මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ළඟ තිබුණු ජංගම දුරකථනයක් ඊයේ (01) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අද (02) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.
ප්‍රධාන ජේලර් සහ තවත් ජේලර්වරයෙක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසලට යන විට මන්ත්‍රීවරයා එම දුරකතනයෙන් කතා කර සිට ඇති අතර නිලධාරීන් දුටු විගස සිර මැදිරියේ කවුළුවෙන් එම දුරකථනය පිටතට විසිකර තිබෙන බව ඔහු කියා සිටියේය.
කෙසේවෙතත් එම ජංගම දුරකථන බන්ධනාගර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා එය බුද්ධි අංශ වෙත ලබා දී ඇත.
බන්ධනාගාර ආඥා පනත යටතේ ළඟ තබාගත නොහැකි භාණ්ඩයක් තබා ගැනීමේ වරදට මන්ත්‍රීවරයා ලක්ව තිබෙන අතර ඉදිරියේදී මන්ත්‍රීවරයාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට කැඳවීමට නියමිතයි.










