මේ ලිපිය කියවන්න ගන්නකොට ඔබ මගෙන් අහයි යකෝ මේ රටේ ප්‍රශ්නවල හැටියට ඕවත් ප්‍රශ්නද කියලා. නෑ, ඇත්තටම මේක ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද ප්‍රශ්නෙ? රටක ජාතික සත්වයා, ජාතික පුෂ්පය, ජාතික ක්‍රීඩා මේවා නම්කරන්නේ ස්ථාවරව. හිතුණු හිතුණු වෙලාවට වෙනස් කරන්න නෙවෙයි. එහෙම වෙනස් කළා කියලා ඒක රටට බලපාන්නෙ කොහොමද, මිනිසුන්ගෙ ජීවිතවලට බලපාන්නෙ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ඇත්තටම ඒකට දෙන්න උත්තරේකුත් නෑ.
එහෙම මිනිසුන්ගෙ ජීවිතවලට විශාල බලපෑමක් මේකෙන් එල්ල වෙනවා කියලා කියන්න බෑ තමයි. ඒත් මේ රට ඇයි ජාතික සත්වයාව වෙනස් කරන්නේ? එහෙම වෙනස් කරන එක ලොකු ප්‍රශ්නයක්. අපි අපේ ජාතික ක්‍රීඩාවත් වෙනස් කරපු රටක් නේ. මෙහෙම එක එක දේවල් වෙනස් කරමින් ගිහිල්ලා අන්තිමට කොහොම හරි ලංකාවෙ නමත් වෙනස් කරගත්තොත් මේ ණය කන්දරාවෙන් බේරෙන්න අපට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව එහෙම රටක් ලෝකෙ නෑ කියලා අපට කියන්න පුළුවන් නේ. ශ්‍රී ලංකාව තමයි අපෙන් ණය ගත්තේ කියලා කිව්වාම, අපේ නම වෙන මොකක් හරි වුණා නම් අපට කියන්න පුළුවන් ලෝකෙට අපේ රටේ කවුරුත් ණය අරගෙන නෑ. අපේ රට අලුත් රටක්. මේක බ්‍රෑන්ඩ් නිව් වර්ෂන් එකක්. ඒ පරණ වර්ෂන් එක. ඒක දැන් නෑ. ඉතින් කරන්න දෙයක් නෑනෙ. ඒ හින්දා ඒවා ගොන් පාට්. හැබැයි මේ කතන්දරේ ඇතුළේ වෙනම අර්ථයක් තියෙනවා. මොකක්ද මේ දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න හේතුව? ගොවියො ඉල්ලීමක් කරනවා. මිනිස්සු ඉල්ලීමක් කරනවා. මේ සතා අපේ වගා බිම් හානිකරනවා, පුදුම කරදරයක් කරන්නේ මේකා කියලා. ඒ නිසා අපිට මූ මරන්න බෑ. හානි කරන්න බෑ සතාට. හේතුව තමයි මූ ජාතික සත්වයා වීම. දඬුලේනා නිදහස් කරගන්න සහ ඌ රැකගන්න තියෙන එකම විකල්පයත් මේක ඉවත් නොකර සිටීම. අහිසංක සත්තු කී දාහක් මේකෙන් පස්සේ මැරිලා යයිද කියලා අපට අවංකව සහ වගාබිම්වල වේදනාව නොදැන කියන්න පුළුවන්. ඒත් වගාවන් විනාශ කිරීම ගැන ඒ මිනිසුන්ගෙන් ඇහුවොත් ඒ මිනිස්සු තරම් මේකෙන් පීඩා විඳින කෙනෙක් මේ ලෝකෙ නෑ. ඇත්තටම දඬුලේනා කියලා කියන්නේ දැඩි ලෙස වගාවන්ට හානි කරන සතෙක්. වගාවන්ට විතරක් නෙවෙයි, කොස් ගහට, අඹ ගහට, දෙල් ගහට, මේ විදියට බවබෝග හැදෙන ගස් කොළන් සියල්ලටම දඬුලේනා හානි කරනවා. පොල් ගහේ ඇට්ටි කාලෙදි පොල් ගෙඩිය කඩලා බිම දානවා. නොයෙක් පලතුරු ගස්වලටත් එහෙමයි. මේ විදියට දඬුලේනාගෙන් හානි සිදුවෙනකොට මිනිසුන්ට වතුපිටි දාලා අතහැරලා යන්න හිතෙන තරමට මේ ප්‍රශ්නෙ දරුණු වෙනවා. හැබැයි දඬුලේනා විතරක් නෙවෙයි. මේ විදියටම වගාවට හානි කරන තවත් සත්තු ඉන්නවා. මිනිසුන්ගෙ ජන ජීවිතය අඩාළ කරන සත්තු ඉන්නවා. ඒ කවුද කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි සමහර විට. එක්කෙනෙක් තමයි වඳුරා. දඬුලේනා තරම්ම වඳුරාගෙනුත් කරදරයි. දඬුලේනාටත් වඩා වඳුරාගෙන් කරදර වෙන්නේ රංචු පිටින් ඇවිල්ලා ගේ දොරවල තියෙන දේවල් පවා හොරකම් කරගෙන යන තැනට පත්වෙන හින්දා.
ඒ වගේ තවත් සතෙක් තමයි අලියා. හැබැයි ඊටත් වැඩිය වගාවන්ට හානි කරන සත්තු දෙදෙනෙක් විදියට මොනරා සහ ගිරවා හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි මේ සත්තුත් විවිධ කාරණා නිසා මරාදැමීමට පහර දීමට නොහැකි තැනට පත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වඳුරා ලංකාවෙ නැතත් ඉන්දියාවෙ අතිශය වන්දනාවට පාත්‍රවෙන සතෙක්. ලංකාවෙත් ඇතැම් ප්‍රදේශවල වඳුරාට යම් ගරුත්වයක්, දේවත්වයෙන් ඇදහීමක් තියෙනවා. ඒ වගේම මොනරා කියලා කියන්නේ කතරගම දෙවියන්ගේ වාහනය. මොනරු බහුලව ඉන්නේ මොනරාගල, කතරගම වගේ ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල මිනිස්සු කිසිසේත්ම වගාවන්ට මොන හානි කළත් මොනරා ප්‍රසිද්ධියේ මරාදැමීමට කැමැති වෙන්නේ නෑ. ඒ නිසා මොනරාගෙන් සිදුවෙන හානියට කරන්න දෙයක් නැති තැනට ඒ මිනිස්සු පත්වෙලා ඉවරයි.
ගිරවා කියන සතාට නම් යම් විදියකට හානි කරන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැති වුණත් ගිරවා කියන්නේ ඉතා අහිංසක පුංචි සතෙක්. ඒ වගේම අලියා මරා දැමීම මනුෂ්‍ය ඝාතනයක් හා සමාන වරදක් නිසා අලි මරන්න මිනිස්සු බයයි. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තම අපි සත්තුන්ගෙ පැත්තෙන් කතා කළාට මිනිස්සුන්ගෙ පැත්තෙන් කතා කළාම ඇත්තටම මිනිස්සු පව්. මිනිස්සු හරි අසරණයි. මිනිස්සු වගාවන් කරන්නේ, බවබෝග අස්වනුවලින් තමන්ගෙ ජීවිත සාර්ථක කරගන්න. කන්න බොන්න, අඳින්න පලඳින්න. ජීවිතේ හදාගන්න. එහෙම අවස්ථාවක් වෙනුවෙන් හීන දකින මිනිසුන්ගෙ ජීවිත උඩු යටිකුරු කරලා දානවා නම් ඒක හරි භයානක තත්ත්වයක්. ඉතින් ඒ භයානක දේ දඬුලේනා කරනවා නම් දඬුලේනාට විරුද්ධව පියවරක් ගන්න එකත් සාධාරණයි. අන්තිමට මෙහෙම එකක් තියෙනවනේ. දඬුලේනාගෙන් පස්සේ කවුද අපි ජාතික සත්වයා බවට පත්කර ගන්නේ? ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියයි, ලංකාවෙ මිනිස්සු තීරණ ගන්න විදියයි, ලංකාවෙ මිනිස්සු විශේෂයෙන්ම දේශපාලනය කරන විදියයි මේ මොහොතේ පවා ලංකාවේ දේශපාලකයො කතාකරන කියන දේවල් එක්ක ගත්තට පස්සේ අපට තියෙනවා යෝජනාවක්. මේ රටට වඩාත්ම ගැළපෙන ජාතික සත්වයා මොකාද කියන එක ගැන. ඒ ජාතික සත්වයා මොකාද කියන එක ගැන ඔබටත් විවිධ යෝජනා ඇති. අපි මේ ලිපිය සමාජ ජාලවල පළ කළාට පස්සේ අපේ ‘මව්රට’ වෙබ් අඩවියේ පළවුණාට පස්සේ අපි අපේ තියෙන සමහර ලිපි ට්විටර් ඔස්සේ ඔබට එවනකොට ඔබට පුළුවන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඔබට පුළුවන් යෝජනා කරන්න අපේ රටේ මිනිස්සුන්ගෙ ඇවතුම් පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර, සාමාන්‍ය ජීවිතේ ගතකරන ආකාරය සහ විශේෂයෙන්ම බුද්ධි මට්ටම ගැන සැලකිලිමත් වෙලා අපිට ගැළපෙන සතා මොකාද කියලා අපි යෝජනාවක් කරනවා. තරහා වෙන්න එපා. මේ දේවල් දකිනකොට මේ දේවල් ඇහෙනකොට අපට හිතෙනවා දඬුලේනා ජාතික සත්වයාගෙන් අයින් කරලා, අපි බූරුවා ලංකාවෙ ජාතික සත්වයා කළා නම් වැඩියෙන්ම ගැළපෙයි කියලා.

ජීවන පහන් තිළිණ










