• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු පාතාලය සන්ධානගත වෙයි, මධුෂ්ගෙ තැනට ආපු අලුත්ම ගෝඩ්ෆාදර් යුරෝපයේ සිට වැඩ අරඹයි…

June 14, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
කුඩු පාතාලය සන්ධානගත වෙයි, මධුෂ්ගෙ තැනට ආපු අලුත්ම ගෝඩ්ෆාදර් යුරෝපයේ සිට වැඩ අරඹයි…
Share on WhatsAppShare on Facebook

රට අස්ථාවර වෙමින් දේශපාලනඥයන් කුලල් කාගනිමින් සිටියදී බෙදී වෙන්වී ගහමරා ගනිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නම් දැන් සිටින්නේ සන්ධානගතවය. ඒ, සිය මත්කුඩු ජාලයට ඇති අභියෝගවලට මුහුණ දීම අරමුණුකරගෙනය. රටින් පලා ගොස් ඩුබායි, ප්‍රංශය, ඉන්දියාව, එංගලන්තය, ඉතාලිය වැනි රටවල ජීවත්වෙමින් මත්කුඩු ජාවරම මෙහෙයවන ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් මෙසේ සන්ධානගතව ඇත්තේ මෙරට මත්කුඩු ජාලයේ ආරම්භක සාමාජිකයෙක් ලෙස සැලකෙන ප්‍රබලයකුගේ සිතේ කාලයක් තිස්සේ පැලපැදියම් වී තිබුණු අරමුණක් සාක්ෂාත් කරගනිමිනි. ඔහු දැන් ජීවත්වන්නේ යුරෝපයේය. එරට පුරවැසිභාවයද ලබා සිටින ඔහු, අවන්හලක් සහ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් එරට පවත්වාගෙන යන්නේය. එසේම ඔහුට මෙරටද ව්‍යාපාර බොහොමයකි. කුඩු සල්ලි සුදු කරන්නේ ඔහු එම ව්‍යාපාර හරහාය. මෙරට ඇති බොහෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ වෙනත් පුද්ගලයන්ගේ නමිනි. මෙරට ඔහුට අයත් විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානය ඇත්තේ කොළඹ කොටුවේය. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ බොහෝ දෙනෙක් පිට රට සවාරි යන විට මේ තැනට යන්නට කිසිසේත්ම අමතක නොකරයි. ඒ, එතැනින් ඔවුන්ට වැඩි වාසි ලැබෙන බැවිනි.

ඔහුට හිතවත් පොලිසියේ සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන් බොහෝය. ඔහුට දැවැන්ත දේශපාලන සම්බන්ධකම්ද නැතුවාම නොවේ. අරලියගහ මන්දිරයේ මෙන්ම ජනාධිපති මන්දිරයේද එක් එක් වකවානුවලදී ඔහුට දොරගුළු ඇරී තිබුණේය. මැතිවරණවලදී අපේක්ෂකත්වයට ඔහුගේ නම කියැවුණු වාර ගණනද බොහෝය. ඒ තරමට ඔහු දේශපාලනඥයන්ට ඉතා කිට්ටුය. ඒ දේශපාලනඥයන්ට ඔහු සලකන්නේ කෝටි ගණනින් වන බැවිනි. ඇතැම් දේශපාලනඥයන්ට ඔහු ගේ දොර මිලට ගෙන දෙන්නේ සුවිසල් තට්ටු නිවාස සංකීර්ණවලිනි. හැබැයි මෙම පුද්ගලයා මෙරට නැතැයි කියා ඔහුගේ බලය වියැකී ගොස් නැත. හිටපු දේශපාලනඥයන් වගේම අද ප්‍රබල තත්ත්වයේ සිටින දේශපාලනඥයන්ද එසේ ඔහුව යුරෝපයේ හෝටල්වල හමුවූ වාර ගණන අපමණය. ඒ ඔහුට ඇති පාතාල බලය දේශපාලනඥයන්ට ඇවැසි නිසාද? නැතිනම් ඔහු කළු සල්ලි ඡන්ද මැෂිමක් නිසාදැයි දන්නේ ඔවුන් පමණි.

මොහු ඔළුවෙන් වැඩ පෙන්වන වැඩකරුවෙකි. අදටත් ඔහුගේ නමින් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් පොලිස් පොත්වල ලියැවී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වරක් ඔහුට එරෙහිව වූ’මුදල් වංචා විමර්ශනයකට අදාළව ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් නිකුත්කර ගන්නේ දුටු තැන ඔහුව අල්ලන්නටය. එහෙත් එම රතු නිවේදනය වැඩි කලක් ජාත්‍යන්තර පොලීසිය මගින් ප්‍රසිද්ධ නොකළේය. දවසකින් දෙකෙකින් ගලවා දැමුවේය. ඒ, ඔහු තමාගේ නිර්දෝෂීභාවය සටකපට ලෙස ඉදිරිපත් කිරීම නිසාය.

පාතාලයේ ගෝඩ් ෆාදර්ලා රැසක් වරින් වර මෙරට බිහිවුවත් සැබෑ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන්නේ මෙම පුද්ගලයාය. අද මුළු කුඩු ජාලයම ඇත්තේ ඔහු අතේය. එකිනෙකා මරාගනිමින් සිටින කුඩු ජාවාරම්කරුවන් සන්ධානගත කිරීමට මොහු උත්සාහ දැරුවේ වරක් දෙවරක් නොව. යහපාලන රජය සමයේදී ඔහු මත්කුඩු ජාවාරම්කරුවන් එක අරමුණක් වෙනුවෙන් සන්ධානගත කර තම ජාවාරමට ඇති බාධා ඉවත් කිරීමට ගත් උත්සාහයන් බොහෝය. ඒ වන විට මාකඳුරේ මධුෂ් ඩුබායිහි රැඳෙමින් මෙරට පාතාලය සහ මත්කුඩු ජාලය හැසිරවීමේ බලය සියතට ගනිමින් සිටියේය. මධුෂ්ගේ බලය හමුවේ ඒ වන විට බොහෝ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම නමගිය පාතාල අපරාධකරුවෝ සිටියේ අනාතවය. මධුෂ් වටා විශාල බලයක් ගොඩනැගී තිබුණේය. ඒ නිසා මොහුගේ උත්සාහය වතුරේ යන්නේ මධුෂ් ඊට එරෙහි වීම නිසාය. එදා මධුෂ් පවා මොහුට අභියෝග කළේය. මධුෂ්ගේ ආයුෂ කෙටි වෙමින් ඩුබායි පොලීසියට ඔහුව කොටුවන්නේද ඒ නිසාමය. අදටත් කවුරුත් නොදන්නා මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දීමේ මෙහෙයුම පිටුපස මොහු සිටියේය. ඒ කිරුළපන මොරිල් සමග එක්වය.

මධුෂ්ගෙන් පසු ඔහුට අභියෝගයක් වන්නට කිසිවකුත් නොවීය. මත්කුඩු ජාවාරමේ නිරතව සිටි මහා පරිමාණ ජාවාරම්කරුවන්ට වූ’එකම අභියෝගය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත්, නාවික හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බළකායත්ය. විශේෂයෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ඔවුන්ට මහත් හිසරදයක් විය. ඒ, එම නිලධාරීන් දෙතුන් දෙනා දිගට හරහට ගිය අවුරුදු දෙක තුනේ කිලෝ 1000ට වැඩි මත්කුඩු අල්ලා මත්කුඩු ජාලය බිඳවැට්ටවීමට දැවැන්ත මෙහෙයුම් කිහිපයක් සිදුකිරීම නිසාය. ඒ නිසාම මත්කුඩු ජාවාරම්කරුවෝ එක්ව ඒ එක් නිලධාරියකුට වැඩක් දුන්නේ සැලසුම්සහගතවය. ඒ නිසාම එම නිලධාරියාට අවුරුද්දකට වැඩි කාලයක් නිකරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ රැඳී සිටින්නට සිදුවිය. එම නිලධාරියාගේ ස්ථානාධිපතිවරයාට ජීවිත තර්ජන පවා දිගින් දිගටම අවේය. ඔහුවත් හිරේ විලංගුවේ දැමීමට මත්කුඩු ජාවාරම්කරුවෝ සැලසුම් කළෝය. එහෙත් ඔහුව කොටුකර ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවීය. අවසානයේ ඔහු පොලීසියෙන් ඉවත් වන්නේ පොලීසියෙන් ඔහුට රැකවරණයක් නොලැබුණු වටපිටාවක් හමුවේ සිය අඹුදරුවන්ගේ ආරක්ෂාව පතාය. ඒ යැයි කියා ඔහුට ඇති තර්ජනය තවමත් පහව ගොස් නැත. ඔහුට සැබෑ තර්ජනය ඇත්තේ දැන්ය. ඒ, සන්ධානගතවූ’මත්කුඩු ජාවාරම්කරුවන් සිය මත්කුඩු ජාලය බිඳ දැමීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් චිකාගෝ ක්‍රමයට පළිගන්නට පටන්ගෙන ඇති බැවිනි.

මොහුගේ අරමුණ වූයේත් එයයි. විසිරී සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන්ව මොහු රැස්කරන්නට පටන්ගන්නේ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ පොලීසිය අසරණව සිටිනු දැකීමේනි. දේශපාලනඥයන් රකිනවා වෙනුවට පොලීසියට වෙන වැඩක් දැන් නැත. මහා මුහුදට ගොස් කුඩු අල්ලන්නට තියා ගමේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා යන්නට වාහනයට ඉන්ධන ටිකත් පොලීසියට දැන් නැති තරම්ය. මෙය හොඳම අවස්ථාවක් සේ සලකා මොහු විසින් එකිනෙකා මරාගනිමින් සිටින කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ කිරීමේ වගකීම පවරන්නේ රූබන්ටය. ප්‍රංශයේ ජීවත්වන රූබන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයෙකි. එසේම මොහුගේ මත්කුඩු ජාලයේ ක්‍රියාකාරිකයා වන්නේද ඔහුය.

මොරිල් ආරක්ෂිතව ජීවත් වන්නේ ඩුබායිවලය. ඉතාලියේත්, ප්‍රංශයේත් නිතර සැරිසරති. මොරිල්ගේ දියණියගේ විවහාය පවා ඔහු සැමරුවේ ඩුබායිහි ලොකු හෝටලයකදීය. ඒ සඳහා මෙරටින්ද පිරිසක් සහභාගි වී සිටියහ. මොරිල් සහ මේ පුද්ගලයා මිතුරන්ය. කුඩු ජාවාරම්කරුවන් සන්ධානගත කිරීමේ මෙහෙයුමට මොරිල්ද සම්බන්ධ වන්නේ ප්‍රංශයේ හෝටලයකදී මොහු සහ රූබන්ව මුණගැසෙමිනි. බුද්ධි අංශවලට පවා ඒ ගැන ලැබී ඇති තොරතුරු බොහෝය.

අනතුරුව අදහස් හුවමාරු වන්නේ ප්‍රංශ සහ ඉතාලිය අතර ඇති සීමාවේ ජීවත්වන කුඩු අංජු සමගිනි. ගොනා කෝවිලේ අංජු නමැති පාතාලයේ ප්‍රබලයා ඔහුය. අංජුද එරට ජීවත්වන්නේ සිය බිරිය හා දරුවන් සමගිනි. ඉතාලියේ වෙසෙන දකුණේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්ගම විදුර, ඩුබායිහි රැඳී සිටින මිදිගම හරක් කටා, කීර්ති, ඩුබායිහි සිය බිරිය සහ දරුවන් සමග ජීවත්වන කොස්ගොඩ සුජී ඇතුළු ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් සමග මෙන්ම ඉන්දියාවේ හිර ගෙදරක මේ වන විට සිටින ගුණා, පූකුඩුකන්නා ඇතුළු ප්‍රධාන ජාවාරම්කරුන් සමගින්ද ඒ අතර අදහස් හුවමාරුවකින් පසු මොහු සියලු ප්‍රධාන ජාවාරම්කරුවන් සන්ධානගත කර ගත්තේ මත්කුඩු ජාවාරම වෙනුවෙන් මරාගැනිල්ල වෙනුවට තමන්ට ඇති බාධා ඉවත්කර නිදහසේ ජාවාරම කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස්කර ගන්නටය. ඒ අනුව ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ පාවාදෙන්නන්ව නිහඬ කිරීම මගින් පාවාදෙන්නන්ගේ ඉරණම තීන්දු වන ආකාරය ගැන භීතියක් පැතිරවීමය.

කොළඹ බැස්ටියන් මාවතේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී ඉකුත් 31 වැනිදා මහා දවාලයේ ටී-56 ගිනි අවියක් පත්තුවන්නේ මේ අතරය. එහිදී එක් අයෙක් ඝාතනය වෙමින් දෙදෙනෙක් තුවාල ලැබීය. ඔවුන් හිටපු කමාන්ඩෝ භටයන්ය. එසේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ කොළඹ අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත ගම්බිම් බලා යෑමට සූදානමින් බස් නැවතුම්පොළ අසල රැඳී සිටියදීය. මෙම සෙබළු තිදෙනා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන් නොවීය. නඩු කටයුත්තක් පවා ඔවුන්ට එරෙහිව පවතින්නේ කොළඹ 07 අවන්හලක සේවය කරමින් සිටියදී වැටුප් නොගෙවීමේ ප්‍රශ්නයකට පුටු මේස කුඩු කිරීමක් සම්න්ධයෙනි. එම නඩුව ඇදීයන්නේ වසර දෙක තුනක් තිස්සේය. ඒ නිසා පොලීසිය මුලින් සැකකරන්නේ අවන්හලේ ගැටලුව හා මෙම වෙඩිතැබීම අතර සම්බන්ධයක් තිබේදැයි කියාය. ඒ ගැන ගැඹුරින් විමර්ශනයක් සිදුවෙමින් තිබියදී ජුනි 03 වැනිදා අලුත්ගම මොරගොල්ලේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වන්නේ තැඹිලි වෙළෙන්දෙකි. ඒ ඔහු ගමන් කරමින් සිටි කුඩා ලොරි රථයක් තුළදීය. ගෙවල් ගානේ ගොස් තැඹිලි කඩා ඒවා තමාට අයත් ලොරි රථයේ දමාගෙන ගොස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතවූ මෙම වෙළෙන්දාගේ ඝාතනය තවත් එක් අපරාධයක් ලෙස බැලූ’බැල්මට පෙනී ගියද ඔහුගේ ඝාතනය ඊට එහා ගිය අපරාධයක් බව පෙනී යන්නේ ඒ ගැන ගැඹුරින් කළ විමර්ශනයකදීය. ඒ ඝාතනය වූ තැඹිලි වෙළෙන්දා මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් වූ’නඩුවක රජයේ සාක්ෂිකරුවෙක් වූ’බැවිණි. ඔහු සාක්ෂිකරුවෙක් වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකගේ සම්බන්ධයක් ඇති මත්ද්‍රව්‍ය නඩුවක වීම විශේෂත්වයකි.

එම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පමණක් 16 දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. මත්කුඩු ජාවාරමෙන් ඔවුන් උපයාගත් බව කියන කෝටි ගණනක දේපොළ මෙන්ම මුදල්ද සොයාගත්තේය. පාතාලයට එම නිලධාරීන් ගිනි අවි අලෙවි කරන බවද හෙළිවිය. ඒ අනුව සඟවා තිබුණු ගිනි අවි රැසක්ම සොයා ගත්තේය. මෙම නිලධාරීන් 2020 වසරේ අප්‍රේල් 04 වැනිදා මාතර සිට මිනුවන්ගොඩට හෙරොයින් කිලෝ 130ක් ප්‍රවාහනය කළ බවද කියැවිණි. හැබැයි එම නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ නම් එය මත්කුඩු ජාලයක් හෙළිකර ගැනීමට කෙරුණු උපක්‍රමශීලී වැටලීමක් බවකි. කෙසේ වෙතත් එම වකවානුවේදී කොවිඩ් ව්‍යාප්තිය අස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වත්තල මහබාගේදී හෙරොයින් කිලෝ 243ක් අල්ලාගත්තේය. ඒ, ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසක් විසිනි. මෙම නිලධාරීන්ට එම හෙරොයින්වලින්ද කිලෝ 43ක්ද අතුරුදන්ව තිබුණු බවද කියැවිණි.

මෙම වැටලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම හෙරොයින් තොගය ඉරාන බෝට්ටුවකින් ගැඹුරු මුහුදේදී රැගෙන ගොඩබිමට පැමිණි යාත්‍රාව හෝ එම යාත්‍රාවේ සිටි පිරිස් අල්ලන්නට ගියේ නැත. ඒ ඇතැම් විට ඔවුන් එම වැටලීමට සහාය දුන් නිසා විය හැකිය. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට නිදහසේ ඉන්නට ඉඩක් නොවීය. බෝට්ටුව පැදවූ’පුද්ගලයා මෙන්ම හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන ආ කිහිප දෙනෙක්ම ඇල්ලුවේය. ඒ අයගෙන් දෙදෙනක් රජයේ සාක්ෂිකරුවන් කරන්නට සිදුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ශක්තිමත් සාක්ෂියක් ලෙසිනි. එම සාක්ෂිකරුවන් අතර තැඹිලි වෙළෙන්දාද සිටියේය.

තැඹිලි වෙළෙන්දා අලුත්ගමදී වෙඩික්කරුවෙක්ගේ ගොදුරක් බවට පත්වන විට කොළඹ බැස්ටියන් මාවතේදී පත්තු වූ’වෙඩිල්ලේ සැඟවුණු කතාවද එළියට ආවේය. එහිදී පෙනී යන්නේ ඝාතන ඉලක්කය කමාන්ඩෝ භටයින් නොව, තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා බවය. එදා තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා අලුත්කඩේ අධිකරණයේ ඔහුට එරෙහිව විභාගවන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණීමට නියමිතව සිට ඇත. එහෙත් ඔහු එදින පැමිණ නැත. ඔහු යැයි සිතා වෙඩිතබා ඇත්තේ කමන්ඩෝ භටයන්ටය. එසේ වැරදීමක් සිදුවන්නේ වෙඩිකා මියගිය කමාන්ඩෝ භටයා තැඹිලි වෙළෙන්දාගේ මස්සිනාගේ හැඩරුව හා සමාන අයෙක් වීමය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ නම ගෑවුණු මත්කුඩු තොගය මහ මුහුදෙන් ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ ස්කීපර් ඔහුය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහි නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවා වන්නේද ඔහුය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ නම ගෑවුණු මත්කුඩු ජාවාරම පිටුපස දකුණේ ප්‍රබල අපරාධකරුවෙක් වූ’පොඩි ලැසීගේද නම ගෑවී ඇත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බූස්සේ සිටි ලැසීව අධිකරණ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේද ඒ නිසාය. අවසානයේදී ලැසී නැවතත් බූස්සට යන්නේ එම විමර්ශනය භාරව සිටින සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන්ගේ ජීවිතයට තර්ජනයක් ගෙන එමිනි. දැන් ඔහුට සිදුව ඇත්තේ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවක් ඇතිව සිටින්නටය.

එම නිලධාරියාට එසේ ආරක්ෂාව ලැබුණද තැඹිලි වෙළෙන්දාට හෝ ඔහුගේ මස්සිනාට නිසි ආරක්ෂාවක් නොවීය. තැඹිලි වෙළෙන්දා ඝාතනයට ලක්වන්නේ ඒ නිසාය. එය එතැනින් අවසන් වන්නේ නැත. ඊළඟ වෙඩිල්ල එදිනම පත්තුවන්නේ පානදුර නිර්මල මාවතේදීය. එහිදී ඝාතනය වන්නේ පානදුරේ කුඩු සලිඳු සමග මත්කුඩඩු ජාවාරමේ නිරතව සිටියෙකි. කුඩු සලිඳුගේ මත්කුඩු තොගයක් පසුගිය කාලයේ පොලිසියට හසුවන අතර එම මත්කුඩු තොගය අල්ලන්නට පොලීසියට ඔත්තුව දුන්නේ යැයි කියන්නේ ඔහුය. චිකාගෝ ක්‍රමයට ඔහුව මහ දවාලේ ඝාතනය වන්නේ ඒ නිසා බව පොලීසියේ විශ්වාසයයි.

කුඩු සලිඳු පොරක් වන්නේ කළුතරින් බිහිවූ’හිටපු ඇමැතිවරයකුගේ ආශීර්වාදයෙනි. පොඩියට කුඩු ජාවාරමේ නිරතව සිටි ඔහු දැන් ලොකු පොරක්ය. ඩුබායිහි රැඳී සිටිමින් මිනී මරමින් මෙරටට කුඩු එවන්නේ කිලෝ සිය ගණනින්ය. ආරක්ෂක අංශවල ලොකු ලොක්කන්වද ඉතා කිට්ටුවෙන් ඔහු ඇසුරු කරන බව ප්‍රසිද්ධ රහසකි. පානදුරේදී ඔහුගේ සැලසුමකට අනුව මාළුකාරයෙක් ඉකුත් වසරේ ඝාතනය වූ’ විට වෙඩික්කරුව පොලීසියට අල්ලන්නට ඉඩ නොතියා බෝට්ටුවකින් ඔහුව ඉන්දියාවට පන්නන්නේ මේ ලොක්කෙකුගේ ආශීර්වාදය ඇතිව බව පොලීසියේ බොහෝ අය කියන කතාවකි. එම ලොක්කාට ඇති බලපුළුවන්කාරකම නිසා අදටත් ඔහුට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.

කුඩු සලිඳු මත්කුඩු කිලෝ සිය ගණන් රට පුරා බෙදා හැරියේ පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියැදුරකුගේ සහායෙනි. ඒ රෝහල් ගිලන් රථයේ සඟවාගෙනය. ඒ බව පොලීසිය දැන ගිලන් රථ රියැදුරා යොදාගනිමින් සලිඳුගේ මත්කුඩු තොග පිටින් අල්ලන්නට ගත්තේය. ගිලන් රථ රියැදුරාට රොහල් පරීශ්‍රෙය්දීම මෑතකදී වෙඩි තැබුවේ ඒ නිසාය. එදා ඔහුගේ වෙලාවේ හොඳකම නිසා වෙඩි පත්තු නොවීය. අදටත් ඔහු ජීවතුන් අතර සිටින්නේ ඒ නිසාය.

කුඩු ජාවාරම ගැන ඔත්තු ලබාදෙමින් සාක්ෂිකරුවන් වූ’අය ඝාතන රැල්ල එතැනින් නිමා වූයේ නැත. ජුනි 04 වැනිදා රාත්‍රියේ තවත් ඝාතනයක් වාර්තා වන්නේ අහංගමිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැලිගමදී ඉකුත් වසරේ ජුනි මාසයේ අල්ලාගන්නා මත්කුඩු කිලෝ 219ක් ගොඩබිමට රැගෙන පැමිණි යාත්‍රාවක හිමිකරු වූයේ ඔහුය. ‘හරක් කටා’ නමැති ජාවාරම්කරුට අයත් එම මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අල්ලන්නේ කල්තියා ලද තොරතුරකට අනුවය. මත්කුඩු තොගය ඉරාන නෞකාවකින් රැගෙන විත් ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවකට පටවා ගොඩබිමට රැගෙනවිත් තිබුණි. ඒ සියලු ක්‍රියාවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරීක්ෂණයට ලක්ව තිබුණි. හරක් කටා සැක කරන්නට වූයේ බෝට්ටුකරු ලබාදුන් ඔත්තුවකින් මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අල්ලන්නට ඇතැයි කියාය. අවසානයේදී ඔහු වෙඩි කා මරුමුවට පත්වන්නේ රටින් පැන සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගත වීමත් සමග සිදුවන තවත් එක් ඝාතනයක් ලෙසිනි.

ඊට පසුදා තංගල්ලේදී ඝාතනය වන්නේ ඔහුගේ මිතුරෙකි. කැබ් රථයකින් සිය මිතුරන් දෙදෙනෙක් සමග තංගල්ල – කතරගම මාර්ගයේ ගමන් කරමින් සිටි ඔහුව ඉලක්ක කර වෙඩි තබන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙකි. හරියටම ඔහු ඉලක්කය ගන්නේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ’වෙඩිතැබීම් හා සමපාත වෙමිනි. විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ ඔහුද මත්කුඩු නඩුවක සාක්ෂිකරුවෙක් බවය. 2019 අවුරුද්දේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව ඉරාන ජාතිකයන් පිරිසක් සමග මහ මුහුදේදී හෙරොයින් කිලෝ 300කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගත්තේය. හොරොයින් කිලෝ 280ක් සහ අයිස් කිලෝ 115ක් එහි තිබී ඇත. හරක් කටාගේ මෙහෙයුමකට අනුව එවන ලද එම මත්කුඩු තොගය භාර ගැනීමට සිටියේ යැයි කියැවෙන්නේ තංගල්ලේදී ඝාතනය වූ’පුද්ගලයාය. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඝාතනය වන විට මත්කුඩු නඩුවක සාක්ෂිකරුවෙක් ලෙස සිටි බවද කියති.

බෙන්තොට පැත්තේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් කොළඹ පුද්ගලයකුගේ නමින් මිලදී ගත් මෝටර් රථයකින් පැමිණ 05 වැනිදා ඔහුව ඝාතනය කිරීමෙන් පසු නැවතත් එම වාහනය භාරදී වෙඩික්කරු ඇතුළු පිරිස පලා යන්නේ කොළඹ පැත්තටය. මේ වන විටත් ඔහුන් රටේ සිටී දැයි යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ඒ, අපරාධකරුවන්ගේ අලුත්ම තාලය බවට පත්ව ඇත්තේ රටින් පලා යාම නිසාය.

මේ රැල්ලේ ඊළඟ වෙඩිල්ල පත්තු වන්නේ 06 වැනිදා මෝදර අලුත් මාවතේදීය. එහිදීද ඝාතනය වන්නේ මත්කුඩු ජාවාරමට මෑතකදී අත්පොත් තැබූ 24 වැනි වියේ පසුවූ’තරුණයෙකි. එම තරුණයා ඝාතනය වන්නේද මත්කුඩු ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි. පෙනීයන ආකාරයට අනුව ඔහු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින අතරතුර සිදුකර ඇත්තේ ප්‍රතිවාදීන් ගැන ආරක්ෂක අංශයකට ඔත්තු සැපයීමය. ඒ නිසා ඔහුට වෙඩි පත්තුවී ඇතැයි පොලීසියේ විශ්වාසයයි. එම වෙඩිල්ල පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ මේ වන විට ඉන්දියාවේ සිරගෙදරක සිටින පූකුඩිකන්නාය.

මත්කුඩු ජාවාරම්කරුවන් සන්ධානගත වීමත් සමග ඇරඹි මෙම ඝාතන රැල්ල මෙතැනින් නතර වේ යැයි කියන්නට බැරිය. ඔවුන්ගේ මත්කුඩු ජාලය බිඳදැමීමට වැටලීම් කළ නිලධාරීන් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය බවට පත්වීමට ඇති ඉඩ බොහෝය. සාක්ෂිකරුවන්ට රැකවරණයක් නොමැති සේම අදවන විට එම නිලධාරීන්ටද රැකවරණයක් නැති තරම්ය. එදා මාකඳුරේ මධුෂ් ඩුබායි සිට නියෝමාල් රංගජීව ඝාතනය කිරීමට කළ උත්සාහය කිසි විටෙකත් අමතක කළ නොහැකිය. අවසානයේදී ඔහුට නඩු පිට නඩු දමා හිරේ දැමීමටද මත්කුඩු ජාලයට සම්බන්ධව සිටි ඇතැම් පිරිස් දැඩි උත්සාහයක් ගත්තේය. ඒ රංගජීව කුඩු ජාවාරම්කරුවන් විශාල පිරිසක් හිරේ විලංගුවේ දමා ඇති බැවිනි. කුඩුකාරයන් වැඩි පිරිසක් පෝරකයට යවා ඇත්තේත්, ජීවිතාන්තය දක්වා හිරේ යාවා ඇත්තේත් රංගජීවය. අද රංගජීව ඉන්නේ පැත්තකට වී සියල්ල උපේක්ෂාවෙන් බලාගෙනය. ඒ, ඔහුට රැකවරණයක් තියා නිසි කල උසස්වීමක් පවා ලැබී නොමැතිකමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වූ’ධර්මප්‍රියද, ප්‍රේමලාල්ද එවන් නිලධාරීන්ය. අද ධර්මප්‍රිය පොලීසියේත් නැත. කලකිරීම්වලට ලක්ව අද ඔහු පොලීසියෙන් ඉවත්ව සිටින්නේ දැඩි ලෙස තර්ජනයන්ට පවා ලක්වෙමිනි. රංගජීව මෙන්ම මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව සිටියේ ධර්මප්‍රියයි. අද ඔහු තවත් අනාරක්ෂිතව සිටී. ප්‍රේමලාල්ද දැන් සිටින්නේ පැත්තකට වීය. මෙරට පොලිස් ඉතිහාසයේ වැඩිම හෙරොයින්, අයිස් සහ කොකේන් අල්ලන්නට දායකත්වය ලබාදී ඇත්තේ ඔහුය. මත්කුඩු ජාවාරමකට සම්බන්ධ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් රඳවාගෙන සිටියේ ඔහුවය. අවසානයේදී ඔහුව මෑතකදී මුදාහරින්නේ කිසිදු චෝදනාවක් නොමැති නිලධාරියෙක් ලෙසිනි. ඒ වන විට ඔහුට වෙන්න තියෙන සියල්ලක්ම සිදුවී හමාරය. දරුවන් පාසලෙන් කොන්වී තිබුණි. පාසලේ ශිෂ්‍ය නායකකම පවා දරුවාට අහිමි වන්නේ පියා මත්කුඩු නඩුවකට අත්අඩංගුවට පත්ව ඇති බව කියමිනි. දැන් ඔහුද සිටින්නේ නිහඬවය. හැබැයි ඔහුටද ජීවිත තර්ජන නැතැයි කියන්නට බැරිය. මෙවන් නිලධාරීන් බොහොමයක්ම සිටිති. ඒ අයගේ ආරක්ෂාව ගැන වගබලා ගැනීම දැන් ඇත්තේ ආරක්ෂක බලධාරීන් සතුවය.

විජය රණබාහු

SendShareShare
Previous Post

තෙල් අර්බූදය දරුණුයි! රජයේ සේවකයො මාස 3ක් සිකුරාදා ගෙදර! අනුමැතිය හිමිවෙයි!

Next Post

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.