මෙරට මහ බැංකු අධිපති ධුරය සඳහා වන වසර 06ක පූර්ණ කාල සීමාවම ධුරයේ කටයුතු කිරීමට තමා කැමැත්තෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ බව ඔහු කියා සිටියේ විදෙස් පුවත් සේවයක් සමඟ කළ සාකච්ඡාවක දී යි.
“දිගටම වැඩ කරන්න මම මගේ කැමැත්ත ප්‍රකාශ කළා. මම වැඩ භාරගන්නකොට මාස දෙකක් විතරක් සේවය කරලා ආපහු යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණා නම් මම මේක භාරගන්නෙත් නැහැ. මේක මාස දෙකකින් විසඳගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙය හොඳ අතට හැරෙන්නට පෙර ඉක්මනටම මේ දේවල් තවත් නරක අතට හැරේවි” යි ඔහු කියනවා.
ආචාර්ය නන්දලාල් වීරසිංහ කියන්නේ මීට පෙරදී ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙතින් සහායක් ලබා ගැනීමට උත්සාහ කළේ නම් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අවුලෙන් මිදිය හැකිව තිබූ බවයි.
ශ්‍රී ලංකාව බාහිර උපකාර ලබාගැනීමට ප්‍රමාද වීම වරදක් බව ඔහු පවසනවා.
“IMF එකට යන්න ගත්තු තීරණය කලින්ම ගත්තා නම්, ණය පියවීමේ ක්‍රියාවලිය අවුරුද්දකට කලින් ආරම්භ කළා නම්, මේ වගේ දුක් කරදරවලින් තොරව තත්ත්වය කළමනාකරණය කරගන්න තිබුණා” යි ඔහු පවසා තිබෙනවා.










