිල්ල, භාෂාව සහ සංස්කෘතික විෂමතාවයන්ගෙන් ඔබ්බට ලෝක සාමය සහ විශ්වීය සහජීවනය ප්‍රවර්ධනය කරන බව සඳහන් කළේය. ගෝලීය ප්‍රජාවේ අභිවෘද්ධිය උදෙසා අවබෝධය, දයානුකම්පාව සහ සහයෝගීතාව සඳහාවූ සාමුහික කැපකිරීම මෙලෙස විවිධාංගික සහභාගීත්වය තුලින් අවධාරනය කෙරිණ.
ගෝලීය අභිවෘද්ධිය උදෙසා යාන්ත්‍රණයක් ගොඩනැගීමේ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය හුවා දක්වමින් මහකොමසාරිස් කනනාදන් මහතා අවධාරණය කළේ සැබෑ ලෝක සාමය සාක්ෂාත් කරගත හැක්කේ සාමකාමී පුද්ගලයන් නිර්මාණය කිරීමෙන් පමණක් බවය.
බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ප්රජාවන්හී නියෝජිතයන් සමඟ සුහදතාවය සහ සහෝදරත්වය දැක්වීමේ පියවරක් ලෙස මහ කොමසාරිස් කනනාදන් මහතා කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පූජනීය බුද්ධ ප්රතිමාවක්ද ප්රදානය කලේ සාමය, බුද්ධත්වය සහ ප්‍රජාවන් අතර අධ්‍යාත්මික සම්බන්ධතාවය සංකේතවත් කරමිනි.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා, සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටී. එමෙන්ම ලෝකසාමය සහ සහයෝගීතාවය පෝෂණය කරන ප්‍රජා උත්සව සහ සැමරුම් සඳහාද මහ කොමසාරිස් කාර්යාලය සක්‍රියව සහභාගීවේ. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය මගින් මානව අගයන් මෙන්ම ගෝලීය සාමය සහ සමගිය කෙරෙහි බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල චිරස්ථායී බලපෑම අවධාරණය කෙරිණ.
සේයා රූ සටහන –
වෙසක් දිනය සමරමින් බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් හින්දු ප්‍රජාව සහ අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රධාන සංඝනායක ටැන්සානියාවේ බෞද්ධ විහාරස්ථානයේ සහ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමියන් සමඟ මහ කොමසාරිස් කනනාදන් මහතා කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට බුද්ධ ප්‍රතිමාවක් පිරිනමයි.