තමන් දසමාසයක් කුස දරන් ඉඳලා වදපු දරුවන් පස්දෙනා කැලේ තනිකරලා හොර සැමියා සමග අම්මා කෙනෙක්ට පැනලා යන්න පුළුවන්ද? අම්මා කෙනෙක් මොන හිතකින්ද මෙහෙම දරුවන් අතරමං කරලා යන්නේ? මේ වාගේ කාන්තාවකට අම්මා කියලා කටක් ඇරලා දරුවෙක්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? මේ අද රට පත්වෙලා තියෙන තත්ත්වේ. මනස මිතුරු බවින් නොපිරුණු තැනැත්තියකට දරුවන් ලැබුණු පමණින් ‘අම්මා’ යන උදාර පදවියෙන් ආමන්ත්‍රණය කිරීම හෝ අගය කිරීම සුදුසු නැහැ. ඒ අපේ සංස්කෘතිය අම්මා කෙනෙකුට ලබාදී තිබෙන්නා වූ වටිනාකමය. අම්මා කෙනෙක් හඳුන්වන්නේ ‘බුද්ධෝ විය මාතා’. අම්මා කෙනෙක් යනු බුදු කෙනෙක් වැනිය. බුදු කෙනකු ලෝකයට බිහි කෙරුවේද අම්මා කෙනෙක්. ඒ අපි අසා තිබෙන විදිය. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදිය හැකි විශ්වයේ එකම ජීවියා අම්මා පමණකි. එහෙත් ඇතැම් මවුපියන් දරුවන්ට ඉතා සහසික ආකාරයෙන් කටයුතු කරනු ලබයි. සිත තුළ මෛත්‍රියක් නොමැතිව දරුවකු හැදූ පමණින් මවක හෝ පියකු වන්නේ කෙසේද? දරුවන් සිටි පමණින් පියකු විය හැකිද? දරුවන් සිටි පමණින් මවක විය හැකිද?
කුඩා දරුවකුගේ පෞරුෂ වර්ධනයට දරුවා කුඩා කාලයේදී සිප වැලඳගෙන ආදරය කරුණාව දැක්විය යුතු නොවේද? ඒ අවස්ථාවේ දරුවා ලබන්නා වූ වින්දනාත්මක තත්ත්වය මත දරුවාගේ මානසික වර්ධනයක් සිදුවන අතර ඒ හරහා දරුවාගේ අනාගතය යහපත් ආකාරයෙන් නිර්මාණය වේ. මවකගේ සෙනෙහස උණුසුම ලබන දරුවන් වැඩිහිටි වුණාට පසු සමාජ හිතකාමීන් වන බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. අම්මා කෙනකුගේ තාත්තකුගේ දයාව කරුණාව නොලබන දරුවන් අනාගතයේ අපරාධකරුවන් මානසික රෝගීන් බවට පත්වන්නේ නිතැතින්මය. එක් දරුවකු හෝ සමාජයට දයාද කරන ආකාරය නොදන්නවා නම් දරුවන් හදන්නේ කුමක් සඳහාද යන්න යළි යළිත් සිතා බැලිය යුතුය.
දරුවන්ගේ හෙට දවස තැනෙන්නේ අසීමිත මවුපිය සෙනෙහස සමගින් එහෙත් දැයක් තනන්නට මෙන්ම ලොව සුවඳවත් කරන්නට සිටිනා සුපිපි මල් කැකුළු වන් දූ දරුවන්ට මවුපිය සෙනෙහස අහිමිව යද්දී එම දරුවන් පත්වන අන්ත අසරණ තත්ත්වය වචනයෙන් විස්තර කළ හොහැකිය.
තම කුසින් ප්‍රසූත කළ අවුරුදු 2ත් 12ත් අතර දරුවන් පස්දෙනෙක් දමා අනියම් සැමියකු සමග පලාගිය 38 හැවිරිදි මවක් පිළිබඳ අසන්නට ලැබුණේ කුරුණෑගල අඹකඩවර ප්‍රදේශයෙනි. එම දරුවන් පස්දෙනා පසුගිය 03 වැනිදා පොලිස් භාරයට ගැනුණේ අසල්වාසීන්ගේ දැනුම්දීමක් මතයි. දරුවන්ගේ මවුපියන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් මීට ටික කලකට පෙර දරුවන් පස්දෙනාද රැගෙන කුරුණෑගල අඹකඩවර ප්‍රදේශයේ පොල්වත්තක් මුර කිරීමට පැමිණ ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා. මේ පිළිබඳ විමර්ශන සිදුකළ වාරියපොල පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දිනේෂ් බණ්ඩාර මහතාගෙන් අප ‘මව්රට’ පුවත්පත විමසා සිටි අතර, එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.
‘මේ පොල්වත්ත මුරකරන අතරතුරදී 38 හැවිරිදි අදාළ කාන්තාව 35 හැවිරිදි පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන බව දැනගන්නට ලැබුණා. මේ අම්මා දරුවන් පස්දෙනා මේ පොල්වත්තේම කැලෑවකට ගෙනගොස් අතරමං කොට අනියම් සැමියා සමග පලාගොස් ඇති බව පොලිස් පරික්ෂණවලින් හෙළිවුණා. මේ දරුවන් අතර පිරිමි දරුවන් තුන්දෙනකු සහ ගැහැනු දරුවන් දෙදෙනකු වනවා. පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දරුවන් පස්දෙනා වේල් දෙකක් නිරාහාරව සිටීමෙන් දුර්වල වී සිටියා. අනතුරුව ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදුන්නා. දරුවන් පාසල් යවලත් නැහැ. මොවුන්ගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව හෙළිවුණා. ඔහු මත්පැන් පානය කර නිදා සිටි අවස්ථාවක මෙම කාන්තාව සිය දරුවන් කැලෑවට රැගෙන ගොස් අතරමං කළ බවද පොලිසියට දැනගන්න ලැබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අප අදාළ කාන්තාව අත්අඩංගුවට ගත්තා.
පොලිස් භාරයට ගත් දරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කොට පරිවාස භාරයට පත්කරන තෙක් රත්නපුර ප්‍රදේශයේ සිටින දරුවන්ගේ ලොකු අම්මා කෙනෙකුට භාරදුන්නා. ලබන 15 වැනිදා අධිකරණයට වාර්තා කර අධිකරණ තින්දුවෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා පරිවාස භාරයට පත්කිරීමට පියවර ගන්නවා….’
මේ සිද්ධිය සම්බන්ධව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි ඒස්.ඒන්. ද සොයිසා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂණ පවත්වනු ලබයි.
පුංචි දරුවන්ගේ මනස හරිම සියුමැලියි. පුංචි කාලේ දරුවෙක් හොයන්නේ අම්මා තාත්තාගේ උණුසුම. කොතරම් සැප සම්පත් තිබුණත් ඔවුන්ට ඒ කිසිවකින් වැඩක් නැහැ. මවගෙන් දරුවෙක් වෙන්වීම දැනේනේ එහෙම සිදුවීමක් සිදුවුණු දරුවෙක්ට විතරයි. අම්මා පේන්න හිටියේ නැත්නම් පුංචි දරුවෙක් අම්මාගේ උණුසුම සොයන්නේ අම්මා නොපෙනී ගිය පාර දෙසම බලමින් ඉකි ගසා හඬමින්.
අම්මා මේ දරුවන් පස්දෙනාව තනිකර දමා ගිය අවස්ථාවේ දරුවන්ගේ පුංචි මනසට කොතරම් තනිකමක් දැනෙන්න ඇද්ද? සිතින් දහස් වරක් හූල්ල හූල්ලා කඳුළු සලමින් කැලේ පඳුරු ගානේ ‘අම්මා’ යැයි කියමින් සොයන්නට ඇති. පැල්පතක හරි අම්මාගේ උණුසුම තියෙනවා නම් ඒ දරුවකුට හොඳටම ඇති. ඔවුන්ට බඩගිනි වූ විට රිසි රිසි දෙයක් ඉල්ලා ගන්නට ඔවුන්ට අද අම්මා කෙනෙක් ළඟ නැත. අම්මා කෙනෙක් කියන්නේ තමන් බඩගින්නේ ඉඳන් දහදුක් විඳලා හරි තම දරුවන් පෝෂණය කරන කෙනෙක්. එහෙත් මේ අසරණ දරුවන්ට අවසානයේ ඉතිරි වුණේ නීතියේ හව්හරණ පමණයි.
අම්මා කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් මොන හිතකින්ද තමන් දසමසක් කුසදරා සිටි දරුවන් අතරමං කර යන්නේ? මේ අම්මාට දරු සෙනෙහසට වඩා අනියම් ඇසුරට හිත ගියේ කොහොමද? මිහිපිට අම්මා කෙනෙක්ට මෙහෙම කරන්නට පුළුවන්ද?මේ සමාජය ගමන් කරමින් තිබෙන්නේ කුමන දිශාවටද කියා අපට සිතාගන්නට බැහැ.
කුඩා දරුවන්ගේ මනස ඉතා නිරවුල්ව තබන්නට වැඩිහිටියන් වන අපි උනන්දු වීම ඉතා වැදගත්. මවුපියන් වශයෙන් දරුවන්ට දැනෙන්නට ආදරය කළ යුතුයි. දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට නම් මවුපියන් ඔවුන්ට ආදර්ශවත්ව ජීවත්විය යුතුයි. මේ රටේ පුරවැසියන් හොඳම දේ දරුවන්ට බව එදා කීවද, නරකම දේ ළමයින්ට උදාකරන සදාචාරයක් නැති, ධර්මයක් නැති, අමන දේවලින් රට මුදාගැනීමට දැන් කාලය එළැඹ තිබේ.
මවුපියන් දරුවන් හදන්නේ කුමක් සඳහාද? තමාගේ තෘප්තිය සඳහා පමණක් දරුවන් හැදිය යුතුද? යහපත් ගුණධර්මවලින් පෝෂණය වූ නිරෝගී දරුවකු ලොවට දයාද කිරීම ඔවුන්ගේ අරමුණ විය යුතු නොවේද? ඒ කරුණ යළි යළිත් සෑම මවුපියකුම තම තමන්ටම අවධාරණය කරගත යුතුය.
නිලන්ති රේණුකා










