තිරසාර නිෂ්පාදනයක් සඳහා තවත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය හා Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමග එක්ව ඉහළ මට්ටමේ විද්වත් කතිකාවක්, ‘Eco Label : විශිෂ්ට පරිවර්තනීය වෙනසක් සඳහා සම්බන්ධ වන්න’ යන තේමාව යටතේ සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී අතිසාර්ථකව පැවැත්වූ අතර, ඒ සඳහා තේ නිෂ්පාදන, කිරි නිෂ්පාදන, ඉදිකිරීම් ආශ්රිත රසායනික ද්‍රව්‍ය සහ ඇඟලුම් ඇතුළු බොහෝ ක්ෂේත්රවල ඉහළ මට්ටමේ ව්‍යාපාරික නායකයන් සම්බන්ධ විය. (Sri Lanka Latest News)
පාරිසරික කාර්යසාධනය සඳහා ස්වේච්ඡා සහතික කිරීමේ ක්‍රමයක් වන Eco Label සහතික කිරීම, පරිසර හිතකාමී භාවිතයන් අනුගමනය කිරීම අරමුණු කරගත් ව්‍යාපාර සඳහා ප්‍රධාන උපායමාර්ගයක් ලෙස ලොව පුරා වැඩි වශයෙන් පිළිගනු ලබයි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා Eco Label සහතිකකරණයේ ප්රතිලාභ සහ තිරසාර හා වගකිව යුතු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීමට පෙළඹීම ප්‍රධාන අරමුණ කරගෙන මෙම විද්වත් සංසදය සංවිධාන කර තිබිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය ලේකම්, අනුර දිසානායක මහතා ව්‍යාපාරික භාවිතයන් සඳහා Eco Label සහතිකකරණය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එසේම ‘Ecolabelling ys GEN (Global Ecolabelling Network) සාමාජිකත්වයේ වටිනාකම, විශ්වාසය ගොඩනැගීම සහ ගෝලීය ප්‍රවේශය’ යනුවෙන් නම්කර තිබූ ප්‍රධාන දේශනය ජපාන පරිසර සංගමයේ නියෝජ්‍ය කළමනාකරු හිරොයුකි කොබයාෂි මහතා විසින් පවත්වන ලදී.