ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත්තේ තමන් සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් කිසිවකු සමග ප්‍රකාශ කොට නොමැති බවකි.
එම නිවේදනය මෙසේය.
“සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් මා කිසිවකුට පවසා නැහැ!”
සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි මම පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමි.
පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති මේ මොහොතේ මෙම අන්තර්කාලය පසු කිරීම සඳහා සුදුසුම උත්තරය වන්නේ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම බව රට හමුවේ මුල්වරට පෙන්වා දුන්නේ අප ය. මෙම යෝජනාව අප විසින් පසුගිය අප්‍රේල් 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව ඉදිරිපත් කරනු ලැබූ බවත් එතුමන් එය සුදුසු පරිදි පිළිනොගත් බවත් මෙහිදී කනගාටුවෙන් වුව සිහිපත් කරනු කැමැත්තෙමි.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ද අප පෙන්වා දුන්නේ වත්මන් පාලනයට ලැබී නැති සුජාතභාවය ඉක්මනින් ඇතිකරගත යුතු බවත් ඒ සඳහා මහජන විශ්වාසය සහ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් ඇති කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් ය. එසේ පෙන්වා දුන්නා පමණක් නොව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ‘වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවක් තුළ අර්බුද සමනය කර ගැනීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් යෝජනා 12කින් සමන්විත යෝජනාවලියක් ද පසුගිය ජූලි 28 වැනි දින ‘වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇත්තෙමු. එසේම එම අවම පොදු ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා කැඳවිය යුතු සර්වපාක්ෂික සමුළුවේදී සැලකිල්ලට ගත යුතු නිර්දේශ ඇතුළත් යෝජනා 10ක් ද අප විසින් ඒ සමග ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඉහත කී සර්වපාක්ෂික එකඟතාවයෙන් යුතු අවම පොදු ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ය. අපගේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සැකසෙන එම ‘අවම පොදු ජාතික වැඩපිළිවෙළ’ දෙස අපි විමසිලිමත්ව සිටින්නෙමු. එය ක්‍රියාත්මක කිරීම පිණිස සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට අප එක් වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.
විමල් වීරවංශ,(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022-08-07










