ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරම් ලෝක ජනතාවගේ සිතට සැනසුම උදා කරදුන් තවත් වෘක්ෂයක් මේ ලෝකයේම නැහැ. ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ ඉපැරැණිම වෘක්ෂය ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් සෑම දෙනාගේම දුකට සතුටට පිහිට වෙනවා. අදටත් බොහෝ දෙනා තමන්ගේ දුක් ගැනවිලි උන්වහන්සේට කියන්නේ ඒකයි. අලුතින් දෙයක් පටන් ගනිද්දී, විභාගයකට මුහුණ දෙද්දී, බාර හාර වෙන්න උන්වහන්සේ හොයා ගෙන යන්නේ ඒ හින්දයි. ඒ හැමදේමට උන්වහන්සේගෙන් පිහිට ලැබෙන බවට බොහෝ දෙනා තුළ තියෙන විශ්වාසය අදටත් ඒ විදියමයි.
ලෝපුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙලා තිබුණත් ශ්‍රී මහා බෝධියට එල්ල වෙලා තියෙන තර්ජනත් ඉතාම ඉහළයි. අද ඊයේ ඉඳන් නෙවෙයි ඈත අතීතයේ ඉඳන්ම ඒ වගේ තර්ජන රාශියක් ශ්‍රී මහා බෝධියට එල්ල වෙලා තියෙන බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක බලා ගැනීම සඳහා ඒ වෙනුවෙන්ම කැප වූ වෙනම කණ්ඩායමක් යොදවන්න ඒ කාලේ ඉඳන්ම කටයුතු යොදලා තියෙන්නෙත් අන්න ඒ හින්දයි.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධි අංකුරය ලංකාවට රැගෙන ආ දිනයේ පටන්ම ඒ විශේෂ කණ්ඩායමට ශ්‍රී මහා බෝධිය රැක බලා ගැනීමේ වගකීම පැවරී තිබීමත් විශේෂත්වයක්. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟම මෙරටට ආ එම කණ්ඩායම විල්ලි වංශිකයන් ලෙස තමයි හඳුන්වන්නේ. වසර 2500කට ආසන්න කාල සීමාවක් පුරා තම දිවි දෙවෙනි කොට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක බලා ගත් මේ පරපුර අදටත් තම යුතුකම නොපිරිහෙලා ඉටු කරනවා. විල්ලි වංශයේ මහධුරන්ධර බෝධිදාසිරි ජයවර්ධන මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම තම පරම්පරාවද රැකබලා ගනිමින් වර්තමානයේදී ඒ සඳහා නායකත්වය අරගෙන තියෙනවා.
ජය ශ්‍රී මහා බෝධිය ගැන අපි බොහෝ දේ කතා කරලා තියෙන බව ඇත්ත. බොහෝ දේ අහලා තියෙන බවත් ඇත්ත. ඒත් මේ උතුම් වස්තුව පිළිබඳ අපි නොදන්න දේ තවත් බොහොමයි. ඒ වගේම අපි අතීතයේ ඉඳන් අහලා තියෙන තොරතුරු වර්තමානය වෙද්දි වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතිං ඒ හැම දෙයක් ගැනම දැන ගන්න නියම සුදුස්සා තමයි බෝධිදාසිරි ජයවර්ධන මහත්තයා. කවුරුත් දන්න විදියට කිව්වොත් ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපු මහත්තයා. ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන භාරකරුවා විදියට ඒ මහත්තයා උන්වහන්සේ සම්බන්ධ සෑම දෙයක් ගැනම ඉතාම හොඳින් දන්නවා.
ඒ හින්දා ඒ හැම දෙයක් ගැනම තොරතුරු කතා කරන්න අපි විල්ලි වංශයේ මහධුරන්ධර බෝධිදාසිරි ජයවර්ධන මහත්තයා හමුවුණා. මෙතෙක් අපි අසා නොතිබුණු ජය ශ්‍රී මහා හාමුදුරුවන් සතු විස්මයජනක සංසිද්ධියක් ගැන මතක් කරන ගමන් තමයි ඒ මහත්තයා කතාබහ ආරම්භ කළේ. ජයවර්ධන මහත්තයා කියන විදියට රටේ ලෝකයේ සිදුවෙන සුබ අසුබ දේ ගැන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපූරු පෙරනිමිති පෙන්වනවා.
“හැම අවුරුද්දකටම දෙසැරයක් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පත්‍ර හැලෙනවා. ඒ හැලෙන පත්‍ර මඟින් රටේ ලෝකයේ ඉදිරි කාලය සුබදායකද නැද්ද කියන එක කියන්න පුළුවන්.”
ඒක ඇත්තටම අපි හැමෝටම පුදුම හිතෙන කතාවක්. කොහොමද ඒ වෙනස හඳුනගන්නේ කියලා දැන් ඔබේ හිතට එන ප්‍රශ්නය තමයි ඒ වෙලාවේ මගේ හිතටත් ආවේ.
“උන්වහන්සේගෙන් වැටෙන පත්‍ර වෙනදා වගේම තැන්පත් නම්, කිසිම වෙනසක් නැත්නම් ඉදිරි කාලය රටට ලෝකයට ඉතාම යහපත් කියලා අපි දන්නවා. හැබැයි ඒ පත්‍ර වෙනස් වෙලා නම්, යම් පලුදු සිද්ධ වෙලා නම් ඒක අපිට විතරක් නෙවෙයි මුළු රටට ලෝකයටම හොඳ නෑ කියලා අපි දන්නවා. එහෙම වුණාම වසංගත, ලෙඩ රෝග පැතිර යන කාලයක් ඇති වෙනවා කියලා අපි දන්නවා. පසුගිය කාලයේදීත් එවැනි ලක්ෂණ පේන්න තිබුණා. ඉදිරියේදී මෙහෙම වේවි කියලත් අපි කිව්වා.”
බෝධිදාසිරි ජයවර්ධන මහත්තයා අදහස් දැක්වූයේ එහෙමයි.

පසුගිය අවුරුදු දෙකක විතර කාලය ගෙවිලා ගියේ ඉතාම නරක විදියට. ඒක අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම එක විදියට බලපෑවා. ඇත්තටම ඒ වෙලාවෙත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස්ගෙන් වැටුණු පත්‍ර වෙනස් වෙලා තිබුණද කියන ප්‍රශ්නයත් අපි එතුමාගෙන් ඇහුවා.
“ඔව්. අපිට ඒක තේරුණා. අපි ඒ ගැන පුළුවන් හැමෝටම කියලත් තියෙනවා. ඒත් කියනවා ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් නැහැනේ.”
ජයවර්ධන මහත්තයා පිළිතුරු දුන්නේ එහෙමයි.
ඒ මහත්මයා කියන විදියට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතු මෙවැනි විස්මිත කාරණා රාශියක් තියෙනවා. ඒත් ඒ හැම දෙයක් ගැනම ප්‍රසිද්ධියේ කතා කරන්න සුදුසු නැහැ කියලයි එතුමා කියන්නේ. ඒ අතරේ ශ්‍රී මහා බෝධියේ පත්‍ර සම්බන්ධයෙන් අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන කතාවක් ගැන තොරතුරුත් අපි ඒ මහත්මයාගෙන් ඇහුවා.
ජය ශ්‍රී මහා බෝධියෙන් වැටෙන පත්‍ර සුළඟෙ පාවෙලා ගිහින් බසවක්කුලම වැවට වැටෙනවා කියලයි අපි අහලා තියෙන්නේ. ඒ හින්දා අදටත් ඒක ඒ විදියටම සිද්ධ වෙනවද කියන ප්‍රශ්නය ජයවර්ධන මහත්මයාට යොමු කළා.
“දැනට අවුරුදු 600කට කලින් ඒ හාස්කම තිබිලා තියෙනවා. ඒ කාලේ මේවා මහ කැලේ. ගිනිමැල ගහගෙන තමයි අපේ පරම්පරාවේ අය අලි ඇතුන්ගෙන් ජය ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ගත්තේ. ඒත් දැන් මේවා එළි වෙලා. ඒ හින්දා දැන් සමහර දේවල් වෙනස් වෙලා. හැබැයි ඊට වඩා අපි දකින බොහෝ හාස්කම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතුව තියෙනවා. ඒ දකින දේවල් හරි සුන්දරයි. පුදුමසහගතයි. ඒත් ඒ දේවල් කියන්න හොඳ නැහැ. එහෙම කියන එක අපිට පව්.”
ශ්‍රී මහා බෝධියේ මහධුරන්ධරය දරන ජයවර්ධන මහත්තයා පිළිතුරු දුන්නේ එහෙමයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතු විස්මය පිළිබඳ සෑම දෙයක්ම කතා කරන්න අකමැති වුණත් තම පරපුරේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් තොරතුරු කියන්න ජයවර්ධන මහත්මයා කැමැති වුණා.
“අපි පාන්දර හතරට තමයි වැඩ පටන් ගන්නේ. උදේ හයට තේවාව සිද්ධ කරනවා. ඊළඟට ආයෙත් දවල් 12 ඉඳන් සවස 2 වෙනකම් මළුව වහනවා. ශුද්ධ පවිත්‍ර කරන්න. රෑ 9 වෙද්දි උඩ මළුව සම්පූර්ණයෙන්ම වහනවා. රෑ 10ට පහළ මළුවත් වහනවා. ඊට පස්සේ අක්කර හතරක භූමි භාගය අපි සම්පූර්ණයෙන්ම පිරිසුදු කරනවා. ඒ අතරේ එළිවෙනකම්ම ජය ශ්‍රී මහා හාමුදුරුවෝ රකිනවා. වවුලෙක් වැහුවොත් එළවන්න ඇරෙන්න අපි කවුරුවත් ඒ වෙලාවට මළුවට යන්නේ නැහැ.
ඒ වෙලාවට තමයි දෙවි දේවතාවුන් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ. රහතුන් වහන්සේලා වන්දනා කරන්නේ. ඒ හැමදෙයක්ම සත්‍යයි. ඒ හින්දා පාන්දර හතර වෙනකම් අපි කවුරුවත්ම උඩ මළුවට යන්නේ නැහැ.”
ඒ ජයවර්ධන මහත්මයාගේ අදහස්.

මීට වසර කිහිපයකට පෙර හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්තයා ගත්ත ඡායාරූපයක් අදටත් ශ්‍රී මහා බෝධිය අසල ප්‍රදර්ශනයට තබා තියෙනවා. දෙවි දේවතාවුන් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරන ආකාරය එහි සටහන්ව තියෙනවා කියලයි කියන්නේ. මේක කියවන ඔබත් ඒ ඡායාරූපය දැකලා ඇති. ජයවර්ධන මහත්තයාට මතක විදියට 2008 වසරේදී පමණ තමයි ජයවික්‍රම මැතිතුමා ඒ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඒ වගේම ගාමිණී ජයවික්‍රම මැතිතුමා ඉතාම හොඳ බැතිමතෙක් කියලත් ජයවර්ධන මහත්තයා මතක් කරනවා.
මේ කතාව අතරෙදි තමන් මුහුණ දීලා ඉන්න ප්‍රශ්න රාශියක් ගැනත් ජයවර්ධන මහත්තයා සිහිපත් කළා. තමන්ට පාරම්පරිකව හිමි වෙලා තියෙන ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න තමයි ඒ අතරින් ප්‍රධාන. ඒ ගැන ජනාධිපතිවරයාව පවා දැනුවත් කරන්න විල්ලි වංශිකයන් කටයුතු කරලා තියෙනවා.
ඊට අමතරව ජනතාවගේ නොදැනුවත්කම හින්දා තම පරම්පරාව මුහුණ දීලා තියෙන අපහසුතාවයක් ගැනත් ජයවර්ධන මහත්තයා මතක් කළා. අපි හැමෝම දන්නේ ශ්‍රී මහා බෝධිය ළඟ ඉන්නේ කපු මහත්වරු කියලනේ. ඒත් තමන්ට ඒ විදියට අමතන එක වැරැදියි කියලයි එහි ප්‍රධාන භාරකරුවා කියන්නේ.
“අපි කපු මහත්වරු නෙවෙයි. දේවාලවල තමයි කපු මහත්වරු ඉන්නේ. අපි දරන්නේ ධුරයක්. මට ප්‍රධාන කපුමහත්තයා කියන එක වැරැදියි. මගේ නිලය තමයි මහධුරන්ධර කියන එක. ඒ වගේ ධුර දරන පිරිසක් තමයි අපේ වංශය. ඒ හින්දා කපු මහත්වරු කියන වචනය අපිට යොදන එක හොඳ නැහැ.”
ඒ ජයවර්ධන මහත්මයාගේ අදහස්.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතු අපි නොදන්න තවත් බොහෝ දේ තියෙන්න පුළුවන්. සමහර විට ඉදිරියේදී ඒ දේවල් එළිවෙන්නත් පුළුවන්. ඒත් ඒ හැම දේටම වැඩිය උන්වහන්සේ ළඟදි හිතට දැනෙන සිසිලස වටිනවා කියලයි මට හිතෙන්නේ. මොකද වෙන කිසිම තැනකදි ඒ විදියේ සිසිලසක් හිතට දැනෙන්නේ නැහැ. මේ සටහන කියවන ඔබත් ඒකට සාක්ෂි සපයනවා ඇති.
චන්දන පොන්නම්පෙරුම











