රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදී සප්තවිධ ග්‍රහ මණ්ඩලයන්ගෙන්ද යුත් අත්ලක ප්‍රධාන රේඛාවන් හයක් දැකිය හැකිවෙයි. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය රේඛාව, දෛව රේඛාව, රවි රේඛාව හා සුඛ රේඛාව ආදී වශයෙනි. ජීවිතයක නැඟීම්, බැසීම්, ධන ලාභ, හදිසි අනතුරු හා රෝග පීඩා ආදියද දැනගත හැක්කේ එම රේඛාවලිනි. පලාපල නිගමනය කිරීමේදී සියුම් ලෙස එම රේඛා පරීක්ෂා කොට යථා තත්ත්වය තේරුම්ගත යුතුයි. එම රේඛාවන්ගේ කැඩීම්, කැපීම්, මැකීයෑම්, දූපත්, තරු සලකුණු ආදියෙන් අසුබ පලද, ඉහත සලකුණුවලින් තොර පැහැදිලි දීප්තිමත් වූ නියම ස්ථායන්හිම පිහිටි එක සමානව විහිදගියා වූ රෝස පැහැයෙන් යුත් ඍජුව විහිද ගිය රේඛාවන්ගෙන් සුබ පලද ප්‍රකාශ කළ හැකිවේ.
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛාවන් අතරින් ජීවන රේඛාව ප්‍රධාන වෙයි. කෙනකුගේ ආයු කාලය දැක්වෙන නිසා මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් ආයුෂ පමණක් නොව තවත් බොහෝ කරුණුද හෙළිදරව් වන බව කිව හැකිය. අත්ල හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය, රෝග පීඩා ඒවා ඇතිවන කාලවකවානු, ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් ආදී සුවිශේෂ සිදුවීම් යනාදී බොහෝ දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් පෙන්නුම් කරයි.
වම් අතේ ජීවන රේඛාවෙන් පරම්පරාගතව එන රෝග පීඩා, ගතිගුණ සිතුම් පැතුම් ශරීර ශක්තිය ආදිය ප්‍රකාශ කළ හැකි අතර දකුණු අතේ ජීවන රේඛාවෙන් හදිසි ධන ලාභ, කලින් කල ඇතිවන රෝග පීඩා, ජීවනෝපාය මාර්ග, සැපදුක් ආදිය ප්‍රකාශ කළ හැකිය. තමන්ගේ උත්සාහය හා උදාසීනභාවය මෙම රේඛා මත ප්‍රබල හෝ දුබල විය හැක. අත්ලේ දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර ගුරු මණ්ඩලයෙන් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරමින් මැණික් කටුව ප්‍රදේශය දෙසට විහිද යන්නේ එම ජීවන රේඛාවයි. අත්ලේ ජී – ජී වශයෙන් සලකුණු කර ඇත්තේ එයයි. අනෙක් රේඛාද අකුරුවලින් ඔබට හඳුනාගත හැකිවෙයි.
ගුරු මණ්ඩලයෙන් මෙම රේඛාව පටන්ගන්නා බැවින් ජීවිතයේ මුල් කාලය (ළමා කාලය) පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලය අසල පවතින කොටසිනි. මෙය ඇතැම් අයගේ දම්වැල් ආකාරයෙන් මෙන්ම සමහර විට රේඛාවේ දූපත් කතිර සලකුණුද දැකගත හැකිය. ඒ අනුව එම අය කුඩා කාලයේදී රෝග පීඩා ආදියෙන් කටුකව දිවි ගෙවූ බැව් කියැවේ. ඇතැම් අයගේ ජීවන රේඛාව හා ඒ ළඟම ඇති ශීර්ෂ රේඛාව එකම තැනකින් පටන් ගනී. එවැනි අය තර්කානුකූලව කතා කරන තීක්ෂණ බුද්ධියක් ඇති අය වෙති. ශීර්ෂ රේඛාව හා ශීර්ෂ රේඛාව සුළු පරතරයක් පවතී නම් එවැනි අය සාධාරණ අදහස් ඇති අය වන අතර ඔවුන් තමන්ගේ අරමුණු නිශ්ශබ්දව ඉදිරියටම ගෙනයයි. එම රේඛා දෙක අතර වැඩි පරතරයක් ඇත්නම් එය ඉතා ඉක්මනින් මෙන්ම අන් අය සමගද දබර කිරීම් ආදියටද යොමුවෙති. හදිසි තීරණ ගැනීමද ඔවුන් තුළින් පෙන්නුම් කෙරේ.
ජීවන රේඛාවේ දිගින් පමණක් කෙනකුගේ ආයුෂ ප්‍රමාණය තීරණය කළ නොහැකි අතර ශරීර ශක්තිය එහි පුළුල් බව තුළින් පහසුවෙන් දැනගත හැක. පැහැදිලිව ඝනව කාවැද්දුණු රේඛාවෙන් ප්‍රබල ශරීර ශක්තියකින් යුක්ත බව ප්‍රකට වෙයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණදිය හැකිය. මෙවැනි අය රෝගී වුවත් වැඩි කාලයක් යන්නට පෙර සුවය ලබයි.
ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුක්තව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් එම අයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන අතර එවැනි අයට යම් දෙයකට ඉදිරිපත්වීමට ඇති කායික හා මානසිකත්වයද දුර්වලය. ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලය දක්වාද පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක් හිමිවන අතර ඔවුන් උසින් වැඩි බවක්ද පෙන්නුම් කරයි. බොහෝ විට ජීවන රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අසුබය. ඔවුන් නිතර නිතර අසනීපවලට ලක්වන අතර අන්‍යයන්ද අප්‍රිය කරයි.
ජීවන රේඛාව කැඩීම්, බිඳීම්, කැපීම් නොමැතිව දීර්ඝ ලෙස පිහිටියේ නම් ඔහුට හෝ ඇයට සැපවත් දිවියක් ගතකිරීමට හැකිවේ. රත් පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්ති සම්පන්න බවද ප්‍රකට කරන අතර, රෝස පැහැයෙන් යුතුව ජීවන රේඛාව දක්වන්නේ අලස බවින් යුතු ජීවිතයකි. සියුමැලිවූද, දුර්වර්ණවූද ජීවන රේඛාව ශරීරයේ රෝගී තත්ත්වයක් ඇති බවට ලක්ෂණයකි.
හිඹුටානේ පියතිලකද අල්විස්
මුල්ලේරියාව නව නගරය
0112419574 / 0716212020