ලෝකයේ විවිධ රටවල මිනිස්සු කලින්, කලට විවිධ කරුණු උදෙසා අනේක විදියේ අරගල සහ උද්ඝෝෂණ පවත්වති. එහෙත් මෙවර දැනට දින කිහිපයකට ඉහතදී මේ උද්ඝෝෂණයන් දකින්නට ලැබුණේ එක්තරා සුවිශේෂී වගතුගක් උදෙසාය. එනම් දැනට මුළු මහත් ලෝකයම ගිලගෙන තිබෙන කොරෝනා මාරක වසංගතය මැද මිනිසුන් මෙම උද්ඝෝෂණයන් පවත්වන්නේ, කොරෝනා දඩමීමා කරගෙන තමන්ගේ ජන ජීවිතයට හිරිහැර නොකරනු යන මතිමතාන්තරයක සිටය. මෙය සත්‍ය ලෙසම අතිශය පුදුමාකාර අරගලයකි.
මුළු මහත් ලොවම උඩු යටිකුරු කළ මෙම විෂ්මිත උද්ඝෝෂණයන් පසුගිය සති දෙකක් පුරාම ඉතා උච්ච ලෙස පවත්වනු ලැබුවේ ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් රැසක් තුළදීය. එසේම ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් රැසකද මෙවැනි උද්ඝෝෂණයන් පැවැත්විණි. යුරෝපයේ රටවල් අතරට එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ග්‍රීසිය, බල්ගේරියාව, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, රුසියාව, සර්බියාව, බොස්නියාව සහ රුමේනියාව අයත් විය. ඇමෙරිකානු රටවල් අතරට ඇමෙරිකාව, කැනඩාව, කියුබාව, මෙක්සිකෝව, බ්‍රසීලය, කොලොම්බියාව සහ චිලි යන රටවල් අයත් විය. මෙයට අමතරව ඕෂනියා මහද්වීපය යටතේ වූ ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තයේද, මෙවැනි උද්ඝෝෂණ පැවැත්විණි. එසේම අප්‍රිකාවට අයත් කෙන්යාව, මලාවි, රුවන්ඩා, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, අයිවරි කෝස්ට් සහ සිම්බාබ්වේ යන රටවලද, ආසියාවට අයත් චීනය, ඉන්දියාව, හොංකොං, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, ඉරාකය, ලෙබනනය, පාකිස්තානය, පිලිපීනය සහ තායිලන්තය යන රටවලද මෙවැනි උද්ඝෝෂණයන් සහ අරගල පැවැත්විණි.
මෙසේ ලෝකයේ රටවල් 50කට ආසන්න ප්‍රමාණයකදී මෙම පුදුමාකාර උද්ඝෝෂණ ඉතාමත් උත්සන්න වූයේ පසුගිය සති දෙක තුළදීය. එහෙත් මෙවැනි උද්ඝෝෂණ මෙයට වසරකට පමණ පෙරදී (2020 වසරේදී) රටවල් කිහිපයක් තුළින්ද උද්ගත විය. එහි ආරම්භය වූයේ ඇමෙරිකාවය. එනම් 2020 වසරේ අප්‍රේල් මාසයේදී පමණ එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේදී මෙවැනි අරගල කිහිපයක්ම ඇති විය. ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වසංගතය නිසි ලෙස මර්දනය කිරීමට කටයුතු කරන්නේ නැතැයි උද්ඝෝෂණය කරමින් ජනතාව වීථි බැස අරගල කරන්නට වූහ. එයට සැබෑ ලෙසම හේතු වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකල තිබුණු විවිධ හිතුවක්කාර සහ අමනෝඥ ප්‍රතිපත්ති හේතුවෙනි. ඇමෙරිකාවේ මෙම කොරෝනා අරගලවලට පසුව එවැනි උද්ඝෝෂණ ඇති වූ දෙවැනි රට වූයේ බ්‍රසීලයයි. එවකට සහ දැනට සිටින බ්‍රසීලයේ ජනාධිපති ජායි බොල්සරානෝගේ අමනෝඥ ක්‍රියාකලාපය මත ජනතාව වීථි බැස්සේය. එකල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවට ප්‍රකාශ කර සිටියේ, කොරෝනා රෝගය යනු සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හෙයින් එයට බිය නොවන ලෙසය. බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ එකල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අපූරු ඉල්ලීමක් කර සිටියේය. එනම් භාරත රාමායනයේ සඳහන් පරිදි හනුමා විසින් හිමාලයෙන් ගෙන ආ ‘විස්මිත ඖෂධ’ වැනි ඖෂධයක් ඉන්දියාවෙන් තම බ්‍රසීලය වෙත ලබාදෙන ලෙසය. ඒ කොරෝනා රෝගය සුව කිරීම උදෙසාය. මේ ආකාරයට එකල ට්‍රම්ප් සහ බොල්සරානෝ යන ජනාධිපතිවරුන් දෙදෙනා කියූ අපූරු කියුම් හේතුවෙන් එකල මාධ්‍ය ඔවුන් හැඳින්වූයේ ‘අයියා – මල්ලී’ වශයෙනි.
කෙසේ හෝ එකල මෙම ‘කොරෝනා උද්ඝෝෂණ’ ජනතාව විසින් පැවැත්වූයේ, තමන්ගේ එම රටවල තිබෙන පාලන තන්ත්‍රයන් විසින් කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට නිසි පියවර නොගන්නේ යැයි පවසමිනි. එහෙත් දැනට සති දෙකකට පමණ උඩදී ලොව පුරා ගලාගෙන ගිය කොරෝනා උද්ඝෝෂණ රැල්ල ඊට වඩා වෙනස් ආකාරයක එකකි. එනම් එහිදී බහුතර රටවල් ගණනාවක ජනතාව චෝදනා කර සිටියේ, වත්මන් කොරෝනා නීති-රීති මගින් තමන්ගේ ජන ජීවිතය අඩාළවන බැව්ය. එනම් කොරෝනා මර්දනය යැයි පවසමින් අහේතුක ලෙස නීති-රීති සහ වෙනත් විවිධ බාධක පැනවීමට එරෙහිව මෙම ජනතාව වීථි බසින්නට වූහ. මෙය සැබෑ ලෙසම අමුතු පරිවර්තනයකි.
එදා කොරෝනා මර්දන නීති, රීති ඕනෑ යැයි කියූ ජනතාව අද එම නීති – රීති එපා යැයි පැවැසීම විටෙක ‘අණ්ඩර දෙමළයක්’ ලෙසද පෙනෙන්නට හැකිය. එසේම එම රටවල තවමත් කොරෝනා මාරයාගේ දස්කම් හොඳින්ම පෙනෙන්නට තිබියදීත්, පොදු ජනතාව මෙසේ හැසිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් වන්නටද හැකිය. එහෙත් මෙවැනි ජන පීඩනයක් ඇති වීමට සැබෑ ලෙසම හේතු සාධක වූ කරුණුද ඇත. එනම් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වූ රටවල් රැසකම වත්මන් පාලන තන්ත්‍රයන් මේ වන විටද කොවිඩ්-19 වසංගතය මර්දනය වෙනුවෙන් ඉතාමත් තදබල නීති, රීති පැනවීම මෙයට හේතු වී ඇත. මෙම ලිපියේ මුලින් ලියා තැබූ ඉල්ලීම් ඉල්ලා ඔවුන් අභියෝග කරන්නේ ඒ හෙයිනි. මෙම ඉල්ලීම් සාරාංශයක් ලෙස ගත් කල මෙම ජනයා පවසා සිටින්නේ, කොවිඩ් මර්දනය මුවාවෙන් තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අඩාළ නොකරන ලෙසය. ‘නිදහස ඕනෑ, නිදහස ඕනෑ’ යැයි ඔවුන් කෑමොර දෙන්නේ ඒ හෙයිනි. පසුගියදා මෙම උද්ඝෝෂණයන් කෙතරම් උග්‍ර වූයේද යැයි කිවතහොත්, දසදහස් ගණන් ජනයා සහභාගි වූ මෙම ප්‍රබල උද්ඝෝෂණයන් විසිරුවා හැරීම සඳහා රබර් උණ්ඩ, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාරද හමුදාවන් විසින් භාවිත කරන ලදී.
කෙසේ හෝ එම බොහෝ රටවලදී මෙම ජන උද්ඝෝෂණයන් පැවැත්වූයේ කිසිදු කොවිඩ්-19 වසංගත නීතිරීතියටද අදාළව නොවේ. දහස් ගණනින් රැස්වූ ජනයා කිසිදු මුව ආවරණයක් හෝ පැලඳ නොසිටීම අතිශයම අනතුරුදායක තත්ත්වයක් විය. එසේම ජනයාගේ කිසිදු දුරස්ථභාවයක් නොතිබුණු අතර, එකිනෙකා ඇලී, ගැලී එම විරෝධතාවයන් පවත්වන්නට විය. මෙම ජනතාව බහුතරයක් මෙලෙස බිය නොවී ඉදිරියට පැමිණීමට හේතු වූයේ, ඔවුන් ඒ වන විට කොවිඩ්-19 එන්නත්කරණය ලබාගෙන තිබූ හෙයිනි. එහෙත් එන්නත් ලබා නොගත් පිරිස්ද ඒ අතර විය. මේ වන විට ඇමෙරිකාවේ සහ යුරෝපයේ බොහෝ රටවල ජනතාවගෙන් 70%කට අධික පිරිසකට ලෝකයේ හොඳම එන්නත් ලබා ගැනීමට වාසනාව හිමිවී ඇත. එසේ වුවද එන්නත් ලබා ගැනීමට සිටින පිරිසද ඉතා විශාලය. මෙවැනි තත්ත්වයක් යටතේ උද්ඝෝෂණකයන් චෝදනා කර සිටින්නේ, මෙලෙස එන්නත්කරණයට ලක්නොවූ පිරිස්වලට යුරෝපීය සංගමයේ රටවල්වල පාලකයන් විසින් විවිධ තහංචි පනවා තිබීමය. එනම් එවැනි පිරිස්වලට නගරවල ඇති පොදු ස්ථානයන්ට පිවිසීම තහනම් කර ඇත. සුපිරි වෙළෙඳ සල්, ආපනශාලා, සිනමාශාලා, රාජ්‍ය කාර්යාල වැනි ස්ථානවලට පැමිණීම ඔවුන්ට තහනම්ය.
කෙසේ හෝ මෙම තත්ත්වය ඉතා දරදඬු පාලනයක් යැයි ජනතාව චෝදනා කරති. මෙම තත්ත්වය යටතේ දැනට එම යුරෝපීය රටවල් රැසක රාජ්‍ය පාලකයන් විසින් ජනතාවට ‘සෞඛ්‍ය අවසර පතක්’ නිකුත් කර ඇත. එහි විශේෂයෙන් සඳහන් කර ඇත්තේ එක්, එක් පුද්ගලයන්ගේ එන්නත්කරණය ගැන තොරතුරුය. එසේම මෙතෙක් එන්නත්කරණය සිදුනොකර ගත් පුද්ගලයන්ට එරෙහිව ඉතා දරුණු නීති, රීති මාලාවක්ද පනවා ඇත. මෙහිදී එම රජයන් ප්‍රකාශ කර සිටින්නේ, මෙලෙස දැඩි නීති, රීති පනවා තිබීම ජනතාවගේම සුබසිද්ධිය උදෙසා සිදුකළ ක්‍රමවේදයක් බැව්ය. එහෙත් නිසි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක එසේ කළ නොහැකි යැයි ජනතාව කියති. කෙසේ හෝ මෙම සමහර උද්ඝෝෂකයන් ඉතා දරුණු ලෙස හමුදාව සහ පොලිසිය සමග ගැටෙන්නට වී ඇති අතර, පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බවලින්ද පහර දී ඇත. මේ හෙයින් ආරක්‍ෂක හමුදාද උද්ඝෝකයන්ට පහරදී අත්අඩංගුවට ගැනීම් රැසක් සිදුකර ඇත. එන්නත්කරණයට පවා ජනතාවට බලපෑම් නොකරන ලෙසට මෙම උද්ඝෝෂකයෝ රජයන්ට බලකර සිටිති. මෙම තත්ත්වය සැබෑ ලෙසම ඉතාම උද්වේගකරය.
මෙලෙස උද්ඝෝෂණ සහ විවිධ අරගල පවත්වන රටවල් 50ක පමණ ප්‍රමාණයෙන් රටවල් 40ක පමණ විරෝධතාකරුවන් කියා සිටින්නේ, කිසිදු විටෙක කොරෝනා මර්දන නීති, රීති අනිවාර්ය කරමින් ජනතාවගේ නිදහස නැති නොකරන ලෙසය. යමෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට අකැමැති නම් ඔහුට හෝ ඇයට බලහත්කාරයෙන් එම එන්නත ලබා දීම නීති විරෝධී ක්‍රියාවක් බවද ජනතාව කියා සිටිති. කෙසේ හෝ මෙලෙස කිසිදු කොවිඩ්-19 ආරක්‍ෂිත නීති, රීති සැලකීමට නොගෙන මහා පරිමාණයෙන් උද්ඝෝෂණ සහ අරගල පැවැත්වීම, තවත් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට හේතු වනු ඇතැයි ඉහත රටවල්වල රජයන් අනතුරු හඟවා ඇත. එහෙත් ජනතාව එම උපදේශ තඹයකටවත් මායිම් කරන්නේ නැත.
‘කොරෝනා නිදහස’ ඉල්ලා මෙලෙස සිදුකරන උද්ඝෝෂණවලට රටවල් කිහිපයකම විවිධ දේශපාලනික අරගල කිහිපයක්ද පැවැත්විණි. මෙම ජනතා අරගල පැවැත්වූ රටවල් වන්නේ ඉන්දියාව, කියුබාව, ටියුනීසියාව සහ දකුණු අප්‍රිකාව වෙයි. පසුගිය කාලයේ මුළුමහත් ඉන්දියාවම මහා විනාශයකට පත්කළ කොරෝනා මාරක වසංගතය යම් පමණින් සහනයකට පත්වන්නට ගතවූයේ සති දෙක, තුනක් පමණි. ඉන්දියාව පුරා මහා අරගලයක් කිරීමට කටයුතු කළේ ඉන්දියානු ගොවි ජනතාවය. අලුතින් පසුගියදා ඉන්දීය රජය විසින් අනුමත කර ගන්නා ලද කෘෂිකර්ම නීති, රීති පනත මගින් ගොවි ජනතාව මහත් අගාධයකට පත්වන බැව් ඔවුන් චෝදනා කරමින්, ඉන්දියාව පුරා උද්ඝෝෂණ දියත් කළේය. මේ අතර පසුගියදා දශක ගණනාවකට පසු කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ජනතාව දහස් ගණනින් වීථි බැස අරගල සිදුකරන්නට විය. ඔවුන් එක් හඬින් කියා සිටියේ, වත්මන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයාස් වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බැව්ය. කියුබාව මහා ආර්ථික ප්‍රපාතයකට ඇදවැටී ඇති බවත්, එයට වගකිව යුත්තේ වත්මන් ජනාධිපතිවරයා බවත් ජනතාව චෝදනා කරති. රට තුළ ආහාර සහ ඖෂධ හිඟයක් ප්‍රබලව ඇති බවත් ඔවුහු පවසා සිටිති. මේ අතර පසුගියදා ටියුනීසියාවේ වත්මන් රජයත්, පාලකයනුත් වහා ඉල්ලා අස්විය යුතු යැයි ජනතාව උද්ඝෝෂණය කළේය. ලෝකයේ පසුගිය දිනවල ඇති වූ උද්ඝෝෂණයන්ගෙන් අපූරුම අරගලය ඇති වූයේ දකුණු අප්‍රිකාවේය. එනම් එරට හිටපු ජනපති ජෙකොබ් සුමා සිරගත කිරීම නිසා එම ජනතා අරගල ඇති වූ අතර, උද්ඝෝෂකයන් කළේ නගරවල්, කඩසාප්පු කොල්ලකෑමය.
ප්‍රියන්ත හෙට්ටිගේ










