භික්ෂුත්වය යනු අතිදුර්ලභ කරුණක් බව සම්බුද්ධ දේශනාවයි. ‘භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං’ යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ දුර්ලභ වූ කරුණු පහක් පිළිබඳ ත්‍රිපිටක ධර්මයේ සඳහන්ව ඇත. එම පාලි පාඨයේ අදහස නම්, ‘මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිදිභාවය) දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය’ යන්නය. බුදු සස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය, මිනිස් බව, ක්ෂණ සම්පත්තිය යන කරුණු තුනම සම්පූර්ණ කරන ලද තැනැත්තාට පමණකි. ඉහත කරුණු තුනම පරිපූර්ණ කළද සියලු ලෞකික අපේක්ෂාවන් හැරපියා නිස්සරණාධ්‍යාශයෙන් පැවිදි දිවියට එළැඹෙන්නට සිත නැමෙන්නේ ඉතා සුළු පිරිසකට පමණි. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයක් ලෙස සැලකීම යුක්ති යුක්තය.
එවන් දුර්ලභ වූ පැවිදි දිවියට එළැඹි යම් මනුෂ්‍යයකු විසින් සාක්ෂාත් කරගැනීමට වෙහෙසිය යුතු උතුම් අරමුණක් පිළිබඳ ධර්මයේ ඉගැන්වෙයි. එය නම්, සියලු දුකෙන් නිදහස් වීම හෙවත් නිර්වාණය අවබෝධ කරගැනීමයි. පැවිදි භූමියට පිවිසෙන්නට පෙර, පැවිදි බව අපේක්ෂා කරන්නා විසින් කියනු ලබන මෙම පාඨය තුළ ඒ පැවිදි දිවියේ අරමුණ පිළිබඳ මනා කොට දැක්වෙයි. ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ, සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය…’ ‘සියලු දුකෙන් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් මා කෙරෙහි අනුකම්පාවෙන් පැවිදිභාවය ලබාදෙනසේක්වා’ යනු එහි සංක්ෂිප්තාර්ථයයි. එවන් උස් අරමුණක් සිතෙහි දරාගනිමින් පැවිදි දිවියට එළැඹ සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම ඒ උදෙසා වෙහෙසෙන ශ්‍රේෂ්ඨ යතිවරයාණන්වහන්සේලා අප රටෙහිත්, බොහෝ විදෙස් රටවලත් අනල්පය. ලාභ සත්කාරයනට ගිජුව, පැවිද්දෙහි ගෞරවනීය බව සහ එහි ගැබ්වූ සාරාර්ථය කෙළෙසාගත් බහුතරයක් අතර උන්වහන්සේලා මිණි මුතු මෙන් බබළමින්ද, සකලවිධ ලෝක ධර්මතා සම සිතින් ඉවසමින්ද අකම්පිතව වැඩසිටිති.
ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා, ගෞරවනීය සමාජ ස්ථරයනට පිවිස, ලෞකික සුඛයන්හි මුදුන් පෙතටම ප්‍රවිෂ්ට වූ රජ සිටුවරු වැනි මිනිසුන් ඒ සියලු සැපයන් අලුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කරමින් පැවිදි දිවියට පිවිසි අයුරු බෞද්ධ සාහිත්‍යයෙහි මෙන්ම සම්බුද්ධ දේශනාවෙහිද අප බොහෝ කොට කියවා ඇත්තෙමු. ‘පියාපත් බර පමණක් ඇති පක්ෂියකු සේ නිදහස් වූ පැවිද්ද’ ලෙසත්, ‘අභ්‍යවකාශය සේ නිදහස් පැවිද්ද’ ලෙසත් පැවිදි දිවියේ බැඳීම් රහිත බව වර්ණනා කළ නික්ලේශී උතුමන් පිළිබඳවද ඒ ධර්ම ග්‍රන්ථවල කියැවෙයි. එසේම ගිහි බැඳීම්වල ඇති නිස්සාරත්වය වටහාගෙන බුදුරජාණන්වහන්සේ දේශනා කළ නිවන් මඟ වැඩීම පිණිස ප්‍රව්‍රජ්‍යාවට පිවිස, ඒ පැවිදි දිවියට ආභරණයක් වූ ධන කුවේරයන් පිළිබඳ පුවත් බුදුන් දවස මෙන්ම අදද ඉඳහිට ලොව නන් දෙසින් අසන්නට ලැබෙයි.
වසර ගණනාවක් විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු ලෙස සිදුකළ විශිෂ්ට සේවය තුළින් සුවහසක් රෝගී දනන් සුවපත් කළ එක් සුවිශේෂ පුද්ගලයකු පැවිදි දිවියට පිවිසීම පිළිබඳ එවන් පුවතක් අපට අසන්නට ලැබුණේ වැල්ලවාය බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයෙනි. මීට මාස කිහිපයකට ඉහත එම සෙනසුනේදී පූජ්‍ය පානදුරේ ධම්ම සරණ නමින් පැවිදි දිවියට පිළිපන් උන්වහන්සේ, ගිහි කල මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශක ලෙසත්, තවත් ප්‍රධාන රෝහල් කිහිපයකම අක්ෂි වෛද්‍යවරයකු ලෙසත් කටයුතු කළ වෛද්‍ය සංජය සුමිත් කුරුප්පුය. සිය 25 වසරක වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පැවිදි දිවියට පිවිසුණද, එම පැවිදිභාවයට අවැසි ගුණධර්ම තම ගිහි ජීවිතය පුරාම ඔහු ප්‍රගුණ කළ බවට වූ සාක්ෂි විවිධ පුද්ගලයන් විසින් සටහන් කොට ඇති අයුරුදු සමාජ මාධ්‍ය පිටු පුරා අදටත් දැකගන්නට ලැබෙයි. වෛද්‍ය සංජය සුමිත් කුරුප්පු මහතා සිය වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලැබූ දින රුක්මල් ගීතික නම් සහෘදයකු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ මේ සටහන ඊට හොඳම නිදසුනකි.
‘හිතවත් මහත්මයාණෙනි, ඔබ වෙල්ලස්ස ජනතාවට කරපු සේවය අතිමහත්. වෙල්ලස්සේ ශාසනික පුනරුදය උදෙසා වෙහෙර විහාරවලට ඔබ කළ මෙහෙය වචනයෙන් කියා නිමකළ නොහැකියි. ගිලන්ව සිටින භික්ෂුන්වහන්සේලාට, අන්‍යාගමික පූජකවරුන්ට ඔබ කළ සත්කාර අප්‍රමාණයි. වෙල්ලස්සේ සියදහසක් ජනතාවගේ නුවන් යුග පෑදූ ඔබ සිදුකළ සෑම දෙයකටම බොහෝ ස්තුතියි…’ යම් දිනෙක සියලු ලෞකික බැඳීම් හැරපියා මහණදම් පුරන්නට ඔහු තුළ බලාපොරොත්තුවක් තිබෙන්නට ඇතැයි අපට හැඟෙන්නේ, ඔහුගේ මෙහෙවර හොඳින්ම දැන සිටි අයකු තැබූ ඉහත සටහන කියවද්දීය.
ලෝකයට පෙනෙන්නට දන්දෙන, ලෝකයෙන් ලකුණු දමාගන්නට සමාජ මෙහෙවරේ යෙදෙන බහුතරයක් අතර, සැබෑ ලෙසම ජනතා හදවත්වල නොමැකෙන සටහනක් තබන්නට වෛද්‍ය සංජය කුරුප්පු මහතාට හැකියාව ලැබී ඇත. ඒ මෙහෙවර තුළින්ම ගොඩනැගුණු ඔහුගේ පුණ්‍ය ශක්තිය විසින් අද වන විට ඔහුව පැවිදිභාවයට පත්කර තිබේ.
වත්මන් තරගකාරී සමාජයේ අතිබහුතරයක් දෙනා ලබාගන්නට පෙරුම්පුරන සැප සම්පත්, යානවාහන ආදිය සංජය කුරුප්පු මහතාට ඉතා හුරුපුරුදු භෞතික සම්පත් විය. ඔහු අවසන් වරට භාවිත කළ සුපිරි මෝටර් රථය රුපියල් කෝටි ගණනක් වටිනා එකක් බවද සමාජ මාධ්‍යවල පළව තිබිණි. එහෙත් තව තවත් ගොඩගසාගනිමින්, තෘෂ්ණාභරිතව යන මේ භවගමනේ නිමාවක් දැකීමට ඔහුට සැබැවින්ම අවශ්‍යව තිබෙන්නට ඇත. ඒ උස් අරමුණ වෙනුවෙන් තමන් සතු සියලු භෞතික සම්පත් අතහැර බුදුරජාණන්වහන්සේගේ ළය මඬලෙන් උපන් සැබෑම බුද්ධ පුත්‍රයකු වන්නට තරම් ඔහුගේ අතහැරීම ශ්‍රේෂ්ඨ විය. වී එයිට්, බෙන්ස්, ඩිෆෙන්ඩර් වැනි සුඛෝපභෝගී මෝටර් රථ, මාලිගා වැනි සුපිරි පහසුකම් සහිත විහාරාරාම පරිභෝජනය කරමින් අතහැරීම ගැන ලොවට දේශනා කරන ඇතැම් හිමිවරුන් අතර, සැබෑ අතහැරීම ක්‍රියාවෙන්ම සපථ කර පෙන්වූ පූජ්‍ය පානදුරේ ධම්මසරණ ස්වාමින්වහන්සේ සැබැවින්ම විශේෂ වෙයි.
බුදුසමය තුළ ඉගැන්වෙන ‘අල්පේච්ඡ බව’ නම් වූ සාධකය භික්ෂුත්වයේ ප්‍රධාන අරමුණ වන නිවන් මඟට මහත් පිටිවහලකි. ‘අතහැරීම’ යනු භෞතික වස්තු සම්පත් අතහැරීම නොව, භෞතික දේවල් කෙරෙහි සිතින් නොඇලී නොගැටී සිටීම යැයි යමෙකු තර්ක කළ හැකිය. එය සත්‍යයකි. එහෙත්, බහුභාණ්ඩිකත්වයෙන් ඔද්දල්වී, තෘෂ්ණාභරිතව, සුපිරි මෝටර් රථ, සුපිරි මාලිගා, ෆේස්බුක් ෆෑන් පේජ් නඩත්තු කරමින් ‘සබ්බ දුක්ක නිස්සරණ’ යන භික්ෂුත්වයේ උතුම් අරමුණ සාක්ෂාත් කරගත හැකිද යන්න ගැටලුසහගතය. වෛද්‍ය සංජය කුරුප්පු, පූජ්‍ය පානදුරේ ධම්මසරණ හිමියන් ලෙස පැවිදි භූමියේ පසුගියදා නැවත උත්පත්තිය ලැබුවේ සැබෑ බුද්ධ පුත්‍රයකු සතු විය යුතු ඒ මාහැඟි අල්පේච්ඡ බව ලොවටම ප්‍රකට කරමිනි.

චානක ලියනගේ










