ජනතාව වත්මන් රජය පිළිබද බලාපොරොත්තු තැබුවේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමට නොවන බැව් ජාතික උරුමයන් පිලිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (4) ගාල්ලේදී පැවති මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උත්තවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා මෙසේද කීය.
“ විවිධ රාජ්‍ය නායකයින් අපේ රටට එනවා. ඒ වගේම අපේ රාජ්‍ය නායකයින් විවිධ රටවලට යනවා. මේ පිළිබඳව සැඟවුණු න්‍යාය පත්‍රයක් තියනවද කියලා අපි තාම දන්නේ නැහැ. අප විශ්වාස කරනවා අපේ රටේ සම්පත් අපේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා පමණක් තිබිය යුතු බවය.
“රජය බලයට පත්වෙන කොට කිව්වේ කිසිදු දේශීය සම්පතක් විදේශ සතු කරන්නේ නෑ කියලා. විදේශය කියලා කියන්නේ රටක් රාජ්‍යයක් පමණක් නෙමෙයි. විදේශ සමාගම් ද ඔය කියන විදේශයට අයත්. ඒ හින්දා මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු තිබ්බේ අපේ රටේ සම්පත් අපේම උපයෝගී කරගෙන අපි ඒවා වැඩිදියුණු කරගෙන යන ගමන් මගකට විනා මේවා පිටරටවලට දීලා අර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න නෙවෙයි. “
“මෙයින් රජයක් තේරුම් ගත යුතුයි එවැනි න්‍යාය පත්‍රයක් තියෙනවා නම් ඒ න්‍යාය පත්‍රයෙන් මිදිලා අපේ රටේ උරුමයන් වගේම අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලට ගරු කරන වැඩපිළිවෙලකට පෙළ ගැහෙන්න.“ රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කිවේය.









