පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටී.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ඒ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.
“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතරතුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.“










