රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයෙකුගේ නමට ලියාපදිංචි කොට ඇති ටිපර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 40 ක් සොයා ගන්නේ ඉකුත් සතියේදීය. කොච්චිකඩේ පොලීසිය විසින් එම රථයේ රියදුරුවද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය.
එම ටිපර් රථය පස් සහ බොරළු ප්‍රවාහනයට යොදා තිබූවකි. සියල්ල ගොඩින් විසදා ගැනීමට ඇතැම් පාර්ශව උත්සහ දරා ඇතත් පොලීසියට කොන්දක් තිබීම නිසා අල්ලාගත් හෙරොයින් සමග ටිපර් රථයේ රියදුරා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළේය.
ගැටලුව ඇත්තේ මෙයට පෙරත් මේ ආකාරයට ටිපර් රථ රියදුරා හෙරොයින් ප්‍රවාහනය කර තිබේදැයි කියාය. ඉන්දික අනුරුද්ධ ඇමතිවරයාගේ සහෝදරයා නම් පොලීසියට සඳහන් කර ඇත්තේ රියදුරා සේවයට ගත්තේ එදාමයි කියාය.
පළමු දවසේ රාජකාරියට පැමිණි රියදුරෙක් බියක් සැකක් නොමැතිව එතරම් හොරොයින් ප්‍රමාණයක් තබා ගනීවි යැයි විශ්වාස කළ නොහැකිය. රියදුරා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පවා මෙතෙක් අනාවරණය වී නැත. මත්කුඩු භාවිතා කරන්නෙක් පවා එතරම් මත්කුඩු තොගයක් භාවිතය සඳහා ළඟ තබා ගන්නේද නැත.
පොලීසිය පැත්තෙන් නම් සැකකරන්නේ මත්කුඩු ජාවාරමක් ක්‍රියාත්මකව ඇති බවකි. පොලීසියට මේ ගැන ඔත්තුව ලැබෙන්නේද පස් ප්‍රවාහන ටිපර් රථවලින් හෙරොයින් බෙදාහැරීමක් සිදුවන බවටය. ඒ ගැන වැඩි යමක් සොයන්නට පොලීසියට කොන්දක් තිබුණත් ඊට අවස්ථාවක් නොවීය.










