ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය (08) වන දින දිට්වා සුළි කුණාටුවෙන් පසු නුවරඑළිය දස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව සැලසුම් සකස් කිරීම විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතු පිළිබඳව නුවරඑළිය නගරාධිපතිවරයාගේ විමසන විට නගරාධිපතිවරයා විසින් සඳහන් කළ සියලුම හේතු කිසිදු අනුදැනුමකින් තොරව පදනම් විරහිත අසත්‍ය කරුණු බවත් ඒ ඔස්සේ නගරාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා නොමග යවා ඇති බවත් පාර්ශව රැසක් පෙන්වා දෙති.Sri Lanka Latest News
එලෙස නගරාධිපතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පරිසරවේදීන්, පරිසර සංවිධාන නියෝජිතයන් හා දේශපාලන නියෝජිතයන් සිය විරෝධතාවය හා නගරාධිපතිවරයා විසින් සිදු කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ වෙනුවට නිවැරදි දත්ත හා තොරතුරු ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් අදහස් දක්වන බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ පරිසර සංවිධාන ක්‍රියාකාරිකයකු වන දිනේෂ් ලංකා ගීගනනගේ මහතා ,
ආපදා තත්ත්වය ගැන කල් තියා සැලසුම් නොකර වෙලාවට සොරව්ව අරින්න නොදී නුවර එළිය නගරයේ යට වෙන්න ඉඩදී කෝටි ගණනින් පාඩු සිදුකර ජන ජීවිතය අඩාළ කරමින් නුවරඑළිය ජනතාවගේ මානව හිමිකම් මුළුමනින්ම උල්ලංඝනය කළ වරද වසං කරන්න තමයි නගරාධිපතිවරයා නොයෙකුත් බොරු හේතු පවසමින් ජනාධිපතිවරයා නොමඟ යැවීමට කටයුතු කළේ,
නගරෙ යටවෙනවා කියලා දැනෙනකොටම සොරොව්ව යම් ප්‍රමාණයක් ඇරලා ක්‍රම ක්‍රමයෙන් ඇරලා තිබ්බනම් මෙවන් වූ විනාශයක් වෙන්නේ නැහැ ,
නගරාධිපතිවරයා ජනාධිපතිවරයාට කියනවා සොරව්වෙ හිල පොඩියි ඒක ඇරිට ගංවතුර තත්වය පාලනය කරන්න බැහැයි කියලා,
ඒත් එක්කම කියනවා අඩි එකහමාරයි එකහමාරයි ප්‍රමාණය සොරොව් දෙකක් තමයි අපිට තියෙන්නේ කියලා. ඒකත් අමූලික බොරුවක්. සොරව්වේ ප්‍රමාණය අඩි තුනයි දෙකක් තියෙනවා ,
මොහුට කලින් පත් වෙච්ච නගරාධිපතිවරුන් 18 දෙනාට සොරොව්ව අරින්න ඔය සොරව්වේ හිල ඇතිනම් මේ නගරාධිපතිවරයාට විතරක් හිලේ සයිස් එක මදි වෙන්නේ කොහොමද ?
විශේෂයෙන් කාන්තා නගරාධිපතිවරියකුත් ඔය දැන් තියෙන සොරොව් හිලෙන්ම වතුර ඇරලා තියෙනවා ,
1874 අවුරුද්දේ ග්‍රෙගරී වැව නිර්මාණය කරපු දවසේ ඉඳලා නුවරඑළිය පාලනය කරපු සියලුම පාලකයන්ට ඔය සොරොව්වෙ හිල ප්‍රමාණවත් වෙලා තියෙනවා. මේ නගරාධිපතිවරයාට අමුතුම ප්‍රශ්නයක් ඇවිල්ලා ,
මේකෙ මූලික වැරැද්ද නගර සභාව සහ සොරොව්ව අරින්න බාරව ඉන්න නිලධාරියෝ ,
එහි එක් නිලධාරියෙක් මෙම ස්ථානයට ඇවිල්ලා කියනවා මේ සොරව්ව ඇරියට මේක පාලනය වෙන්නේ නැහැ..ඔන්න ඔය කියනවනම් අපි ඕක ඇරලා දාන්නම්කියලා , අපි කියලා සොරොව්ව අරින්නද මෙතන පාලකයෝ ඉන්නේ. සොරොව්ව අරින්න ඕන ක්‍රමවේදයක් නැද්ද? වතුර මට්ටමක් මනින්න ක්‍රමවේදයක් නැද්ද?
මේ හැමදේම පසුගිය පාලන සමයවල්වලදී හරි විදිහට කරලා තිබුණ නිසා නුවරඑළිය නගරය ජලයෙන් යටවෙලා නැහැ, මොවුන්ගේ නිසි පාලනයක් නැති වීම හා තීරණ නොගැනීම තමයි මේකට මූලිකම හේතුව , ඔය නගරාධිපතිවරයා කියන වගේ ඔය සොරොව් හිල ලොකු කරා නම් වෙන්නේ කළු කැලේ කියන ගම සම්පූර්ණ කඩාගෙන මීපිළිමාන පට්ටිපොළ මාර්ගයත් ගලවගෙන නානුඔය ඒ යටවෙන තරමට ජල කඳක් පිටාර ගැලීමක් ,
ග්‍රෙගරි වැව සංවර්ධනය කරලා රොන් මඩ ඉවත් කරන්න ස්වේච්ඡා කණ්ඩායම් ඉදිරිපත් උනා. ඒ අයට මේ අවස්ථාව දීලා තිබ්බනම් වත්මන් කොමසාරිස්වරයා. මේ අහේනිය වෙන්නෙ නෑ රොන්මඩ ටික හරියට ඉවත් වෙලා තිබ්බනම්. ජලධාරිතාවය වැඩිය වැවට පිරිලා වැවින් වාන් වෙලා යනවා , වත්මන් කොමසාරිස්වරයාගේ වුවමනාව තිබ්බේ මුදල් උපයනවා හැරෙන්න සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි , ඒ නිසයි රොන්මඩ ඉවත් කරන්න ව්‍යාපෘතියක් හදලා සල්ලිවලට දුන්නේ , මේ අනුව නුවරඑළියේ ජනතාවගේ මානව හිමිකම් මුළුමනින්ම උල්ලංඝනය කරලා තියෙන්නේ නුවරඑළි මහ නගර සභාවයි , මානව හිමිකම් සංවිධානවලටත් ආරාධනා කරනවා අපි මේ වෙලා තියෙන මානව හිමිකම් උල්ලංඝනය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නුවරඑළියට එන්න කියලා ,
ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් සහ ජනමාධ්‍යවේදියෙකු වන නාලක දිනේෂ් රත්නායක
මහජනතාව සහ අපි ගං වතුර තත්ත්වය මුල තියා හඳුනාගෙනම සොරොව්ව අරින්න කියලා වාචික සහ සමාජ මාධ්‍ය හරහා ඉල්ලීම් කරලත් සොරොව්ව අරින්න බලධාරීන් කටයුතු කරේ නැත්තේ නුවරඑළියේ ජනතාව ගැන තැකීමක් නැති නිසයි , අපි නුවරඑළිය හැදුනු වැඩුණු මිනිස්සු නිසා අපි දන්නවා මේ වැවේ තත්ත්වය මොකක්ද කියන එක , ඔය වගේ වෙලාවකටද සොරව්ව අරින්න ඕන කියන එක අපි දන්නවා ,
රොන්මඩත් පිරිලා තියෙන වෙලාවක වැස්ස පටන් ගද්දීම සොරව්ව අරින්න ඕන. එක අනිවාර්යයෙන් කරන්න ඕන , ඒ දේ මහ නගර සභාව හරි විදිහට කරපු නැති එක අපිට දැනිලා තමයි අපි වාචික ව හා බැරිම තැන සමාජ මාධ්‍යයෙන් කිව්වේ. මේ සොරව්ව හැදුවේ වත්මන් නගරාධිපති උපාලි වනිගසේකර නෙමෙයි. ඒ නිසා බය නැතුව අරින්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ,
බැරිම තැන මහජනතාවගේ ඉල්ලීම මත සොරව්ව ඇරියා. ඇරලා පැය භාගයකින් නගරෙ පිරිලා තිබ්බ වතුර සියල්ලම බැහැලා ගියා , ඔය සොරව්ව හරි වෙලාවට ඇරලා තිබ්බනන් නගරයට කෝටි ගානක අලාභයක් වෙන එක නතර කරගන්න තිබුණා ,
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මහතා සිටියේ නගරාධිපතිවරයා නුවරඑළිය යටවීමට කියූ කරුණු තුනම ජනාධිපතිවරයාම නොමග යවා තමන් බේරීමට කියූ බොරු කරුණු තුනක් බවය ,
නගරාධිපතිවරයා කිව්වේ සොරොව්වේ සයිස් එක මදි කියන එක පළවෙනි කරුණු හැටියට. ඒක අමූලික බොරුවක්. අවුරුදු සිය ගාණක් ඒ ග්‍රෙගරි වැවේ සොරව්වෙන් වතුර ඇරියානම් ඇයි මේ නගරාධිපතිවරයාට විතරක් වතුර අරින්න සොරව්වේ සයිස් එක මදි වෙන්නෙ. ඒක අමූලික බොරුවක් ,
නගරාධිපතිවරයාට සොරොව්ව මොකක්ද සොරොව්ව කොතනද තියෙන්නේ කියලවත් හරියට දන්නේ නැහැ ,
ඊළඟ කාරණාව හැටියට කිව්වා ඇල මාර්ග පටු වෙලා වතුර බහින්නෙ නැහැ කියලා. ඒකත් පට්ටපල් බොරුවක්. මොකද මහනගර සභාවෙන් මෑතකදී ජාතික වෙසක් කලාපය පවත්වන කාලයේදී බැකෝ යන්ත්‍ර දමලා ග්‍රෙගරි වැවට ජලය ගලා බසින ඇලවල තිබුනට වඩා තුන් ගුණයකින් වැඩි ප්‍රමාණයට පස් අයින් කරලා ප්‍රමාණයෙන් විශාල කරලයි තියෙන්නේ ,
තුන්වෙනි බොරුව හැටියට කිව්වේ අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා කියලා. අනවසර ඉදිකිරීම් රැසක් කරලා තියෙනවා කියන එක ඇත්ත. ඒත් ජලය ගලා බසින්නට බැරුව කොතනවත් අනවසර ඉදිකිරීම් කරලා නැහැ ,
ඒ අනුව නගරාධිපතිවරයාට කිසිදු අනුදැනුමකින් තොරව ජනාධිපතිවරයා නොමඟ යැවීමට කටයුතු කළේ මිනිස්සුත් මේ ගැන මොනවත් දන්නැතිගානට ,
ඒත් මේ කියපු බොරු තුනම නගරාධිපතිවරයා කිව්වේ මහ නගර සභාවේ නොසැලිකිළිමත්භාවයෙන් නුවරඑළිය නගරය ජලයෙන් යටවෙන්නන ඇරලා බලාගෙන හිටපු වැරැද්ද වහගන්න ,
මෙලෙස එල්ල වන චෝදනාවන් පිළිබඳ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් අප ප්‍රකාශයක් ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගනු ලැබුවද ඔහු දිගින් දිගටම ප්‍රකාශයක් ලබාදීමට ප්‍රතික්ෂේප කර මාධ්‍යයද එක්තරා අන්දමින් නොමඟ යවන ලදී ,
ඉන් අනතුරුව දුරකථන ඇමතුමකින් ප්‍රතිචාර ලබා ගැනීම පිළිබඳ විමසන විට නුවරඑළිය නගරාධිපතිවරයා සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයක් බැවින් ඒ පිළිබඳව සිය පක්ෂය වන ජාතික ජන බලවේගයෙන් මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට එපා යැයි කියා ඇති බවයි ,
එහිදී අප මෙය අපගේ තීරණයක් පිළිබඳව ප්‍රකාශයක් නොවන බවත්, නගරාධිපතිවරයා ජනාධිපතිවරයා නොමග යවා ඇති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පැවසුවද ප්‍රශ්නය යොමු කරන විටම නගරාධිපතිවරයා නිහඬ වී දුරකථනයට පිළිතුරු ලබාදීමට ප්‍රතික්ෂේප කළේය .


















