මම ඒ හඬට ගොඩක් කැමැතියි…
හැබැයි කොපි කරන්නේ නෑ…
මේ දවස්වල නිතර දෙවේලේ අපිට අසන්නට ලැබෙන සින්දුවක් තමයි ‘ක්‍ෂිතිජයේ’ ගීතය. ඒ පසුගිය දවස්වල ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින්. එලෙස සුන්දරව හඬ මුසු කරන ඒ ගීත කෝකිලාව කවුද කියල ඔබ සිතනවා ඇති. ඒ සිතිවිල්ලට පිළිතුරක් ලෙස ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ අපි ඇය ගැන කියන්න හිතුවා. ඇය නිර්මාණී ශාලිත්‍යා. ඇයගේ හඬ අකුරු කළේ මේ විදියට…
ඔබේ හඬට ගොඩදෙනෙක් මේ දවස්වවල වශීවෙලා. මුලින්ම කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්?
මගේ නම නිර්මාණී ශාලිත්‍යා. මගේ ගම් පළාත කෑගල්ල ප්‍රදේශයේ දිවෙල ගමේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි.
‘ක්‍ෂිතිජයේ’ ගීතය මේ තරම් ජනප්‍රිය වීමට හේතුව මොකද්ද?
‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින් තමයි මෙය ජනප්‍රිය වුණේ. ගිහාන් චාමික පද රචනයෙන්ද, චතුරංග ද සිල්වා තනු නිර්මාණයෙන්ද සම්බන්ධ වුණා. ‘ක්‍ෂිතිජයේ’ ගීතයට දැන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘පිනි මුතුගේ’ හඬට තමයි මම හඬ මුසුකරන්නේ.
‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් හරහාද ඔබට මේ වාසනාව උදා වුණේ?
‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ සීසන් 10 වටයේ අවසන් විසිදෙනා අතරට මාව තේරුණා. පසුකාලීනව මට ලැබුණු කෙටි පණිවුඩ ප්‍රමාණයත් එක්ක මට තරගයෙන් ඉවත් වෙන්න සිදුවුණා. ඉතාමත් දක්‍ෂ පිරිසක් එක්ක තමයි මමත් තරග කළේ. පස්සේ තමයි ‘දෙරණ’ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ ලක්සිරි වික්‍රමගේ සර් මට කතා කරලා මේ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ගීත කිහිපයක් ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නේ.
මොකද හිතුණෙ එහෙම අවස්ථාවක් ලැබුණාම?
ඇත්තටම එදා මට හිතාගන්න බැරි සතුටක්. තරගයෙන් ඉවත්වෙලා වැඩි කාලයක් යන්නත් කලින් ටෙලිනාට්‍යයක පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒකට ‘දෙරණ’ රූපවාහිනියේ සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා මට මේ අවස්ථාව ලබාදුන්නු එකට.
‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරගයේදී ඔබ විවිධ භාෂාවෙන් ගීත ගායනා කළා නේද?
ඔව්… මට උවමනා කළේ මගේ දක්‍ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දෙයක් කරන්න. ඒ නිසා මම පොඩි කාලේ ඉඳලා අහපු විදේශීය ගීත පවා ඒ අවස්ථාවේදී ගායනා කළා.
තවත් සමහරු කියනවා ඔබ ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය අනුකරණය කළා කියලා. ඇත්තද මේ කතාව?
මම වැඩිපුරම ගායනා කළේ එතුමියගේ ගීත තමයි. මම එතුමියගේ හඬට ගොඩාක් කැමැති නිසා. හැබැයි මම එතුමියව අනුකරණය කළේ නැහැ.
ඔබටත් ඉදිරියේදී රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්?
එහෙම අවස්ථාවක් ලැබුණොත් සලකා බලනවා. නමුත් මම ගොඩාක්ම කැමැති ගායිකාවක් ලෙසට මගේ නාමය ඉදිරියට සුන්දර ලෙස රැකගෙන යන්න තමයි.
ප්‍රසංග වේදිකාවෙත් ගායනා කිරීමට ඔබ සූදානම්ද?
මම ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරගයට සම්බන්ධ වෙන්නත් කලින් ඉඳලා ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. රටේ දැන් තිබෙන ප්‍රශ්නත් එක්ක රට සුබවාදී අතකට ආවට පස්සේ මම ප්‍රසංග වේදිකාවට නැවැත සම්බන්ධ වීමට අදහසින් තමයි ඉන්නේ.
ඔබේ ආදරණීය පෙම්වතාගෙන් ලැබෙන සහාය කොයි වගේද?
මගේ පවුලේ අයගෙන්ම ලැබුණු නිදහස වගේම ඔහුගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා මගේ වැඩකටයුතු කරගෙන යෑමට.
-වසන්ත විතාරණගේ











