ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
ඇමෙරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව තුළ පවතින ආයතනික ආයෝජන අවස්ථාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාවට SLT-MOBITEL නියෝජනය කරමින් එහි සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.
ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය, ඇමරිකානු ආයෝජන සඳහා වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙසට මෙම සාකච්ඡාව තුළදී හඳුනා ගන්නා ලදී. විශේෂයෙන්ම පසුගිය වසර තුනක පමණ කාලය තුළ, රටට අනපේක්ෂිත අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවූ අවස්ථාවන්හිදී, අත්‍යවශ්‍ය සේවාවන් හා කර්මාන්තයන්හි සම්බන්ධතාවන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා එම ක්ෂේත්‍රය සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් හිමිවී ඇති ඩිජිටල් ආර්ථිකයද, ආයෝජන සඳහා පැහැදිලි විභවයක් සහිත ක්ෂේත්‍රයක් බවට මෙහිදී දෙපාර්ශ්වය එකඟ වූහ.











