කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන් පිටත වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. Sri Lanka Latest News
පොලිස්පතිවරයාගේ ඍජු නියෝග මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා විසින් මෙම දැවැන්ත ස්ථාන මාරුවීම් සිදු කර ඇති අතර, ඒ වෙනුවට නව නිලධාරීන් පිරිසක් කල්පිටිය පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කර ඇත.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පොලිස් ස්ථානයක සහ එකම කොට්ඨාසයක සේවයේ නිරතව සිටීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කල්පිටිය පොලීසියේ නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ද, තවත් නිලධාරීන් 15 දෙනෙකු ජූනි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ද මාරු කර තිබේ. මීට අමතරව නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් 8 දෙනෙකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසය වෙත මාරු කිරීමට කටයුතු කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 15 වැනිදා හලාවත ප්‍රදේශයේදී පුත්තලම දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්, පොලිස්පතිවරයා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පරිපාලනමය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
මෙහිදී මුහුදු තීරයේ සිදුවන ජාවාරම්වලට පොලිස් නිලධාරීන්ද සම්බන්ධ බවට චෝදනාවක්ද එල්ල වී තිබිණ.










