වර්ෂ 1952 පෙබරවාරි මාසය උදාවන විට බ්‍රිතාන්‍ය කිරීටයේ මිළඟ හිමිකාරිනිය වූ එලිසබෙත් කුමරිය සිටියේ කෙන්යාවේය. එවක බ්‍රිතාන්‍යයේ රජු වූ ජෝර්ජ් VI රජු කෙන්යාවේද රජු වූ බැවින් එලිසබෙත් කුමරියට සහ ඇගේ වල්ලභයා වූ වින්ඩ්සර්හි ආදිපාද පිලිප් කුමරාට එරටදී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එලිසබෙත් කුමරිය සහ පිලිප් කුමරා කෙන්යාවට පැමිණෙනුයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය දීර්ඝ සංචාරයක් අතරතුරය. තම සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නැති නිසා හයවැනි ජෝර්ජ් රජු සිය දියණිය සහ බෑණාට මෙම දීර්ඝ සංචාරයේ යෙදීමට අවසර දුන්නේය. තරුණ එලිසබෙත් කුමරිය වන සත්ව ලෝලියකු වූ නිසා ආසියා-අප්‍රිකා කලාපයේ මාස පහක් පුරා කෙරෙන සංචාරයට ඉතසිතින් කැමැති වූවාය.
කෙන්යාවට පැමිණි කුමරියට එරට වනගත ප්‍රදේශ කරා යාමට වූයේ ලොකු හදිසියකි. නිල රාජකාරි කඩිනමින් නිමකළ ඕ පිලිප් කුමරාද කැටුව වනගත සංචාරය ආරම්භ කළාය. 1952 පෙබරවාරි 05 වැනිදා ඈ සිටියේ කෙන්යාවේ Aberdare ජාතික වනෝද්‍යානයේය. මුහුදු මට්ටමේ සිට මීටර් 1,966 (අඩි 6,450) පිහිටි Aberdare වනෝද්‍යානය ලෝපුරා ප්‍රකට වූයේ එහි වූ සුවිශේෂ කාමරයක් නිසාය. දැවැන්ත අත්තික්කා ගසක් මුදුනේ ඉදිකර තිබූ මෙම කාමරය ටී්ර ටොප් නමින් හැඳින්වූ අතර එය ප්‍රකට දඩයක්කරුවකු සහ ලේඛකයකු වූ මේජර් ජිම් කෝබට්ගේ අදහසකට අනුව ඉදිකරන ලද්දකි. ඉන්දියානු දඩයම් වේදිකාවකට සමානව ඉදිකර ඇති මෙමගින් වඩාත් සමීපව සතුන් නිරීක්ෂණය කළ හැකි වීම නිසා ඊට ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත හැකි විය. (අත්තික්කා ගසක් ලෙස සඳහන් වුවද මෙම ශාකය ඊට සමාන අප්‍රිකානු උප විශේෂයක් වීමට ඉඩ තිබේ.)
1952 පෙබරවාරි 05 වැනිදා වන සංචාරයෙන් පසු හෝටල් කාමරයට පැමිණි කුමරිය සහ ආදිපාදවරයා වෙත පැමිණි කාමර සේවකයා ඔවුන්ගේ අවශ්‍යතා සියල්ල සොයා බලා ‘සුබ රාත්‍රියක් කුමරියනි’ යැයි සුබපතා නික්ම යන ලදී. එහෙත් එම රාත්‍රිය කුමරියට පමණක් නොව, මුළු හිරු නොබසින කිරීටයටම සුවිශේෂ වූයේය. ඒ බව නොදත් එලිසබෙත් කුමරිය පසුදා (පෙබරවාරි 06) උදෑසනින් පිබිදී සිය සිනමා කැමරාව අතට ගත්තාය. තුරු මුදුන් කාමරයට පෙනෙන මානයේ සිටි අලි රංචුවක් රූපගත කරමින් සිටි ඇයට කිසිවකු කාමරයේ දොරට තඩිබාන හඬ ඇසුණේ නැත. පිලිප් කුමරා නැඟිට වහා දොර විවෘත කළාය. තැතිගත් මුහුණින් එළියේ සිටියේ ඊයේ රාත්‍රියේ තමන්ට සුබ රත්‍රියක් පැතූ කාමර සේවකයාය. ‘සුබ උදෑසනක් රැජිනියනි’ ඔහු වෙවුලන හඬින් එලිසබෙත් කුමරිය ඇමතුවේය.
හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ දැරූ තම පියා වන ජෝර්ජ් VI රජු පෙරදා රාත්‍රියේ නින්දේදී මියගොස් ඇති බවත්, තමා තවදුරටත් කුමරියක නොව බ්‍රිතාන්‍යයයේ රැජිනිය බවත් එලිසබෙත් කුමරිය දැනගත්තේ ඒ මොහොතේය. අප්‍රිකාවේ කිරීමට තිබූ රාජකීය සංචාරය අත්හිටුවූ රාජකීයයෝ වහා බ්‍රිතාන්‍යයට යාමට තීරණය කළෝය. ඒ අනුව පෙබරවාරි පස්වැනිදා රාත්‍රියේ අත්තික්කා ගසට ගොඩවූ එලිසබෙත් ඇලෙක්සැන්ඩි්රයා මේරී වින්ඩ්සර් කුමරිය දෙවැනි එලිසබෙත් රැජින වශයෙන් ගසෙන් බැස නයිරෝබි වෙත පැමිණියාය. උගන්ඩාවේ එන්ටැබේ හරහා බ්‍රිතාන්‍යයට පැමිණි දෙවැනි එලිසබෙත් රැජිනගේ ඇගේ නිල රාජාභිෂේකය පැවැත්වූයේ 1953 ජුනි 02 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහීදීය.
වර්ෂ 1921 අප්‍රේල් මස 21 වැනිදා මෙලොව එළිය දුටු එලිසබෙත් කුමරිය කුඩා කල සිටම බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සම්ප්‍රදායන් ගැන මනා අවබෝධයකින් කටයුතු කළ තැනැත්තියක වූවාය. සිය පියා වන හයවැනි ජෝර්ජ් රජු සමීපයේ ඔහුගේ රාජ්‍ය කටයුතුවලට සහාය දෙමින් කටයුතු කළ ඕ 1939 දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වන විට 13 වැනි වියේ පසු වූවාය. 1939 වසරේ එවක 13 වැනි වියේ පසුවූ එලිසබෙත් කුමරිය සහ ඇගේ සොයුරි මාග්‍රට් කුමරිය බි්රටැනියා රාජකීය නාවික විද්‍යාලයේ සංචාරයක යෙදෙන ලදී. එහිදී ඔවුන්ගේ පරිවාර නිලධාරියා වූයේ තරුණ කැඩෙට් නිලධාරියෙකි. වංශවත් පෙළපතකින් පැවැත එන පිලිප් නම්වූ මේ කැඩෙට් නිලධාරියා උපත ලැබුවේ ග්‍රීසියේ පළමුවැනි ජෝර්ජ් රජුගේ සහ ඇලිස් කුමරියගේ පුත් ඇන්ඩෘ කුමරුට දාවය. එහෙත් මවුපියන්ගේ විවාහය බිඳවැටුණු බැවින් කුඩා පිලිප් වැඩිපුරම ජීවත් වූයේ එංගලන්තය සහ වේල්සයේය. ඒ වනවිට යෞවනයේ එළිපත්තට ළඟාවී සිටි එලිසබෙත් කුමරියගේ හදවතේ මේ තරුණ කැඩෙට් නිලධාරියා ස්ථිරසාර ලෙස නවාතැන් ගන්නට ගත වූයේ කෙටි කාලයකි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදා යුරෝපය ගිනිලමින් දෙවැනි ලෝක යුද්ධය පවත්වාගෙන ගියේ මේ කාලයේය. ආරක්ෂාව තකා රජ පවුල ලන්ඩනයෙන් පිට කිරීමට හිතවතුන් උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැත. දස අත බෝම්බ පුපුරුවමින් යුද්ධය ඇවිළෙද්දී බ්‍රිතාන්‍ය රාජකීයයෝ නොදත් දෙයක් සිදුවෙමින් තිබිණි. ඒ, එලිසබෙත් කුමරිය සහ පිලිප් කුමරා අතර ලියුම් ගනුදෙනුවයි. රජ පවුලේ ආරක්ෂාවට යොදවා තිබූ ඔත්තු කරුවන් මඟහරිමින් සිදුවූ මේ ලියුම් ගනුදෙනුව යන්තම් හෝ දැන සිටියා නම් ඒ මාග්‍රට් කුමරිය පමණි.
වර්ෂ 1944දී 18 වැනි වියට එළඹි එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය හමුදාවට සම්බන්ධ වූවාය. ඒ ට්‍රක් රථ රියැදුරුවරියක සහ කාර්මික නිලධාරිනියක ලෙසිනි. අනාගත රැජිනට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවූ අතර ඇයටද වාහන යට රිංගාගෙන හරි හරියට වැඩ කරන්නට සිදුවූවාය. හමුදාවේ කාර්මික කටයුතු නිසා එලිසබෙත් කුමරිය වාහන පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූවාය. ඇය සතු වාහන එකතුව තුළ ලෝකයේ නිපදවූ දසලක්ෂ වැනි මොරිස් මයිනරයද වෙයි. ඊට විශේෂ ළැදියාවක් දැක්වූ ඇය එම රථය සැලසුම් කළ ග්‍රීක සම්භවය සහිත අලෙක්ස් ඉසිගෝනිස් හට ගෞරව නාමයක්ද පිරි නැමුවාය. වයස අවුරුදු 98ක් වන තෙක්ම ඇගේ වල්ලභයා වූ පිලිප් කුමරු පවා පැදෙව්වේ බ්‍රිතාන්‍යයයේ නිපදවූ ලෑන්ඩ් රෝවර් රථයය. මිය යාමට මාස කිහිපයකට පෙර පිලිප් කුමරා පැදවූ රියක් කාන්තාවක් පැදවූ රියක ගැටුණු අතර පොලිසිය කිසි කතාවක් නැතිව ඔහු අධිකරණය හමුවට පැමිණෙව්වේය. අවසන් ගමන යන විට පවා කුමරාගේ දේහය රැගත් පෙට්ටිය තැන්පත් කර තිබුණේ ලෑන්ඩ් රෝවර් රියකය.
1947 නොවැම්බර් 20 වැනි දින පිලිප් කුමරා සමග විවාහ වන ඕ චාල්ස්, එඩ්වර්ඩ්, ඇන්ඩෲ, යන කුමරුන් තිදෙනා සහ ඈන් කුමරියගේ මව වන්නීය. ඇගේ සැමියා වූ පිලිප් කුමරා (එඩින්බරෝහි ආදිපාදවරයා) ද බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සම්ප්‍රදායන් සුරක්ෂිත කිරීමට විශේෂ උත්සාහයක් ගත්තාය. එකී ගුණාංගය රැජින කිහිප විටකම අගය කරන ලදී. එහෙත් ඇගේ වැඩිමහල් පුතු චාල්ස් (වත්මන් බ්‍රිතාන්‍ය රජු)ගේ බිරිය වූ ඩයනා කුමාරියගේ සරල හැසිරීම් රටාව රාජකීයයන්ට නොගැළපුණු බැවින් ඈ කීප විටකදීම ඩයනා හා ගැටුම් සාදා ගත් බව නොරහසකි. එහෙත් මෑත භාගයේදී චාල්ස් කුමරාගේ කනිටු පුත් හැරි කුමරා රාජකීයත්වය හැරදැමීම උපේක්ෂාසහගතව දරා ගැනීමට ඕ සමත් වූවාය.
පිලිප් කුමරා වසර 99ක් දිවි ගෙවා 2021 අප්‍රේල් 21 වැනිදා මියගියේය. එය දෙවැනි එලිසබෙත් රැජිනගේ ජීවිතයේ විශාලතම කඩාවැටීම ලෙස රජ පවුලේ සමීපතමයෝ හඳුන්වති. ඒ සමගම ඇයගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහෙන්නට පටන්ගත් අතර ඇය සිය සාම්ප්‍රදායික මාලිගය වන බකිංහැම් මාලිගය හැරදමා ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝර් මන්දිරයේ පදිංචියට යාමටද එම තතත්වය හේතු විය. දැඩි සත්ව ලෝලිනියක වන ඈ, තමා සතු පෝනියන් සහ බල්ලන්ට දැඩි ආදරයක් දැක්වූවාය. ඇගේ මරණය දැනගත් වහාම ඇතැම් මාධ්‍ය ප්‍රශ්න කර තිබුණේ ‘රැජිනගේ සුරතල් බල්ලන් හතර දෙනා’ බලාගන්නේ කවුද යන්නයි. එතරම්ම ඇගේ සත්ව කරුණාව ලෝක ප්‍රකට කරුණක් විය.
මියයන අවස්ථාව වන විටත් එලිසබෙත් රැජින රටවල් 14ක රාජ්‍ය නායිකාව වූවාය. වත්මන් තරුණ පරපුරේ ඇත්තන් නොදැන සිටියාට 1952 පෙබරවාරි 06 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පළමු ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ 1972 මැයි 22 දින දක්වා ශ්‍රී ලංකාවේද රැජින වූයේ ඇයයි. මියයන විටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව වූ ඇය ලෝකයේ වඩාත් පැතිරුණු අධිරාජ්‍යයකට නායකත්වය සැපයූ රාජිනියයි. ඇය දෙවරක් (1953 සහ 1981) ශ්‍රී ලංකාවේ සංචාරය කළාය. 1972 වන තෙක් ලංකාවේ ඇත්තන්ට හිමිව තිබුණේ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර වන අතර එය ලෝ පුරා යාමේදී මහත් වරප්‍රසාදයක් වූ බව පැරැන්නෝ පවසති. ඒ කාලේ රැජිනට බාලදක්ෂයන්, රාජ නීතිඥයන් සිටියද අද කාලයේ ඉන්නේ ජනාධිපති බාලදක්ෂයන් සහ ජනාධිපති නීතීඥයන්ය. ඒ 1972 ව්‍යවස්ථාව මගින් අප රට බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් කළ නිසාය.
බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අවමංගල්යයන්ද චාරිත්‍ර රැසකට යටත් වේ. ඒ අනුව තවමත් ස්කොට්ලන්තයේ ඇති රාජකීය දේහය විශේෂ දුම්රියක් මගින් ලන්ඩනයට ගෙන ඒම මුලින්ම සිදුවනු ඇත. රැජිනගේ අභාවය පාර්ලිමේන්තුවේ අගමැති ඇතුළු ස්ම්භාවනීයයන්ට දැනුම් දීම සිදුවන්නේ LONDON BRIDGE HAS FALLEN නම් සාම්ප්‍රදායික යෙදුමෙනි. එමෙන්ම රැජිනගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වන වෙස්ට්මිනිස්ටර් මන්දිරයෙත්, බකිංහැම් මාලිගයේත් තැන්පත් කර මහජන ගෞරවය ලබාදීම තවත් එක් චාරිත්රයකි. අනතුරුව රාජකීය දේහය වින්ඩ්සර් කාසල්හි කිං ජෝර්ජ් VI අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කරනු ඇත. එලිසබෙත් රැජිනගේ පියාණන් වන ජෝර්ජ් VI රජු ඇතුළු රාජකීයයන්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ ඇයද මිහිදන් කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී සිය සැමියා වන පිලිප් කුමරුගේ දේහය සමීපයේ සදාකාලිකව සාමයේ සැතපීමට ඇයට ඉඩ ලැබෙනු ඇත.
චාල්ස් කුමාර තුන්වැනි චාල්ස් ලෙස රාජ්‍යත්වයට පත්කර ඇති අතර ඊළඟ පියවර ලෙස ඔහුගේ රාජාභිෂේක මංගල්‍යය පවත්වනු ඇත. ඒ අනුව 1952 සිට බ්‍රිතාන්‍යයයේ ජාතික ගීය වූ ‘God save the queen’ ගීය හෙට සිට ‘God save the king’ ලෙස නැවත වරක් වෙනස් වනු ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










