පෑන් ඒෂියා බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer) ලෙස නලින් එදිරිසිංහ මහතා පසුගිය අප්‍රේල් 26 වැනිදා පත්කර ඇති අතර එය බැංකුවේ වේගවත් වර්ධනය සඳහා වූ උපායමාර්ගික ගමන් මගේ සංධිස්ථානයක් සනිටුහන් කරන අවස්ථාවකි.
බැංකු ක්‍ෂේත්‍රයේ ගෞරවාදරයට පාත්‍රවූ ප්‍රවීණයකු වන නලින් එදිරිසිංහ මහතා වසර 35කට වැඩි බැංකු සේවා පළපුරුද්දක් ඇති ප්‍රවීණ බැංකුකරුවෙකි. ණය, ප්‍රතිසංවිධානය, ව්‍යාපෘති මූල්‍යකරණය සහ ශාඛා මෙහෙයුම් ඇතුළු පාරිභෝගික, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණය පිළිබඳ පුළුල් පලපුරුද්දක් ඔහු සතුව ඇත. 2000 වසරේ සිට පෑන් ඒෂියා බැංකුවේ සේවය කරන ඔහු වසර ගණනාවක් පුරා බැංකුව ලබා ඇති සාර්ථකත්වයේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස කටයුතු කළේය. 1987 දී කොමර්ෂල් බැංකුවෙන් සිය බැංකු ජීවිතය ආරම්භ කළ නලින් එදිරිසිංහ මහතා පසුව 1998දී NDB බැංකුවට සම්බන්ධ වී කටයුතු කළේය.
නලින් එදිරිසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ MSc උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වරලත් සාමාජිකයකු වන අතර සහතික ලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේද වරලත් සාමාජිකයෙකි. එසේම ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන ඒ මහතා ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනයේ ජීවිත සහ ව්‍යාපාර පිළිබඳ සහතික ලත් පුහුණුකරුවකුද වේ.
ඔහු මේ වන විට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ බැංකු අනුකමිටුවේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ශාස්ත්‍රීය සභාවේ සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරයි.











