ටෙලිනාට්‍ය බලනවා වගේ සුන්දර නැහැ රඟපාන්න ගියාම…
පොඩි කාළේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්කා…
තම ආදරණීය පියාගේ උරුමය තියාගෙන මේ දවස්වල ‘පාර දිගේ’ අක්කා-නඟෝ දෙන්නා එකට පැටලුණු ගමන්මයි කාලය ගෙවන්නේ. ‘මානවි’ චරිතයට පණ පොවන ඇය ටෙලියක ඔබට හමුවන අලුත් මුහුණක්. ඉතින් ‘මානවි’ ලෙසට ඔබ හමුවට එන ඇය ස්වප්නා පාදුක්ක. ඇය මේ විඳින කුලුඳුල් නිර්මාණ අත්දැකීම ගැන කතා කිරීමට අප හිතුවා.
🔴 ස්වප්නා ඔබ රංගනයට පැමිණි අලුත් මුහුණක්. ඔබේ විස්තර ටිකක් මුලින් කිව්වොත්?
මම ස්වප්නා පාදුක්ක. මගේ ගම්පළාත ජා-ඇළ ප්‍රදේශයේ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි තමයි ඉන්නේ.
🔴 එතකොට ඔබ පාසල් ගියේ?
කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විදුහලට.
🔴 පුංචිම කාලේ ඉඳලම තිබුණු සිහිනයක්ද මේ?
ඔව්… මම පොඩි කාලේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්කා. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම මෙවර ‘ස්වර්ණ’ අවුරුදු කුමරියට අයැදුම් කළේ. ඒ හරහාවත් මට මේ ක්ෂේත්රයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි කියලා. ‘ස්වර්ණ කුමරිය’ අවසන් පහළොස් දෙනා අතරට මාව තේරුණා.
🔴 ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ‘මානවි’ ලෙසට රඟපෑමට අවස්ථාව ලැබුණේ කොහොමද?
‘ස්වර්ණවාහිනි’ය හරහා තමයි මට ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ‘මානවි’ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ. මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට කලා ක්ෂේත්රයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි කියලා.
🔴 ‘මානවි’ ඔබ හිතුවාට වඩා වෙනස්ම විදිහේ චරිතයක් නේද?
ඔව්… නිරූපණය කිරීමට ලැබුණු පළමු චරිතය නුහුරු අත්දැකීමක්. මානවිට තව නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි අපි දෙන්නා එක අම්මගේ දරුවො වුණාට, තාත්තලා දෙන්නෙක්ගේ දරුවන් දෙන්නෙක්. ඉතින් හැම වෙලාවෙම දෙන්නම රණ්ඩුවෙන් තමයි ජීවත් වෙන්නේ.
🔴 හිතපු තරම් පහසු නැහැ නේද රඟපාන එක?
ඇත්තටම ඔව්… අපි ටෙලිනාට්‍යයක් බලන තරම් සුන්දර නැහැ චරිතයක් නිරූපණය කිරීමට කැපවෙන එක. මට එවේලේ හිතුණා අපේ ප්‍රවීණ කලා ශිල්පීන් මොන තරම් කැප කිරීම් කරලා මේ තැනට එන්න ඇතිද කියලා. හැබැයි අපි අලුත් කියලා පැත්තකට කරලා දැම්මේ නැහැ. සියලුම දෙනාගෙන් ලොකු සහායක් ලැබුණා මට.
🔴 ඔබේ මවුපියන් ලෙසට රඟපාන්නේ ජනප්‍රිය ශිල්පීන් දෙපළක්. ඔවුන්ගෙන් ලැබුණු සහාය ගැන කිව්වොත්?
ගයත්‍රි ඩයස්, රොෂාන් පිලපිටිය ප්‍රවීණ ශිල්පීන් දෙපළ තමයි මගේ මවුපියන් ලෙසට රඟපාන්නේ. මමත් බයේ හිටියේ එයාලා සමග රඟපාන්න. හැබැයි චරිතයට ගැළපෙන විදියට මගේ මනස හැදුවා. හැම වෙලාවෙම අඩුපාඩුකම් පෙන්වා දෙමින් හරිම සහයෝගයෙන් තමයි අපි වැඩ කළේ.
🔴 දැන් ඉතින් එක දිගට ආරාධනා එනවා ඇති නේද?
වෙළෙඳ දැන්වීම් කිහිපයකින් මට කතා කළා. ආරාධනා ලැබුණු පළියට මම එහෙම රඟපෑමට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි අදහස තියෙන්නේ.
🔴 ‘මානවි’ චරිතයට ඔබේ ජීවිතයෙනුත් සමීප කරගත්තු දේවල් තියෙනවද?
‘මානවි’ සහ මම දෙස බලන විට චරිත දෙකක් තමයි තියෙන්නේ. මොකද මම පොඩ්ඩක් නිහඬ, සංවේදී චරිතයක්. ඉතින් මටම දැන් හිතාගන්න බැහැ ඒ ‘මානවි’ තුළ ඉන්නේ මමද කියලා.
🔴 මේ දවස්වල එළියට බහින්නත් බැරි කාලයක තමයි ඉන්නේ. එහෙම ඉන්න මොහොතක ප්‍රේක්ෂකයන් ඔබව දැනහඳුන ගන්නවාද?
අන්තර්ජාල හරහා මාව ගොඩදෙනෙක් දැන හඳුනනවා. ප්‍රතිචාරත් හොඳයි. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගොඩදෙනෙක් ‘පාර දිගේ’ බලන බව හිතෙනවා. මාක්ස් එක දාගෙන පාරට බැස්සත් ගොඩදෙනෙක් අහනවා ඔයා නේද ‘මානවි’ ලෙසට රඟපාන්නේ කියලා.
– වසන්ත විතාරණගේ











