පසුගිය ජුනි මාසයේදී සිදුවූ යුරේනස් ග්‍රහයාගේ මාරුව පොදුවේ රටට සහ දේශපාලනයට බලපාන ආකාරය ගැන අද මම කතාකරන්න අදහස් කරනවා.
යුරේනස් කියන්නේ ටොලමියානු ඉගැන්වීම්වලට අනුව උග්‍ර විකිරණශීලී උග්‍ර වායුකාරක ග්‍රහයෙක්. මෙම ග්‍රහයා ලෝක ඉතිහාසයේ විශේෂයෙන් ලෝක යුද්ධ, මහා පරිමාණ යුද්ධ, බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්රයේ සිදුවන විප්ලවකාරී සිදුවීම්, සාගත, වසංගත වගේ තත්ත්වයන්, කැරැලි කෝලාහල පිළිබඳ කල් තබා සංඥා දර්ශකයක් හැටියට ක්‍රියාත්මක වන ග්‍රහයෙක් ලෙසයි නක්ෂත්ර විද්‍යාවේදී අපට උගන්වන්නේ. (Sri Lanka Latest News)
යුරේනස් මේෂ රාශියේදී සිටියදී එක රටාවක් විදියට ලෝක පරිමාණ යුද්ධ සහ විප්ලව ඇතිකරනවා. ඒ යුරේනස් වෘෂභ රාශියට ගියාට පස්සේ ඇතිවෙච්ච ඒ යුද තත්ත්වයන් හොඳින් හෝ නරකින් අවසන් කරනවා වැඩි කාලයක් යන්න කලින්. දෙවැනි ලෝක යුද්ධය සිදුවුණෙත් මේ පසුබිම අනුවම තමයි. එතැනින් පසු අලුත් ලෝක බල රටාවක් හැදෙනවා. අද අපි මේ කතාකරමින් ඉන්නේ පසුගිය ජුනි මාසයේදී යුරේනස් ග්‍රහයා වෘෂභ රාශියට ආපු අවස්ථාව ගැන. අපට පේන්නේ ඊට පෙර හටගත්ත ලෝක යුද්ධ එළිපිට පේන යුද්ධ, එළිපිටින් පේන්නේ නැති යුද්ධ, ආර්ථික යුද්ධ, දේශපාලන යුද්ධ, සංස්කෘතික යුද්ධ, ආගමික හා අන්තවාදී යුද්ධ කියන සියලු ආකාරයේ යුද්ධ අවසන් වෙන අවස්ථාවකට තමයි අපි පිවිසිලා ඉන්නේ. අපට එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන් යුරේනස් ග්‍රහයාගේ වෘෂභ රාශි ගමනත් එක්ක ලෝකය තවදබල වන්දියක් ගෙවලා හෝ විශේෂයෙන්ම යුද ගැටුම් අවසන් කරනවා. අන්තවාදයන් අවසන් කරනවා. ඒකෙන් වෙන්නේ එක අන්තවාදයක් අවසන් වෙලා තවත් අන්තවාදයක් හිස එසවීම. ලෝකයේ කවදාකවත් පොදු මතවාදී විවිධත්වයක් ඔය කියන විදියේ ප්රජාතන්ත්රවාදයක් නැහැ. එක බලාධිකාරයක්, එක මතවාදයක් පරාජයට පත්කරලා වෙනත් මතවාදයක් රජ කරනවා. ඒ අතරේ ජාතික හා අන්තර්ජාතික වශයෙන් පොඩි පොඩි කැරැලිගැසීම් තියෙනවා. නමුත් ඒවා ප්‍රධාන ධාරාවට එකතු වෙන්නේ නෑ. කවුරු හෝ හිතනවා නම් යුරේනස් වෘෂභ රාශියට ආවාම ලෝකය හරිම සාමකාමී තැනක් වෙනවා කියලා, එහෙම වෙන්නත් පුළුවන්. යුද්ධ නතරවෙයි. නමුත් එතෙක් තිබුණු ආධිපත්‍යයක් වෙනුවට වෙනත් ආධිපත්‍යයක් හිස ඔසවනවා. ඒක අපට පේන්නේ මැදපෙරදිගකින්. අනිත් පැත්තෙන් චීනෙන්. ඒ වගේම ආසියාවෙන්. කවුරුවත් හිතන්නේ නැති විදියට අප්‍රිකානු රටවල් ආශ්‍රිතවත් අලුත් ලෝක අධිපත්‍යය ගොඩනැගීමේ ඉඩකඩ වෘෂභ රාශියට ගමන් කළ යුරේනස්ගෙන් පෙන්වන්නේ. මම කෙටියෙන් කිව්වේ ඉඟියක් විදියට.
ඔබ දන්නවා පුද්ගලයකුට වගේම ලෝකයේ සෑම භූමි ප්රදේශයකටම බලපවත්වන රාශියක් ලග්නයක් තියෙනවා. ලංකාව ගැන කතා කළොත් ලංකාවේ ලග්නය කුම්භ. හැමෝම දන්නේ කුම්භ රාශිය අධිපති සෙනසුරු ග්‍රහයා හැටියට. නමුත් මේක මතභේදාත්මක කාරණාවක් හැටියට වාද කිරීමෙන් තේරුමක් නෑ. මේක ලෝකායන ජ්‍යොතිෂයට අදාළ දෙයක්. කුම්භ රාශිය අධිපතියා හැටියට සලකන්නේ සෙනසුරු නෙවෙයි යුරේනස්. ඒ අනුව ලෝකායන වශයෙන් පුරෝකථනය කිරීමේදී ලංකාවට අදාළ ආකාරයට බලද්දී සෙනසුරුට වඩා යුරේනස්ට ප්රමුඛත්වයක් දීම මම පෞද්ගලිකව භාවිත කරන ක්‍රමයක්. ඒ අනුව සමස්තයක් විදියට රටේ දැන් තියෙන තත්ත්වය සහ ඊළඟට වෙන්නේ මොකද කියන කාරණාව විග්රහ කිරීමේදී ලංකා කේන්ද්‍රයේ අධිපති යුරේනස් හැටියට සැලකීම මම පෞද්ගලික කරන කටයුත්තක්. ඒක මම හොයාගත්ත දෙයක් නෙවෙයි. ක්ලෝඩියස් ටොලමිගේ ඉගැන්වීම්වල සහ විශේෂයෙන්ම බටහිර නක්ෂත්ර විද්‍යාවේදී කුම්භ රාශිය අධිපතියා හැටියට සලකන්නේ සෙනසුරු නෙවෙයි යුරේනස්. ඉතින් මම ඒක පිළිගන්නවා අත්දැකීමෙන් සහ කරන හැදෑරීම්වලට අනුව පේනවා බොහෝ විට කුම්භ රාශියේ ගමන සහ යුරේනස්ගේ පිහිටීම් අතරේ බොහොම කිට්ටු සමානයක් තියෙන බව.
අද ලංකාවේ අපි ඉන්නේ කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන අවස්ථාවක. බොහෝ දෙනෙක් හිතනවා කවුරු දිනයිද, කවුරු පරදීද කියන එක. ඒක කවදාකවත්ම නක්ෂත්ර විද්‍යාවෙන් පුරෝකථනය කරන්න බෑ. ඒක බොහොම පක්ෂපාතී දෙයක් වෙන්න බැහැ. මේ විෂය එහෙම පාවිච්චි කළොත් විෂය සහ ඒක කරන පුද්ගලයාගේ අගතියටයි ඒක හේතු වෙන්නේ. තමන් දරන දේශපාලන මතවාදය කුමක් වුවත් එළඹෙන සාක්ෂි සාධක අනුව විශේෂයෙන්ම ලෝකායන නක්ෂත්ර විද්‍යාවේ සිද්ධාන්ත අනුව තමන් අකැමැති දෙයක් වුණත් පුරෝකථනය කරන්න වෙනවා. ඇතැම් විටක තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒක වුණත් කියන්න වෙනවා. හොඳම දේ එහෙම දෙයක් කියන්න අකැමැති නම් කට පියාගෙන ඉන්න එකයි. නමුත් මැදිහත් සිතින් බලනකොට ඒ දේ කියන්න බයවෙන්න ඕනේ නෑ. මොකද පුරෝකථනයක් හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒකේ තියෙනවා කිසියම් ප්‍රතිශතයක්. අඩුම තරමින් කරන පුරෝකථනවලින් හෝ ඒ පුරෝකථනයෙන් 80%ක්වත් සාර්ථක වෙන්න ඕනේ. 15%ක 20%ක ප්‍රමාණයක් අසාර්ථක වෙන්න පුළුවන්. මොකද ලෝකයේ කිසිම කෙනෙකුටවත්, මොනම විද්‍යාවකටවත් 100%ක් නිවැරැදි පුරෝකථන කිරීමේ හැකියාවක් නැහැ. කවුරු හරි කියනවා නම් එහෙම පුළුවන් කියලා ඒක වෙන්න හැකියාවක් නැහැ. වැරැදීමේ ඉඩකඩකුත් තියෙනවා. මොකද නොවරදින්න කියන්න නම් දෙවියන්වහන්සේ වෙන්න ඕනේ. නැත්නම් දෙවියන්ගේ නියෝජිතයෙක් වෙන්න ඕනේ. අපි මිනිස්සු වශයෙන් මේ විෂයන් හදාරලා, ගණිත සූත්‍ර භාවිත කරමින්, ඒ ශක්තීන් සංකලනය කරමින් ඇතිකරගන්න කිසියම් ගණනය කිරීමකින් ගන්න අවසන් ඵලය තමයි මේ. ඒවා 15%ක 20%ක ප්‍රමාණයක් වරදින්න පුළුවන්. පුරෝකථනයක් කියන්නේ ඒකයි. මේක දේව වාක්‍යයක් නෙවෙයිනේ.
යම් රටක් සම්බන්ධයෙන් ලෝකායන නක්ෂත්රය භාවිත කිරීමේදී එය රටට අයිති ලග්නයේ සිට 4 වැන්නෙන් කියැවෙන්නේ විපක්ෂය ගැන. 10 වැන්නෙන් කියැවෙන්නේ ආණ්ඩුව ගැන. නැත්නම් රජය හෝ බලය ගැන. මේ වෙලාවේ යුරේනස්ගේ ගමන සිදුවෙන්නේ රටේ ලග්නයේ 4 වැන්න වන වෘෂභ රාශියේ. ඒ කියන්නේ විපක්ෂයේ තැන. එතකොට අතීත සිදුවීමුත් එක්ක ඉතිහාසය පිරික්සා බලන්න. ඒ අනුව ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි දැනට බලයේ නැති, විපක්ෂය හැටියට හඳුන්වන, (පාර්ලිමේන්තුවේ විපක්ෂයම නෙවෙයි මේකෙදී අදහස් කරන්නේ) අයගෙන් බොහොම රැඩිකල් සහ තාක්ෂණික වශයෙන් මනා වූ සංවිධාන ශක්තියකිනුත් පෙර නොවූවිරූ විදියේ සටන් උපක්‍රම, මැතිවරණ ව්‍යාපාර සහ යම් රැඩිකල් පන්නයේ නැගීසිටීම් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතිවෙන මහජන මතය ප්‍රකාශයට පත්කිරීම සිදුවෙන්නේ බොහොම විප්ලවකාරී විදියටයි. අපිට පේනවා යුරේනස් ග්‍රහයාගේ වෘෂභ රාශි ගමන අනුව මේ මොහොතේදී සහ ඉදිරියට විපක්ෂ කණ්ඩායම් තමයි බලය වැඩි වශයෙන් ලබාගැනීමට සුදුසුකම් ලබාගන්නේ. දැනට බලයේ සිටින පක්ෂයක් වෙන්න පුළුවන්, ඒ පක්ෂය නියෝජනය කරන පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ අයට වඩා පැහැදිලි වැඩි ඉඩකඩක් දැනට බලය පරිහරණය කිරීමේ හැකියාවෙන් ව්‍යුක්තව සිටින විපක්ෂ කණ්ඩායම්වලට පැහැදිලිව තියෙනවා. ඒ අනුව මගේ ගණනය කිරීම් අනුව පෙන්වන්නේ ඉදිරියට එළඹෙන ඕනෑම මැතිවරණයකදී ආණ්ඩුවේ බල ව්‍යුහය ඊට පරිබාහිර අය විසින් අත්පත් කරගැනීමක් තමයි පෙන්වන්නේ. ඒ අනුව මෙතෙක් පැවැති පාලන ක්‍රමය සහ එහි නියෝජිතයන්ගේ බලය අහිමි වීමක් පැහැදිලිව සිදුවෙන බව තමයි අපගේ ගණනය කිරීම් අනුව පෙන්වන්නේ.
විපක්ෂය කිව්වම අහනවා කොයි කිපක්ෂයද කියලා. එතකොට ඒක දේශපාලන අදහස් දැක්වීමක් හැටියට සැලකෙන්නේ. කුමන ආකාරයකටවත් පවතින පාලන ක්‍රමයට ස්ථාපිත වෙන්න ඉදිරියට යන්න බැහැයි කියන කාරණාව පමණක් දැනට කිව්වොත් ප්‍රමාණවත් බව මම විශ්වාස කරනවා.
යුරේනස් කියන්නේ අධි තාක්ෂණික ග්‍රහයෙක්. මේකෙන් අලුත් පිරිසක් බලය ගන්නවා කියන එකේ දෙවැනි අර්ථය තමයි ඊළඟට බලයට ඒම සඳහා වැඩිම සුදුසුකම ලබන්නේ එහෙම අධිතාක්ෂණික වශයෙන් බොහොම නවීකාරක වශයෙන් රැඩිකල් වෙනස්කම් කරන්න පුළුවන් හැකියාවක් විශ්වාසයක් ජන මනස තුළ තැන්පත් කරන්න පුළුවන් කණ්ඩායමකට වැඩි වාසියක් තියෙනවා මේ එළඹෙන ඕනෑම මත විමසුමකදී ජයග්‍රහණය කරන්න. දැනට අවුරුදු 84ක් පරණයි යුරේනස්ගේ ගමන. ඒ ගමන ඉවරයි. මේ වෘෂභයෙන් පටන් ගත්තේ අලුත් ගමනක්. ඒ ගමනෙදී පෙන්වන්නේ අධිතාක්ෂණික යුගයකට යෑමක්. සමාජයක් සංවිධාන කිරීම, රජයක් සංවිධාන කිරීම, පරිපාලනයක් ඇතිකිරීම, එදිනෙදා ජීවිතය සැලසුම් කිරීම ආදී ඕනෙම දෙයක් විධිමත් සහ නවීකාරක විදියකට වෙනස් කරන්න පුළුවන්. පෙරළිකාර අන්දමේ විප්ලවකාරී විදියේ පිරිසකට තමයි මෙවර බලය යන්නේ. එහෙම ගියා වුණාට වැඩේ කරගෙන යන්න ඒ අයට අමාරු වෙනවා. විශේෂයෙන්ම ඊළඟ වසර හතරහමාරක කාලය 2025 සිට උදාවන වසර හතරහමාරක කාලය බොහොම අමාරු කාලයක්. කවුරු බලය ගත්තත් මතුපිටින් පේනවට වඩා විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවේවි. අපි ඒවා කතා කරන්න දැන්ම කල් වැඩියි. මම මුල්ම පණිවුඩය දුන්නේ. දැනට බලය අත දරන අයට එම බලය තවදුරටත් දිගු කරගන්න බැරි බවයි යුරේනස් ග්‍රහයාගෙන් සංඥා කරන්නේ.
ඊළඟ කාරණාව තමයි බලය ගැනීමේ හැකියාව වැඩි වශයෙන් තියෙන්නේ කාටද? සමාජය, දේශපාලනය සහ එදිනෙදා ජීවිතය නවීකාරකත්වයකට ගේන්න පුළුවන් සාම්ප්‍රදායික වැඩවසම් යල්පැනගිය ක්‍රමය ඉවත දාලා අලුත් ක්‍රමයකට සමාජයත් රටත් සංවර්ධනය කරන්න පුළුවන්, ඒ අනුව මෙහෙයවන්න පුළුවන් චින්තනයක් සහ වැඩපිළිවෙළක් තියෙන කුමන හෝ කණ්ඩායමකට වැඩි වාසියක් තියෙනවා ලංකාවේ මීළඟ පාලන බලය අතට ගන්න. දේශපාලන සටන් පාඨ හැටියට ඩිජිටල්කරණය කරනවා කියන එක නෙවෙයි, ජන මනසට ඇත්ත වශයෙන්ම කාවදින ස්වරූපයේ හැකියාවක් තියෙන කෙනකුට මේ වෙලාවේ වැඩි වාසියක් රටේ ග්‍රහචාරය අනුව පෙන්නුම් කරන්නේ.
අපි හැමෝටම දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. නමුත් මම මේ කරපු පුරෝකථනය තුළ කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් මගේ ඔළුවේ නැහැ. ඔබ පක්ෂයක් හෝ යම් කණ්ඩායමක් හෝ යම් චරිතයක් ගැන අදහසක් ඇතිකරගෙන, මා කිව්වේ ඔබේ ඒ අදහස ගැන යැයි වරදවා වටහා ගන්න එපා. මේක බොහොම විවෘත අදහස් දැක්වීමක්. මම මේ කිව්වේ ඊළඟට හැඩගැසෙන ක්‍රමය ගැන මිසක් ඒ ඒ පක්ෂවල දේශපාලන වැඩපිළිවෙළ බලලා නෙවෙයි. මට ඒ දේශපාලන පක්ෂය කුමක්ද කියන එක කිසිසේත් අදාළ නැහැ.
කේ.සී.ජේ. රත්නායක