ආණ්ඩුව හිතුවක්කාරී ලෙස තෙල් මිල ඉහළ නැංවීම හරහා තෙල් සංස්ථාවට වඩා ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමේ ලාභය දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
‘මේ මිල වැඩිකිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් රු. 157 දක්වා ගෙනත් තිබෙනවා. ගොඩබෑමේ වියදම රු.97.70යි. සැකසුම් වියදම් හැටියට 10.60ක්. එකතු කරනවා. මූල්‍ය පිරිවැය රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් එකතු කර තිබෙනවා. ඒවගේම රු.39.33ක බද්දක් එකතුකර තිබෙනවා. රු. 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. මේ තුළ තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රු. 6.44ක ලාභයක් තෙල් සංස්ථාව ලබනවා. මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඊට අමතරව සැකසුම් පිරිවැය හැටියට එකතු කර තිබෙන 10.60ක මුදලත් අයි.ඕ.සී. එකේ ලාභයක් හැටියට එකතු වෙනවා. 92 පෙට්‍රල් කාණ්ඩයෙන් විතරක් මේ ආකාරයේ අමතර ලාභයක් ලබාගන්නවා. තෙල් සංස්ථාව මිලදී ගන්නේ ණයවර ලිපි නිකුත් කිරීමෙන්. ඒ වෙනුවෙන් අමතර මුදලක් වියදම් වෙනවා. බැංකු ණය වෙනුවෙන්ද සංස්ථාව අමතර මුදලක් එකතු කරනවා. මේ වගේ අමතර විදයම් කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාවට දරන්න වෙනවා. හැබැයි අයි.ඕ.සී. සමාගමට මේ වියදම් අදාල වෙන්නේ නැහැ. මේ අනුව මිල වැඩි කිරිමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84ක අමතර ලාභයක් ලබනවා. තෙල් සංස්ථාවට වඩා දෙගුණයක ලාභයක් මේ මිල ගැලපීම් අනුව අයි.ඕ.සී සමාගමට ලැබෙනවා.
ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ තෙල් සංස්ථාවට කොටසක් ලබාගන්න අතර අයි.ඕ.සී. එකට විශාල ලාභයක් ලබාගන්න ඉඩ හදලා දෙනවා. අපේ රටේ ජනතාවට ඉතාම පැහැදිලිව බරපතල අර්බුදයන් මේ තුළින් ඇති වෙනවා. එදා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙද්දී ඒ සහනය ජනතාවට ලබා නොදී එකතු කර ගත්ත මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න අද බැරිවෙලා තියෙන්නේ ඇයි? මිල ස්ථාවර කර ගන්න කෝටි 20,000ක් එකතු කළ අරමුදලට අද මොකද වෙලා තියෙන්නේ? එක පැත්තකින් රු.කෝටි දහස් ගණන් මහජන මුදල් වියදම් කරලා මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන්න යනවා. ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සත පහකින්වත් අඩුකරගෙන නැහැ. ඒ සියල්ල ජනතාවගෙන් අයකරගන්නා අතර තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා විකුණා දමන්නත් එක පැත්තකින් සැරසෙනවා. මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මුග්ධ ක්‍රියාවලිය පරාජය කරන්න රටක් හැටියට වහාම එකතු වෙන්න ඕනෑ. අපි ආණ්ඩුවට බල කරන්නේ එදා තෙල් මිල අඩුවුණු වෙලාවේ අයකරගත් සහනය වහාම ජනතාවට දෙන්න ඕනෑ. මේ ක්‍රියාවලිය ඇතුළේ අයි.ඕ.සී. සමාගම වැනි ආයනත සතුටු කිරීමේ ක්‍රියාවලිය නතර කරන්න ඕනෑ. තෙල් මිලේ පීඩාව ජනතාවගේ කර මත පටවන්නේ නැතිව වගකීමෙන් ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා.’










