‘මගේ නම මිර්සා හුසේන්, මම ඇෆ්ගිනස්ථානයේ බාමියන් මිටියාවතේ ජීවත්වන ෂියා මුස්ලිම්වරයෙක්. මේ කාලය හරියටම 2001 වසරේ දිනයක්. ඒත් මට හරියටම මාසය, දිනය මතක නැහැ. මට එතකොට වයස අවුරුදු 29-30ක් විතර ඇති. ඒ කාලයේ සුන්නි මුස්ලිම්වරුන් විසින් හදාගත්ත ප්‍රබල සංවිධානයක් තමයි තලිබාන් ත්‍රස්ත සංවිධානය. ඒ අය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගත් සංවිධානයක්. ඒ කාලයේ මේ අය විසින් කිසිම හේතුවක් නැතිව ෂියා මුස්ලිම්වරුන් සිරභාරයට ගන්නවා. ඒ විදියට මමත් තව 25 දෙනෙකු පමණ සිරභාරයට ගෙන සිටියා. අප ලවා ඔවුන්ගේ විවිධ වැඩ කටයුතු ඉටුකර ගන්නවා. ඒ අනුව තලිබාන් නායකයන් අපට විශාල කාර්යයක් ඉටුකරන්නට නියෝග දුන්නා. ඒක තමයි එකල බාමියන් මිටියාවතේ තිබුණු ලෝකයෙන්ම විශාලතම බුද්ධ ප්‍රතිමා දෙක විනාශ කර දැමීමේ කටයුත්ත. අපි 25ක් පමණ සිරකරුවන්ට නියම කළා, ‘ඩයිනමයිට් සහ ටී.එන්.ටී.’ යන පුපුරන ද්‍රව්‍ය ගෙනිහින් බුද්ධ ප්‍රතිමා දෙකේ යට සවි කිරීමට.’
ඒ අනුව මමත්, අනෙකුත් සිරකරුවන් පිරිසත් කිලෝ සිය ගණනක ඩයිනමයිට් කර තියාගෙන බාමියන් මිටියාවතේ ඇවිදගෙන ගියා බුද්ධ ප්‍රතිමා තිබෙන තැනට. ඒ ගමන හරිම දුෂ්කර, භයානක එකක්. කවුරු හරි සිරකරුවෙක් මග නැවැතිලා හෝ පැනලා යන්න හැදුවොත් හෝ තලිබාන් ක්‍රියාකාරීන් අපට වෙඩි තියලා මරලා දානවා. එක කකුලක් උපතින් ආබාධිත වෙච්චි තරුණ සිරකරුවෙක් හිටියා. එයාට ඇවිද ගන්න හරිම අමාරුයි. ඒත් ඔහුවත් පුපුරන ද්‍රව්‍ය ගෙනියන්න දාලා හිටියා. ටික දුරක් යනකොට ඔහු ඇදවැටුණා. තලිබාන් ත්‍රස්තයන් වහා එතැනට පැමිණ ඔහුට වෙඩි තබා මරාදාලා ඒ අසලම වැල්ලේ වැළලුවා. හරිම දුක්ඛිත තත්ත්වයකට අපි මුහුණ දීලා හිටියේ. කොහොම හරි දවස් කිහිපයක්ම අපි ඩයිනමයිට් සහ ටී.එන්.ටී. ගෙනහිල්ලා බුද්ධ ප්‍රතිමා දෙකේ පහළ කොටසට බැන්දා. තලිබාන් සාමාජිකයන් මීට පෙරදී සති 03ක පමණ කාලයක සිට විවිධ බර අවි ආයුධවලින් වෙඩි තබමින් බුද්ධ ප්‍රතිමා දෙක විනාශ කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඉන් පසුව තමයි ඔවුන් තීරණය කළේ ‘ඩයිනමයිට් සහ ටී.එන්.ටී.’ දමා විනාශ කිරීමට.
මේ බුද්ධ ප්‍රතිමා දෙක ඒ කඳුමිටියාවතේ ඇති ගලෙන්ම නිර්මාණය කර ඇති නිසා ඉතාමත්ම ශක්තිමත්. කෙසේ වෙතත් අවසානයේදී පුපුරන ද්‍රව්‍ය නිසා බුදු ප්‍රතිමා දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කිසිවක්ම ඉතිරි නොවී බිමටම සමතලා වුණා. මට මේ සිද්ධිය මතක් වෙන විට තවමත් හරිම දුකයි. මම එදා ඒ දේ කරන්න කටයුතු කළේ කිසිම කැමැත්තකින් නෙවෙයි. එදා එහෙම නොකලා නම් අපිව තලිබාන් සංවිධානයෙන් මරලා දානවා. අදත් මේ ගැන මතක් වන විට හරිම දුකයි.
කුමක්ද මේ සුවිශේෂී කතාන්දරය? මේ මහා විනාශය සිදුවී දැනට හරියටම වසර 20ක් ගතවී ඇත. එනම් ඒ මහා අපරාධය සිදුවූයේ 2001 වසරේ මාර්තු මාසයේදීය. ලොව විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස වාර්තාගත වූ ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටා තිබුණු වැලි පාෂාණයෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමා දෙකක්, එකල එරට බලයේ සිටි ඉස්ලාමික තලිබාන් ත්‍රස්ත සංවිධානය විසින් සහමුලින්ම විනාශ කර දැමීම එම කුරිරු සිදුවීම විය. මෙම සිදුවීම මුළුමහත් ලෝකයම කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව ප්‍රබල කම්පනයකට හා සංවේගයකට පත් කළේය. කාබන් නිදර්ශක පර්යේෂණයන්ට අනුව 05-06 වැනි සියවස්වලට අයත් වූ මෙම අතිශය ඉපැරැණි බුද්ධ ප්‍රතිමා දෙක එකක් අඩි 180ක (මීටර් 55ක්) උසින් සහ අනෙක අඩි 125ක (මීටර් 38ක්) උසින්ද යුක්ත විය. එනම් මෙයට වසර 1500කට පෙර ඈත අතීතයේදී එකල ඇෆ්ගනිස්ථානය තුළ තිබී ඇත්තේ ඉතා ප්‍රබල වූ බෞද්ධ සංස්කෘතියකි. කෙසේ හෝ ශතක ගණනාවක් යන තුරුම මෙම මිල කළ නොහැකි පුරාවස්තු ආරක්‍ෂිතව තිබුණේය. එසේම එය යුනෙස්කෝ ලෝක උරුමයක්ද විය. එහෙත් කාලය ගෙවී යත්ම තලිබාන් සංවිධානයේ පාලනය යටතට ඇෆ්ගනිස්ථානය පත්වූ විට, එම ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ මුල්ලා ඕමාර්ගේ අණ පරිදි මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලදී. එදා එම ප්‍රතිමා විනාශ කිරීම සඳහා සහභාගි කරවාගත් ෂියා ඉස්ලාමික සිරකරුවකු වූ මිර්සා හුසේන් විසින් බී.බී.සී. මාධ්‍ය සේවය වෙත සාකච්ඡාවක් ලබාදී ඇති අතර, එයින් ඉහත ප්‍රකාශය ඔබට ලියා තැබුවෙමි. එම සත්‍ය වගතුග අද අපගේ හදවත් පාරවයි.
අද ඔබට තලිබාන් සංවිධානය සිදුකළ එම මහා අපරාධය ගැන මුලින්ම ලියා තැබුවේ ඇයි? එදා කුරිරු තලිබාන් ත්‍රස්තයන් මෙම සිත නිවෙන දසුන් ඇති බුද්ධ ප්‍රතිමා කඩාබිඳ දමා විනාශ කරද්දී, තලිබාන් නායක මුල්ලා ඕමාර් ඇතුළු ත්‍රස්තයන් ‘අල්ලාහු අක්බාර්’ (උසස්තම දෙවියා අල්ලාය) යන හඬින් කෑගසන්නට විය. බුද්ධ ප්‍රතිමා කැඩී සුනුවිසුනු වී යද්දී ඔවුන් එලෙස කෑගසන අයුරු අද ද වීඩියෝපට මගින් දක්නට හැකිය. මෙලෙස එදා මහා ලෝක සංස්කෘතික, ආගමික හා ජාතික විනාශයක් සිදුකළ තලිබාන් සංවිධානය ගැන අද අපට අසන්නට සිදුවී ඇත්තේ කුමන කතාන්දරයක්ද? එනම් වසර 20කට පසුව නැවැත ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමට තලිබාන් සංවිධානය සමත්වී තිබීම මෙම කතාන්දරයයි. පසුගිය දශක දෙකක පමණ කාලයක සිට, එනම් 2001 වසරේදී ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව තලිබාන් සංවිධානයේ බලය අක්‍රිය විය. කෙසේ හෝ විවිධ යුද ගැටුම් විටින්විට පැවැති අතර, 2020 වසරේදී ඇමෙරිකාව තීරණය කළේ ඇෆ්ගනිස්ථානයෙන් තම හමුදා ඉවත්කර ගැනීමටය. මෙම ආක්‍රමණයේ කතාව ඉතාමත් දීර්ඝ වගතුගක් ඇති එකකි.
මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ තලිබාන් සන්නද්ධ සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ බලය අත්පත් කරගත් බැව්ය. එහිදී දැනට සිටින ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි ජනාධිපති මැඳුරෙන් පිටව පලාගිය අතර, තලිබාන් කැරැලිකරුවන් ජනාධිපති මන්දිරයේ බලය තහවුරු කර ගත්තේය. මේ අතර ඇමෙරිකානු තානාපති කාර්යාලයද වසා දැම්මේය. ඇමෙරිකානු හමුදාද දැන් ඇෆ්ගනිස්ථානයේ බලය ඇති තලිබාන් සංවිධානය යටතේය. මෙම සංවිධානය කලින්, කලට විවිධ අපරාධ සිදුකළ අතර, ඔවුන් 2012 වසරේදී සිදුකළ මහා අපරාධයක වගතුග මෙසේ දෙබසින් වාර්තා වී ඇත.
‘කවුද, කවුද මලාලා කියන්නේ ඉක්මනට කියාපල්ලා! නැත්නම් ඔක්කොන්ටම වෙඩි තියනවා’
‘මලාලා කියලා කෙනෙක් මේ බස්එක ඇතුළේ නැහැ’
‘උඹලා බොරු කියන්න එපා, මෙතැන මලාලා යූසාෆ්සායි කියලා කෙල්ලෙක් ඉන්නවා. ඉක්මනට ඉදිරිපත් වෙයල්ලා, නැත්නම් උඹලා ඔක්කොටම වෙඩි තියලා මරලා දානවා’ AK-47’ බියකරු මැෂින් තුවක්කුව අමෝරාගත් ත්‍රස්තවාදියා, බස් රථය ඇතුළත සිටින තරුණ සිසුවියන්ට ගිරිය යටින් කෑගසන්නට විය. ඔහු ගිනි අවිය පත්තු කරන්නට ඔන්න, මෙන්නය.
‘මමයි මලාලා, ඔව් මම තමයි මලාලා යූසාෆ්සායි. මගේ අනෙක් යාළුවන්ට කරදර කරන්න එපා. මට කැමැති දෙයක් කරන්න’ වටකුරු පැහැපත් මුහුණක් ඇති පාසල් යුවතිය තමන් සිටි පිටිපස අසුනකින් වහා නැඟිට නිර්භීතව කියා සිටියාය. අනෙක් පාසල් සිසුවියන් මරණ බයෙන් ගැහි, ගැහී හඬන්නට විය.
‘ආ! උඹ තමයි එතකොට මලාලා, අපේ සංවිධානයට විරුද්ධව ලෝකෙට කියන්නේ උඹයි. කරන්න දෙයක් නැහැ, මේක මට ඉහළින් ලැබුණු නියෝගයක්’ යැයි ත්‍රස්තයා මාරාවේශයෙන් කියන්නට විය.
ගතවූයේ තත්පර දෙකක් හෝ තුනක් පමණි. රුදුරු ත්‍රස්ත යක්ෂයාගේ ගිනි අවියේ ‘කොකා’ ගැස්සුණේය. අසුනෙන් නැඟිට එඩිතරව ත්‍රස්තයා දෙස බලා සිටි අහිංසක පාසල් සිසුවිය දෙසට සැණින් වෙඩි උණ්ඩ කිහිපයක් ගලා ආවේය. ඇය කෙසෙල් කඳක් කපා දැමුවාක් මෙන් අසුන මතම ඇදවැටුණාය. යාබද අසුන්වල සිටි යෙහෙළියන් මරලතෝනි තබමින් කෑගසන්නට විය. තමන්ගේ රාජකාරිය ඉටු කළ ත්‍රස්තයා වහා බසයෙන් බැසගෙන තමන්ගේ අනෙක් සගයන්ට එකතු වූයේ මහත් ජයග්‍රාහී ලීලාවෙනි. මලාලාගේ ශරීරයේ ඉහළ කොටසේ තැන් තුනකට වෙඩි වැදී තිබිණි. ඉන් දරුණු වූයේ ඇගේ හිසට වෙඩිල්ලක් වැදී තිබීමය. ඇය ලේ පෙරමින්, සිහි නැතිව අසුන මත වැටී සිටියාය.
බස් රථයේ රියැදුරු වහ වහා බස් රථය පණගන්වා හැකි ඉක්මනින් රෝහලක් වෙත ධාවනය කළේය. ඇයට තැබූ වෙඩි පහරවල් දෙකක් ඇයගේ මිතුරියන් දෙදෙනෙකුටද වැදී තිබුණත්, ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවීය. බුද්ධිමත් බස් රථ රියැදුරා වහා රථය රාවල්පිණ්ඩි රෝහල වෙත ගෙන ගියේය. බස් රථය රෝහල දොරකඩ නතර කළ සැණෙන්, රියැදුරා බසයෙන් බැස කෑගසමින් සිදුවීම රෝහල් කාර්ය මණ්ඩලයට පවසා සිටියේය. ඒ සමගම මලාලාගේ යෙහෙළියන් කිහිප දෙනෙකුම රථයෙන් බැස රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේ, මලාලා යුසාෆ්සායිට ත්‍රස්තවාදීන් වෙඩි තැබූ බැව්ය. රෝහල් හෙද, හෙදියන් වහා බස් රථය තුළට පැමිණ මලාලා රෝගී ඇඳක තබාගෙන, රෝහල තුළට සැණෙන් රැගෙන ගියේය.
‘මේ මලාලා සිසුවිය තමයි පසුගිය කාලයේ ඉස්ලාමික සිසුවියන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළේ. තලිබාන් සංවිධානයේ දරුණු නීති, රීතිවලට එරෙහිව ඇය ලෝකයටම කියා සිටියාය. ඇය මරන්න උත්සාහ කරලා තියෙන්නේ ඒකයි. ඉක්මනට මෙයාව ගෙනෙහින් ප්‍රතිකාර කරමු’ එක් තරුණ වෛiවරියක් අනෙක් කාර්ය මණ්ඩලයට කියා සිටියාය. කුමක්ද මේ තිගැස්සෙන, බියකරු කතාන්දරය? මෙය හරියටම සිදුවූයේ 2012 වසරේ ඔක්තෝබර් 09 වැනිදාය. පාකිස්තානයේ ‘ස්වැට්’ (ීඅ්එ) නමැති දිස්ත්‍රික්කයේදී මෙම කුරිරු ඝාතන ප්‍රයත්නය සිදු වූයේය. මලාලා යුසාෆ්සායි යනු එකල 16 හැවිරිදි පාසල් සිසුවියකි. මෙම කාලයේදී ‘ස්වැට්’ ප්‍රාන්තයේ බොහෝ පාලන බලය තිබුණේ තලිබාන් ත්‍රස්ත සංවිධානය යටතේය. මෙම ඉස්ලාමික ත්‍රස්තයන් එකල බොහෝ දරුණු නීති, රීති පනවනු ලැබුවේ ඉස්ලාමික සිසුවියන්ගේ අධ්‍යාපනය කෙරෙහිය. මෙවැනි වටාපිටාවක් යටතේ ඔවුන්ට එරෙහිව කිසිවෙකුත් හඬ නැඟුවේ නැත. එහෙත් මෙම මලාලා අතිශයින් පුදුමාකාර සිසුවියක විය. ඇය මෙම තලිබාන් මර්දනයට එරෙහිව මුලින්ම ලිපියක් ලියා තැබුවේ ඇයට වයස අවුරුදු 12ක්ව සිටියදීය. එතැන් සිට ඇය තමන්ට ත්‍රස්තයන් වෙඩි තබන තෙක්ම, විවිධ අවස්ථාවලදී තලිබාන් සංවිධානයට එරෙහිව තම හඬ නැඟුවාය. මේ හෙයින් එම ත්‍රස්ත සංවිධානය කිහිප වරක්ම ඇයට තර්ජනය කළේය. අවසානයේදී ඇයව ඝාතනය කිරීමට තීරණය කළේය. මෙම සිදුවීම එදා මුළුමහත් ලෝකයම සසල කළේය. එහෙත් පසුව ඇය සුවපත්වී 2014 වසරේදී නොබෙල් සාම සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
කෙසේ හෝ පසුගියදා තලිබාන් සංවිධානය කාබුල් අගනුවර ඇතුළු අනෙකුත් නගර අල්ලා ගැනීමේදී ප්‍රකාශයට පත්කර තිබුණේ, කිසිදු සිවිල් වැසියෙකුට හිරිහැර වන ආකාරයෙන් තමන්ගේ ආක්‍රමණයන් සිදු නොකරන බැව්ය. එහිදී ඔවුන් රජයේ හමුදා වෙත හෝ දරුණු ප්‍රහාරයන් එල්ල නොකළ අතර, රජයේ හමුදාද ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටියේය. කෙසේ හෝ අවසානයේදී තලිබාන් සංවිධානය ප්‍රකාශ කර සිටියේ රජයේ හමුදා සියල්ල තමන්ට යටත් වූ බවත්, ජනාධිපති අශ්රෆ් ගානි රට අත්හැර පලාගිය බැව්ය. මේ හෙයින් මෙතෙක් පැවැති ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් වූ බැව්ද ඔවුන් නිවේදනය කර සිටියේය. ඇමෙරිකාව මෙම යුද්ධය ආරම්භ කළේ 2001 වසරේදී අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට පසුවය. එම ප්‍රහාරයෙන් 3,000ක පිරිස මියගියේය. කෙසේ හෝ පසුගිය වසර 20ක කාලයට ඇමෙරිකාවට මෙම ඇෆ්ගන් යුද්ධය පවත්වාගෙන යෑම සඳහා ඩොලර් ටි්‍රලියන එකක මහා ධනයක් වැය වූ බැව් පැවසෙයි. එහෙත් කිසිවෙකුත් මෙම යුද්ධයෙන් හිමිකර ගත් දෙයක් නැත. තව තවත් ජීවිත විනාශ වී ධනයද විනාශ විය. එහෙත් තලිබාන් සංවිධානය දැන් නැවැත අළු ගසා දමා පැමිණ ඇති අතර, තම රටේ බලයද නැවැත තහවුරු කර ගත්තේය.
මේ අතර මෙම ඇෆ්ගන් තලිබාන් නාටකයේ අපූරුම ජවනිකාව එළිදැක්වෙන්නේ මෙතැනදීය. එනම් පසුගියදා චීනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ, තම රට ඉදිරියේදී තලිබාන් පාලනයත් සමග ඉතාමත් සමීපව සහ සුහදව කටයුතු කිරීමට කැමැති බැව්ය. එය නිකම්ම කතාවක් නොව, පසුගියදා එය ප්‍රායෝගිකවද ඔප්පු කර පෙන්වූයේය. එනම් තලිබාන් සංවිධානයේ ප්‍රධානතම දූත පිරිසක් චීනයේ සංචාරය කළේය. එම දූත පිරිසේ නායකයා වූයේ තලිබාන් සංවිධානයේ වත්මන් ප්‍රධාන දේශපාලන නායක සහ නියෝජ්‍ය නායක අබ්දුල් ගානි බරාදාර්ය. ඔහු තලිබාන් සංවිධානයේ නිර්මාතෘවරයකුද වූ ඉතා ප්‍රබලයෙකි. ඔහු ප්‍රධාන 08 දෙනෙකුගෙන් යුත් දූත පිරිස චීනයේ වත්මන් විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත. දෙරට අතර ඉදිරියේදී සාමය, සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තීරණය විය. මෙම වාතාවරණයේදී එක්තරා හාස්‍යයට ලක්වන කරුණක් ගැන ලෝක දේශපාලන විචාරකයන් තම මතය ඉදිරිපත් කර ඇත. එනම් චීනය යනු ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයකි. තලිබාන් සංවිධානය යනු බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරමින් බුදුදහමට ප්‍රබලව එරෙහිවූ සංවිධානයකි. එවැනි අන්තවාදී සංවිධානයක් අද චීනය සමග එකතු වී ඇත. එහෙත් පසුගියදා තලිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමන් බුදුදහමට ගරු කරන බැව්ය. එය එසේ සිදුවෙයිද?
ප්‍රියන්ත හෙට්ටිගේ









