ලෙනාර්ඩ් වුල්ෆ් ලියූ ‘බැද්දේගම’ මිනිස්සු ජීවත් වූයේ ණය ගැනීමෙනි. ගත් ණයෙන් හේන් වගා කරන ඔවුහු, පසුව ඒ ණයට අස්වැන්න හිලව් කරති. තම දුක් මහන්සියෙන් වගා කරගන්නා සොච්චමද ඔවුනට ඉතිරි නොවේ. හම්බන්තොට රදළයෝ එදා බැද්දේගම විනාශ කොට බංකොලොත් කළහ. ඒ, රදළයන්ගේ නූතන පරපුර අද ලංකාවම බැද්දේගමක් කළහ.
‘බැද්දේගම’ කියවන ඕනෑම කෙනෙක් ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා නම් ලංකාව ගැන කියන්න තියෙන්නෙත් ඒකමය.
‘ඒ කියන්නේ ලංකාව බැද්දේගම ගානට වැටිලද?’
හරියට බැලුවොත් නම් කියන්න තියෙන්නේ ඊටත් එහා වැටිලා කියලාය. මේ සටහන ලියන මොහොතේ හද සසල කරවන පුවත් දෙකක් සමාජ ජාල තුළ සංසරණය වෙමින් තිබේ. එකක් තෙල් පෝලිමේ සිටි පියෙක් ත්‍රීරෝද රථය තුළම මියගොස් සිටිනු දැක ඒ පෝලිමේම සිටි පුතා විලාප තියමින් හඬන වීඩියෝවය.
අනෙක, දරුවාට කන්න දෙන්න යමක් නැති නිසා මවක් සිය දරුවා කැලණි ගඟට දැමූ පුවතය. පසුගියදා සමාජ ජාල තුළ මෙවැනිම ඛේදනීය පුවතක් සංසරණය විය. ‘සිය කිරිකැටි දරුවා නඩත්තු කිරීමට නොහැකි යැයි කියා ඒ දරුවා හදාගන්නට කෙනෙක් සිටිනවාද? ’කියා විමසූ පෝස්ටුවකි.
ඛේදවාචකයේ තරම එතරම්ම උග්‍රය. අද ලංකාව පත්ව ඇත්තේ මහා අර්බුදයකටය. එය රටකට කලාතුරකින් මුහුණ දෙන්නට වන අර්බුදයකි. එහෙත් මේ බිහිසුණු අර්බුදය පිළිබඳ හෝ එයින් ගොඩ එන්නේ කොහොමද කියා හෝ අංශුමාත්‍රයක දැක්මක් ලංකාවේ දේශපාලනඥයන්, ප්‍රතිපත්ති විශේෂඥයන් හා බුද්ධිමතුන් අතර හරිහැටි ඇතිවී නැත. තිබුණත්, නිසි ලෙස නිරීක්ෂණය කළ විට මෙම අර්බුදයේ සමස්තය පිළිබඳ අදහසක්, සංකල්පයක් හෝ තේරුම් ගැනීමක් ඔවුන් සතුව ඇති බවක් පෙනෙන්නට නැත.
ඇත්තටම දැන් ලංකාව සිටින්නේ එදා මෙදාතුර රටක් ලෙස වැටෙන්නට නියමිත දරුණුතම අගාධයේ ගැට්ටේය. එවැනි තත්ත්වයක් තුළ පසුගියදා විශේෂ කටයුත්තක් විපක්ෂ නායක කාර්යාලයේදී මුලුදුන්නේය. එය ‘ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය’යි. රට වැටී තිබෙන පරාජිත අර්බුදයේ තරම පිළිබඳ දිග පළල වටහාගත් ඔවුන්, වඩාත් සාධනීය සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් වෙනුවෙන් සිය ආස්ථානය ගොනු කළේය.
වික්ටර් අයිවන්, ප්‍රසන්න විතානගේ, නදී වාසලමුදලි, විරාජ් අබේරත්න, ජනක එදිරිසිංහ ඇතුළු සිවිල් නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ අදාළ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමටය. මේ සාකච්ඡාවට අවශ්‍ය දිනයක් ලබාදෙන ලෙස වික්ටර් අයිවන් මහතා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා තිබුණේ පසුගිය සතියේය. එම ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා ඒ සතියේම දිනයක් ලබා දුන්නේය. ඇත්ත වශයෙන්ම ඔහු කළේ ඒ දිනට යොදාගෙන තිබුණු වෙනත් වැඩක් අවලංගු කොට වහාම මේ කටයුත්ත වෙනුවෙන් වෙලාව වෙන් කිරීමය. ඒ විතරක් නොවේ, ඔහු තමන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටද ඊට ආරාධනා කළේය. එපමණක්ද නොව, විපක්ෂයේ සෙසු නායකයන්ටද ඔහු ආරාධනා කළේය. මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, පී. දිගම්බරන් ඇතුළු පක්ෂ නායකයන් පිරිසක්ද ඊට එක් වූයේ ඒ අනුවය.
රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.
මේ අතරතුර තවත් විශේෂ යමක් සිදුවිය. ඒ, ආණ්ඩුව නියෝජනය කළ අමාත්‍යවරයකුද එම අවස්ථාවට එක්ව සිටීමය. විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු ඇමැතිවරයකු සිටීම කාගේත් කුතුහලයට හේතු විය. ඔහු නාලක ගොඩහේවාය. නාලක ගොඩහේවා යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිශය’ සමීපතමයකු වූ අතර වියත් මග ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේද ඔහුය. ඔහුව මේ රැස්වීමට කැඳවාගෙන විත් තිබුණේ විපක්ෂ නායකවරයාගේ සමීපතම හිතවතකු විසිනි. පක්ෂය කටයුතුවලට අනවශ්‍ය විදියට මැදිහත් වන බවට පසුගිය දිනවල ඔහුට ඇතැම් පිරිස් චෝදනා එල්ල කරමින් තිබුණද නාලක ගොඩහේවා වැන්නකු මෙවැනි කටයුත්තකට කැඳවාගෙන ඒමට මුල් වූයේද ඔහු වීම විශේෂත්වයකි.
නාලක ගොඩහේවා එම ස්ථානය සිටිනවා දැකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම එම අවස්ථාවට පැමිණ සිවිල් නියෝජිතයන්ගෙද විමතියට හේතු විය.
‘මේ වෙලාවේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩ ගන්න කරන්න පුළුවන් ඕනෑම දෙයක්, ඕනෑම කැපකිරීමක් කරන්න විපක්ෂය හැටියට අපි ලෑස්තියි. හැබැයි මේක බලය ලබාගන්න ඔළුගෙඩි මාරු සෙල්ලමෙන් එහා ගියපු වැඩපිළිවෙළක් වෙන්න ඕනෙ. ඔබතුමන්ලගෙ වැඩපිළිවෙළ සම්බන්ධව අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා…’ විපක්ෂ නායකයා ඔවුන් හමුවේ කීවේය.
‘දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩඒමට අසමත්ව ඊළඟ අගාධයට ඇද වැටුණහොත් ඉක්මනින් ගොඩ ඒමට පහසු නැති අශීලාචාර තත්ත්වයකට රට ඇදවැටෙන එක වළක්වන්න බෑ….’ යන්න ඊට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අදහස විය.’
‘මේ මොහොතේ ලංකාවට අදාළ ඒ බිහිසුණු යථාර්ථය තේරුම් ගැනීමට රටේ දේශපාලන තන්ත්‍රය, ක්‍රමය හෝ රෙජීමය වෙනස් කරගැනීම වෙනුවෙන් පෙනීසිටින සටන්කාමී බලවේගයන් හෝ සමාජය තෙරුම් ගෙන ඇති බව පෙනෙන්නේ නෑ. පාලක පක්ෂයේ දූෂිත අධම ස්වරූපය නොසලකා ඔවුන් සමග එකතුවී ලංකාව ඊළඟ අගාධයකට ඇදවැටීම වළකා ගනිමින් ලංකාව දැන් සිටින අගාධයෙන්ද ගොඩගැනීම සඳහා ක්‍රියා කළ යුතු විශේෂ මොහොතක් මේක…’ වික්ටර් අයිවන් සිය වැඩපිළිවෙළ පැහැදිලි කළේය.
‘ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළේ සියලු චෝදනා අදහස්වලට 100%ක් අපි එකඟයි. හැබැයි මමත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. ඔබතුමන්ලා දන්නවා මේ ආණ්ඩුවට කිසිම සද්භාවයක් නෑ. මෙයාලට ඕනේ ගේම් ගහලා තමන්ගේ බලය රැකගන්න විතරයි. මේ රට මරණාසන්න මොහොතකට තල්ලු වෙලා තියෙනවා. එහෙම තියෙද්දිත් මේ අය ඔළුගෙඩි මාරු කර කර, පුටු මාරු කර කර, තනතුරු මාරු කර කර සෙල්ලම් කරමින් ඉන්නවා. ඔබතුමන්ලා දන්නා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. ඒ ඉල්ලීම අනුව රාජපක්ෂලා බිත්තියට හේත්තු වෙලා හිටියෙ. හැබැයි ඊට පස්සේ අද වෙලා තියෙන දේ ඔබතුමන්ලා දන්නවා….’ විපක්ෂ නායකවරයා කීවේය.
‘ක්‍රමය වෙනස් කිරීම, රෙජීමය වෙනස් කිරීම වැනි ඕනෑම දෙයක් සිදුවිය යුත්තේ මූලික අරමුණට හානියක් නොවන මේ විශේෂ මොහොතේදී ලංකාවට දරාගත හැකි ව්‍යවස්ථාමය රාමුවක් තුළ. ඒ නිසා මේ වෙලාවේ සියලු පක්ෂ ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුමයි…’ නදී වාසලමුදලි කීවේය.’
තර්ක විතර්ක, අදහස් මැදින් පැය තුනකට ආසන්න කාලයක් පළමු වටයේ සාකච්ඡාවක් පැවැත්විණි. වඩාත් වැදගත් කාරණාව වූයේ ආසන්නයේම නැවත දිනයක මේ රැස්වීමට දින වෙන්කර ගැනීමය. ඒ අනුව පසුගිය සඳුදාද ඔවුහු විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූහ. එයද පැය 03කට ආසන්න කාලයක් පුළුල්ව සාකච්ඡාවට ගැනුණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාව වඩාත් පුළුල් සහ විධිමත් මෙන්ම අර්ථාන්විත වූ බව ඔවුන්ගේ විශ්වාසය විය. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා එම ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිගත්තා පමණක් නොව එම ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන දැනුවත් කිරීම සඳහා වඩා පුළුල් සාකච්ඡාවක් කැඳවීමටද ක්‍රියා කළේය. එපමණක් නොව, ‘ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය’ට මහලේකම් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේම ආරම්භ කිරීමට විපක්ෂ නායකවරයා උපදෙස් දුන්නේය.
මේ අතිශයින් සාධනීය තත්ත්වයකි. විශේෂයෙන්ම ඇල්මැරුණු විපක්ෂයක භූමිකාව වෙනුවට, රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව වගකීම් සහගත විපක්ෂයක භූමිකාව මේ මොහොතේ විපක්ෂ නායකවරයා සිදුකරමින් සිටීම ප්‍රශංසා කටයුතුය.
‘ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය’ සිය ප්‍රතිසංස්කරණ වැඩසටහන සැලසුම් කොට රාමුගත කර තිබෙනුයේ අර්බුදයේ රට දැන් මුහුණපා සිටින සුවිශේෂ මොහොත සැලකිල්ලට ගනිමිනි. ලංකාව ප්‍රතිනිර්මාණය කිරීම පරමාර්ථ කරගනිමින්’ සංක්ෂිප්ත ප්‍රතිසංස්කරණ වැඩ සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කොට තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ අන්තර්වාර සර්ව පාක්ෂික පාලන රාමුවකට ගැනීමට හේතුවන ලෙස හා ඒ මගින් එකට එකතුවීමත් ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක්ද අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කළ හැකි ආකාරයට එය සමන්විතය.
ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලබා ගැනීම අභියෝගයක්ව ඇති මෙම තත්ත්වය තුළ, කිරි තේ වෙනුවට ප්ලේන් ටී පානයට හුරුවෙමින් සිටී. අවාසනාවට දැන් බොහෝ තැන්වල සීනිත් නැත. LP ගෑස් වෙනුවට දර, පොල්කටු ලිප් හෝ ජීව වායු ලිප් වෙත යොමුවීම හෝ ආපනශාලාවකින් ආහාර ගැනීමත්, විදුලිය සඳහා ඇති හැකියාව අනුව සූර්ය බලශක්තිය වෙත යොමුවීම හෝ අඳුරේ සිටීමත් ඇතුළුව ආදේශක පසුපස ලුහුබැඳීමට ජනතාවට සිදුව තිබේ. අවාසනාවට දැන් බොහෝ කඩ වැසී ගොස්ය. පවතින වාතාවරණය පවුලක පෝෂණයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටද දැඩි බලපෑම් එල්ලකර ඇති බව ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති. දරා ගන්නට බැරි තරම් වේගයකින් මන්දපෝෂණය ඉහළ ගොස් ඇත. හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක සේයාවක්වත් නැති මිනිස්සු පාස්පෝට් පෝලිම්වල ‘රටින් පිටවීමේ සිහින’ දකිමින් සිටී.
සියලු දෙනාම අනාගතය පිළිබඳ අන්ධකාර සිහිනයක ගිලී සිටී. එකී අන්ධකාර කෙවෙනිය මත රිදී රේඛාවක් සොයාගැනීම කාගේත් වගකීමයි.
‘ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය’ට එම රිදී රේඛාව විය හැකිද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.
විශේෂ වාර්තාකරුවකු විසිනි









