රට තුළ පවතින කොවිඩ් අවදානම නොතකා සිසුන් 1700ක් පමණ එකවර කැදවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගය පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
ලබන 13 සහ 17 යන දිනවල විභාග මධ්‍යස්ථාන 02 කදී පැවැත්වීමට නියමිත අතර ඉන් එක් විභාග මධ්‍යස්ථානයක් වන කොළඹ ලුම්බිණි විද්‍යාලයට අපේක්ෂකයින් 1,300 ක පමණ පිරිසක් කැදවා තිබීම වඩාත් බරපතළ තත්ත්වයක් බව නීති සිසුහු පෙන්වා දෙති.
බලධාරීන් ගෙන ඇති තීරණය හේතුවෙන් කොවිඩ් ආසාදිත සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමට ඉඩ අහිමිවී යන බවද ඔවුන් පෙන්වා දී ඇත.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ සිසුන් විශාල පිරිසක් කැදවා නීති සිසුන් පවසන ආකාරයෙන් විභාග පැවැත්වීමට අවසර ලබාදී ඇත්දැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ එවැනි විශාල පිරිසක් කැදවා විභාග පැවැත්වීමට අවසරයක් දී නොමැති බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් තමන් සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.










