මේ දිනවල ආණ්ඩුව ඇතුළේ මහත් ආන්දෝලනයකට මුහුණ දී සිටින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.
ඉකුත් බදාදා (10දා) දිනයේදී පැවැති මෙම හමුවට එම අමාත්‍යවරුන් සමඟ නායක හිමිවරුන් වන ඇල්ලේ ගුණවංශ හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම අගමැතිවරයා සමඟ අදාළ සාකච්ඡාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ද එක්ව තිබේ.
මෙම සාකච්ඡාවේදී, ලබන 22 වැනි දින ජිනීවාහි ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ගැටලු සහ ඊට ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ විශේෂ කරුණු දැක්වීමක් සිදුකොට ඇති අතර, මහනාහිමිවරුන්ද මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුව ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට ඇත.










