චීනයේ මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ විරූ ආකාරයේ දරුණු ශිෂ්‍ය අරගල රැසක් උද්ගතව ඇති අතර, චීන පොලිසිය මෙම විරෝධතාවන් ඉතාමත් ක්‍රෑර ලෙස මෙල්ල කිරීමට කටයුතු කරමින් සිටියි.
මෙම අරගලවලට යොමුවී ඇත්තේ චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකම සිසු සිසුවියන් වන අතර පසුගියදා චීනයේ ජියාන්සු නගරයෙන් එම උද්ඝෝෂණ ඇරැඹිණි.
ඒ සඳහා සිසුන් මෙන්ම ඔවුන්ගේ මවුපියන් පවා සහභාගි වී ඇති අතර සිසුන් පොලිසිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.
එහිදී පොලිසිය මෙම උද්ඝෝෂකයන් මෙල්ල කිරීම සඳහා විවිධ ක්‍රෑර මර්දන ක්‍රම භාවිත කර ඇත.
පහරදීම්, ඔසවාගෙන යෑම් ආදිය සිදුකරමින් සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවටද ගෙන ඇත. චීනයේ විශ්වවිද්‍යාල සිසුන් මෙම උද්ඝෝෂණ අරඹා ඇත්තේ තමන්ගේ අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් වෙනත් වෘත්තීමය උපාධි පාඨමාලාවක් සඳහා මාරු කිරීමට ගත් රාජ්‍ය තීරණයට එරෙහිවය.
එනම් සිසුන් චෝදනා කර ඇත්තේ තමන්ගේ අභ්‍යන්තර විශ්වවිද්‍යාල උපාධියෙහි ඇති ප්‍රමිතිය වෙනස් කරමින් එය වෘත්තීමය පුහුණු උපාධි පාඨමාලාවක් වෙත පරිවරතනය කිරීම මෙම නව අධ්‍යාපන ක්‍රියාවලය බවයි.
තමන්ට සමාජයෙහි වඩාත්ම පිළිගැනීම ඇත්තේ විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් බවත්, එයින් හිමිකර ගනු ලබන උපාධිය බවත් සිසුහු පවසති. කෙසේ හෝ මෙම නව තීරණය ගෙන ඇත්තේ චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බව ප්‍රකාශ වෙයි.
මෙම උද්ඝෝෂණ සඳහා වෛද්‍ය විශ්වවිද්‍යාල, ඇතැම් ඉංජිනේරු, ව්‍යාපාර, මුල්‍ය වැනි සියලු පීඨයන්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල කිහිපයකම සිසුන් එක්ව සිටිති. චීනයේ දරුණු සමාජවාදී රාජ්‍ය පාලන ක්‍රම රටාවට එරෙහිව සිසුන් දොස් නගන අතර මෙවර සිසුන් ‘සමාජවාදී යකඩ හස්තය’ට එරෙහිව නැඟීසිටිනු ඇතැයිද පැවැසෙයි.











