පාකිස්තානයේ මාධ්‍යවේදී අසාද් අලි ටූර්ට එල්ලවූ මැර ප්‍රහාරය හෙළාදැකීම උදෙසා උද්ඝෝෂණයක් පසුගියදා ඉස්ලාමාබාද් නගරයෙන් බැහැර පැවැත්විණි. එම උද්ඝෝෂණයට ඉස්ලාමාබාද් මාධ්‍ය සංසදයේ සියලු සාමාජිකයෝ සහභාගි වී සිටියහ.
අසාද් අලි ටූර් මාධ්‍යවේදියාට ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ නිවෙසේදීමය. හේතුව අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලනයේ දූෂණ එළිකිරීමය.
උද්ඝෝෂණයට ආසන්න හේතුව එම පහරදීම වුවද මේ වන විට පාකිස්තානයේ සියලු මාධ්‍යවේදීන්ට අත්විඳින්නට සිදුවී ඇත්තේ මරණාසන්න අත්දැකීම්ය.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා ජනමාධ්‍යවේදිනියක ද වන සෙයිදා මයිවාත් ජුනූ මොහිෂීන් ඉලක්ක කර නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ඇය දිවි ගලවාගත්තී අනූනවයයි තුන්කාලෙනි.
ආණ්ඩුව මාධ්‍යවේදීන්ට එරෙහිව ගෙනයන දැඩි මර්දනකාරී ක්‍රියාවලිය මෙන්ම ආණ්ඩුවේ අතිශයින් දූෂිත වංචා ගැනද මාධ්‍ය නිදහස ගැනද කතාකරන එරට ප්‍රවීණ මාධ්‍යවේදී හමිඩ් මිර්, එම උද්ඝෝෂණයේදී ආණ්ඩුවේ අහිතකර ක්‍රියාවලිය දෝෂදර්ශනයට ලක්කරන ලදී. ඔහු වසර ගණනාවක සිට අඛණ්ඩව රජයේ හිතුවක්කාර දූෂිත ක්‍රියා විවේචනය කෙළේය. ඔහු සැමදා හමුදා ඒකාධිපති පාලනයට එරෙහිව කටයුතු කෙළේය. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී කරච්චියේ දී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ සිද්ධියේදී වැදුණු මූනිස්සම් ගණනාවක් තවමත් ඔහුගේ සිරුරේ තිබේ.
පාකිස්තානයේ මාධ්‍යවේදීන් 1990 සිට මේ දක්වා 138 දෙනකු ඝාතනය වී ඇත. ඝාතනය වූ සියලු මාධ්‍යවේදීන් පිළිබඳ, තොරතුරු ජාත්‍යන්තර මාධ්‍යව්දීන්ගේ සංසදයෙන් ප්‍රකාශයට පත් කෙරී ඇත.
මාධ්‍යවේදීන් දඩයම් කිරීම උදෙසා ආරක්‍ෂක අංශවල සාමාජිකයන් යොදාගැනීම නින්දිත ක්‍රියාවක් බව කී හමිඩ් මිර් “මාධවේදීන්ට තුවක්කු නෑ, යුද ටැංකි නෑ. ඒත් පෑන ඊට වඩා බලවත්. අපි ආණ්ඩුවේ රහස් ඔක්කොම එළිකරනවා”යැයි ප්‍රකාශ කෙළේය.
පාකිස්තාන ජනතාව වැඩියෙන් ආකර්ෂණීය වූ ද, එරට විශාලම මාධ්‍ය ජාලය වශයෙන් සැලකෙන්නා වූ ද ජියෝ ඒ.වී. මාධ්‍ය ආයතනයේ අහමිඩ් මිර් සේවය කෙළේය. උද්ඝෝෂණයට සහභාගි වූ දින දෙකකට පසුව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිණි.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන අබ්සාර් අලාම් මානව අයිතිවාසිකම් ගැන නිරන්තරයෙන් කාත කළ කෙනෙකි. රජයේ ක්‍රියාකාරකම් නිසා මහජනයා විඳින පීඩාව ගැන විස්තර හෙතෙම සමාජගත කෙළේය. ඒ නිසා ඔහු රාජද්‍රෝහියකු වශයෙන් නම්කරනු ලැබුවේය. පසුගිය අප්‍රේල් 20 වැනිදා අබ්සාර් අලාම් නමැති මේ මනුස්සයා වෙඩි කා මියගියේය.
ගුල් බුකාරි පාකිස්තානු ‘ඩේලි ටෛමස්’ සහ ‘ද නේෂන්’ යන පුවත්පත්වල තීරු ලිපි රචිකාවකි. ඇය රාජකාරි නිමවා 2018 දිනෙක නිවෙසට ආපසු එමින් සිටියදී පැහැරගෙන යනු ලැබුවාය. පසුව මුදාහැරිණි.
මැතිවරණ අක්‍රමිකතා සහ ඒ සඳහා ආරක්‍ෂක අංශ යොදාගැනීම් පිළිබඳ ලිවීම නිසා ඇය පැහැරගැනීමට හේතු විය. හමුදාව සම්බන්ධ පුවත් ලිවීම ඉන් පසු රජයෙන් තහනම් කෙරිණි.
ඉම්රාන් ඛාන්ගෙ ආණ්ඩුවේ මතය. “මාධ්‍ය නිදහස සඳහා අරගල කිරීමට මාධ්‍යයට අයිතියක් නිදහසක් ඇති බවයි. එහෙත් ඒ සියල්ලම කළ යුත්තේ හමුදා නායකත්වයෙන් පමණක් බව ආණ්ඩුවේ ස්ථිර මතයයි.”
“පාකිස්තානයේ මාධ්‍යවේදීන් මුහුණපා සිටින අවදානම් තත්ත්වය හමිඩ් මිර්ගෙ සිද්ධියෙන් ජාත්‍යන්තරයට ගියා. හමුදාවෙ වෙනමම කණ්ඩායමක් ඉන්නවා මාධ්‍යව්දීන්ට “හිරිහැර” කිරීම සඳහා. අසාද් අලි ටූර්ට පහරදුන්නේත් ඒ කණ්ඩායමයි. ඔහුට පහරදීමෙන් මාධ්‍යවේදීන් බියගන්වනවා යැයි සිතීම පවා හීනයක්. ඒකෙන් වුණේ හමුදාවෙ මැරකමට එරෙහිව නැගීසිටීමට මාධ්‍යවේදීන්ට තව තවත් ශත්තිය ලැබීමයි. ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ඇමැති ගොන්න කියන්නෙ එංගලන්තයෙත් නැති මාධ්‍ය නිදහසක් පාකිස්තානෙ තියෙනවා කියලයි. විළි ලැජ්ජයි” ඇය කීවාය.
“ෂාෂ් ෂෙබ් ජිලානි” පාලක පක්‍ෂයේ ඉලක්කයක් වූ තවත් මාධ්‍යවේදියෙකි. ආණ්ඩුවේ පරීක්‍ෂණ නියෝජිතායතනය ඔහුට එරෙහිව සයිබර අපරාධ නඩුවක් පවරා තිබේ. ඊට අවම දඬුවම වසර දාහතරක් බන්ධනාගාරගත කිරීමයි.
“මම අධිකරණයේ නඩුවට පෙනීසිටින මේ වෙලාවෙ මා රැකියාව කළ ආයතනය මගේ රැකියාව නැති කළා. මට එල්ල කර ඇති චෝදනාව මුදල් වංචාවක්. කාට කියන්න ද? දැන් මට තියෙන්නෙ රට හැරල යන්නයි. මාව රාජද්‍රෝහියකු බවට හංවඩු ගහල තියෙන නිසා මට කිසිම ආයතනයක් මින් පස්සෙ රැකියාවක් දෙන්නෙ නෑ” ෂාෂ් ෂෙබ් ජිලානි මාධ්‍යයට කීවේය.
ෆාවුඩ් චෞද්‍රි ඉස්සර මාධ්‍යවේදියෙකි. වර්තමානයේ පාකිස්තානයේ තොරතුරු සහ සන්නිවේදන ඇමැතිවරයායි.
ප්‍රධාන මාධ්‍ය ධාරාවට අනුගත නීති පද්ධතියම සෙසු මාධ්‍යවලටද පැනවීමට හෙතෙම මේ දිනවල පනතක් සකස් කරයි.
‘ජෙඩ්ඩෝ ජෙහාඩ්’ පුවත්පතේ සංස්කාරක සහ ‘මීඩියා ඉම්පීරියලිසම් ඉන් ඉන්ඩියා ඇන්ඩ් පාකිස්තාන්’ යන ග්‍රන්ථයේ කර්තෘ ෆාරුක් සුලේරිය පවසන්නේ “මාධ්‍ය නිදහස ඇත්තේ නිදහස් සමාජයක බව”යි.
චන්ද්‍රසේන මාරසිංහ










