පසුගියදා ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාර් රාජ්‍යය සිය යටිතල පහසුකම් මහා පරිවර්තනයකට ලක්කර ඇත. නේපාලය ද ඇතුළුව දකුණු ආසියාවේ මිලියන පහක ජනතාවක් ගොඩනැගිලි ව්‍යාපෘතිවල සේවයේ යොදවා ඇති අතර, එහිදී ඔවුන්ගේ පවුල් BBCට පවසා සිටියේ එහි ආරක්ෂක විධිවිධානයන්හි අසාර්ථකත්වය තම ආදරණීයයන්ගේ මරණයට හේතුවූ බවයි.
නොවැම්බර් 10 වැනිදා අලුයම කටාර් ගුවන් සේවයට අයත් QR 644 දරන ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළට ඇතුළු විය.
යානයෙන් ගොඩබාන ලද බඩුබාහිරාදිය අතර සුදු පැහැ විශාල ලී පෙට්ටියක් ද විය. ්Human Remains of late Umesh Kumar Yadav, 32 years male, Nepali, (අභාවප්‍රාප්ත උමේෂ් කුමාර් යාදව්ගේ දේහය, අවුරුදු 32 පිරිමි, නේපාල ජාතික) යනුවෙන් එහි පිටත ලියා තිබිණි.
නේපාලයේ කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටි ගෝල්බසාර්හි, ඔහුගේ පියා සිය ගඩොල් නිවෙසින් පිටත මීහරකුන් බැඳ තබයි. ඔහු ජීවත්වන්නේ රැකියා අවස්ථා හිඟ, ලෝකයේ දුප්පත්ම ජාතියක දුප්පත්ම දිස්ත්‍රික්කයකය.
ඔහුගේ පුත් උමේෂ්හට ලොව ධනවත්ම රටක් වන කටාරය වෙත ගොස් රැකියාවක යෙදීමේ අවස්ථාවක් ලබාදෙන බව පැවසූ විට, ලක්ෂ්මන් යාදව් එසේ පොරොන්දුවූ රැකියා නියෝජිතයකුට මීහරකුන් කීපදෙනකු ඩොලර් 1500කට (ලංකාවේ මුදලින් රු. 5,53,000ක් පමණ) විකිණීය.
දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රදේශවල සංචාරය කරමින්, වාසිසහගත විදේශ රැකියාවක් තරුණයන්ට ලබාදෙන පොරොන්දුව මත වීසා බලපත්‍රයක් ලබාදීම සඳහා ඔවුන්ගෙන් විශාල මුදලක් අයකරන නියෝජිතයන් නේපාලයේ පමණක් නොව, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ද සුලබය.
මෙසේ බඳවාගන්නා කම්කරුවන් බොහෝ විට කොන්ත්‍රාත්තුවකින් කොන්ත්‍රාත්තුවකට මාරුකෙරෙන අතර, මෙනිසා සිය ඥාතීන් රැකියාවේ යෙදෙන්නේ කොතැන, කවුරුන් සඳහා ද යන්න දැනගැනීම පවුල්වලට අපහසු වේ.
එතැන සිට පැය දෙකක ගමනක යෙදීමෙන් පසු ධනුෂා දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණා මණ්ඩල්ගේ නිවසට ළඟාවිය හැකිය. ඔහුගේ පියා සිතේෂ් කටාර් රාජ්‍යයේ රැකියාවට පිටත්ව ගියේ මීට සිවුවසරකට පෙරය.
සිතේෂ් ඇතැම් විට රැකියාවේ යෙදී සිටියදී සිය පුත්‍රයාට සෙල්ෆි ඡායාරූප එවීය. ‘තාත්තා මට කිව්වා එයා වතුර ටැංකිවල වැඩකරනවා කියලා. ඒ වුණාට එයා කරන දේ ගැන අපට වැඩිය කිව්වේ නැහැ…’ ක්‍රිෂ්ණා පවසයි.
සිතේෂ් සංචාරයක් සඳහා ඔක්තෝබර් 12 දා නැවත පැමිණීමට නියමිතව තිබිණි. නමුත් ඊට දින කිහිපයකට ප්‍රථම ක්‍රිෂ්ණාට දුරකතන ඇමතුමක් ලැබුණේ තම පියා හදිසි අනතුරකින් මියගිය බව පවසමිනි.
පවුලේ හිතවතකු පවසා තිබුණේ, සිතේෂ් දෝහා අගනුවර පොළොව මට්ටමට අඩි හතක් යටින් පිහිටා තිබූ අපවහන නළ සම්බන්ධයෙන් වැඩෙහි යෙදී සිටියදී විශාල පස් කන්දක් ඔහු මතට කඩාවැටුණු බවයි. ‘ඝන වස්තූන්ගෙන් එල්ලවූ පහර නිසාවෙන් මොට තුවාල කීපයක්ම සිදුව ඇතැ’යි ඔහුගේ මරණ සහතිකයේ සඳහන් විය.
ක්‍රිෂ්ණා පවසන්නේ තම පියාගේ සේවායෝජකයාගෙන් තමාට එකදු දුරකතන ඇමතුමක් හෝ වන්දි මුදලක් ලැබී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට BBCය සිතේෂ් සේවය කළ සමාගම සම්බන්ධකරගත් නමුත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.
ගෝල්බසාර්හි විසූ ලක්ෂ්මන් කටාර්හි තම පුත්‍රයා ගෙවූ දිවිය ගැන වැඩියමක් දැන සිටියේ නැත. ඔහු සතුව ස්මාර්ට් ජංගම දුරකතනයක් නොතිබියෙන්, උමේෂ්ගේ දෛනික TikTok යාවත්කාලීනයන් ෆොලෝ කිරීමට ඔහුට නොහැකි විය.
කටාර්හි බැබළෙන උස් ගොඩනැගිලි යාය ඉදිරිපිට හෝ වෙනත් සංක්‍රමණික කම්කරුවන් සමග ඔහුගේ නවාතැන්පළේදී ඔහු නර්තනයේ යෙදෙන අයුරු ඔහුගේ වීඩියෝ හරහා දැකගත හැකිය.
උමේෂ් ඉදිකිරීම් ස්ථානවල වැඩෙහි යෙදෙන විට ඉණිමඟක් මත සිට සිනාසෙන හෝ, සැබෑ TikTok විලාසිතාවට අනුව බර කොන්ක්‍රීට් කුට්ටි එසවීමේ අභියෝගයක යෙදෙන විඩියෝ පටයන්ද බෙදා ගත්තේය.
ලෝක කුසලානය සඳහා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කෙරෙන ඇතැම් උස් ගොඩනැගිලි ඉදිරිපිට රාත්‍රියේ දී නර්තනයේ යෙදෙන වීඩියෝවක් උමේෂ් පළකර තිබිණි. එය, ඔහු තැබූ අවසාන සටහන විය.
උමේෂ්ගේ ඥාති සොහොයුරු ද (ඔහුගේ නමද ලක්ෂ්මන්ය) කටාර්හි සේවය කරන අතර, උමේෂ් මියගිය බව පවසමින් ඔක්තෝබර් 27 වැනිදා ඔහුට ඇමතුමක් ලැබිණි. ඔහු හිතවත් කීපදෙනකු සමග ඉදිකිරීම් භූමියට ගියේ මරණය සිදුවූ අයුරු සොයාබැලීමටය.
‘ඒ අය අපිට කිව්වා උමේෂ් ස්කැෆෝල්ඩ් ලිෆ්ට් එකේ උඩට යමින් සිටියා, ඒක මොකක් හරි ගෑවිලා කැඩුණා, එතකොට එයා බිම වැටුණා කියලා…’ ඔහු පැවැසීය.
‘ඒ අය වැඩකරන තැන ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙනේ…’ ලක්ෂ්මන් පවසයි. ‘ඔක්කොම පරීක්ෂා කරාට පස්සේ තමයි මිනිසුන්ට වැඩකරන්න ඉඩදෙන්න තිබ්බේ….’
උමේෂ් සේවය කළ ඉදිකිරීම් සමාගම සමග සම්බන්ධ වීමට BBCයට හැකිවිය. ඔහුගේ මරණයට හේතු වූයේ ආරක්ෂාවේ මඳකමක්ය යන්න ඔවුන් දැඩි සේ ප්‍රතික්ෂේප කරයි.
‘ඔහුගේ නොසැලකිලිමත්කමේ සහ අප්රවේශමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුව ඇතැ’යි ඔවුන්ගේ ප්‍රකාශයෙහි සඳහන්ය. ‘මියගිය සේවකයා වැඩබිමේදී ඉතා නොසැලකිලිමත්වූ අතර, සෙසු සගයන් මෙන් ආරක්ෂිත කොන්දේසිවලට අනුකූලවන්නැයි ඔහුට බොහෝ වාරයක් දැනුම්දී ඇතත් පලක් නොවීය.’
කටාර්හි ලෝක කුසලානය සඳහා වන ඉදිකිරීම් ආරම්භවූ දා සිටම, සංක්‍රමණික සේවකයන් මුහුණපාන දුෂ්කර තත්ත්වන් සහ මරණයන් පිළිබඳ වාර්තාවී තිබේ.
කටාර් රජය පවසන්නේ, ‘අපගේ ව්‍යාපෘතිවල සේවය කරන සියලු සේවකයන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය සහතික කිරීමට තමා කැපවී සිටින බවකි. තමා සෞඛ්‍ය සහ ආරක්ෂක රෙගුලාසි වැඩිදියුණුකර ඇති බවට එය BBCය සමග පැවැසීය.
නමුත් ව්‍යාපාර සහ මානව හිමිකම් සම්පත් මධ්‍යස්ථානයෙන් BBCය වෙත ලබාදී ඇති නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් 140කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර තුළ සිදුවී ඇති අතර එයින් අඩක් පමණම සෞඛ්‍යය සහ ආරක්ෂාව හා සම්බන්ධ ගැටලු වන බවය. මෙහි සත්‍ය සංඛ්‍යාවන් මීට වඩා වැඩිවිය හැකි නමුත්, පළිගැනීමේ බිය ද හේතුවෙන් ඒවා වාර්තා වී නැතැයි ඔවුන් විශ්වාස කරයි.
වසර හයක කාලයක් තුළ නිකුත් කෙරුණු දකුණු ආසියාතික කම්කරුවන්ගේ මරණ සහතික දුසිමකට වඩා BBCය දැක තිබේ. ඉන් බොහෝ දෙනකුගේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ ‘මොට තුවාල රැසක්’ය. ඔවුන්ගේ පවුල් පවසන්නේ ඔවුන් තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවයි.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි









