මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.
මෙම වැඩසටහන නම්කර ඇත්තේ ‘මනුසත්කාර විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත. වැඩසටහනේ ප්‍රථම අදියරේදී, ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’වල වෙසෙන සිසු සිසුවියන් අතරින් උසස් පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ. ආදර්ශ ගම්මාන යනු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සිට කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයක් තුළ වෙසෙන ප්රජාවන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ වැඩසටහනකි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්වවිද්‍යාල දේශනද මේ වනවිට සාමාන්‍ය සහ මාර්ගගත ක්‍රම යටතේ ආරම්භ වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්වවිද්‍යාලවල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති. බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රථම ශිෂ්‍යත්වය හිමිකර ගැනීමට සමත් වූයේ කේ. අක්ෂිකා සිසුවියයි. කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබූ ඇයට 2021 වසරේදී මෙම ශිෂ්‍යත්වය හිමි විය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ ඇය විසිනි.