කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රට පුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් පවතින තත්ත්වය හමුවේ වෛද්‍ය විශේෂඥයින් වශයෙන් ආර්ථිකය දියුණු කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ සෙසු අය මුලින්ම ජීවතුන් අතර සිටිය යුතු බව තම සංගමය විශ්වාස කරන බවකි.
වර්තමාන වසංගත තත්ත්වය හමුවේ ආරක්‍ෂිත ස්ථානයක් වන තුරු මිස කිසිදු සංචාරකයෙකු අප රටට නොපැමිණෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ වනවිට කොරෝනා රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇතැයි ද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයකැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටී.
බිම් මට්ටමේ පවතින මෙම අනතුරුදායක සත්‍ය සහ යථාර්ථය තීන්දු තීරණ ගන්නා බලධාරීන්ට පෙන්වා දීමට අදාළ කමිටුවල සිටින පුද්ගලයන් කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් බවද ලක්කුමාර් මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.











