මේ දිනවල සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සමග පූජ්‍ය සුමනදේව ස්වාමින්වහන්සේ සිදුකළ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පහත පළවේ. Sri Lanka Latest News
පූජ්‍ය සුමනදේව ස්වාමින්වහන්සේ
චණ්ඩාශෝක ධර්මාශෝක වුණේ බණ අහලා. ලේ තැවරුණු කඩුව බිම දාලා අංගුලිමාලට සව් කෙලෙසුන් නසලා මහරහත්භාවයට පත්වෙන්න පුළුවන්කම ලැබුණේ බණ අහපු නිසා. සියල්ල අහිමි වූ පටාචාරාවට සදාකාලිකව නිවීගියපු කාන්තාවක් බවට පත්වෙන්න පුළුවන්කම ලැබුණේ බණ අහපු නිසා. බණ කියන එක හොඳයිනේ, බණ අහන එකත් හොඳයිනේ. එතකොට ඔබ වහන්සේට මේ දෙස් විදෙස් ලෝකයේ බෞද්ධයන්ට ඒ ධර්මය තුළින් ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔබ වහන්සේ ඒ වාසනා ගුණය ගැන ඔබ වහන්සේගේ කියවීම කොහොමද? ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ?
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ
බණ කියන එක හාමුදුරුවරුන්ට අරුමයක් නෙවෙයිනේ. හාමුදුරුවරු ඉන්නෙම බණ කියන්නනේ. මම 2014 තමයි ඉස්සෙල්ලාම බණක් කිව්වේ. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ බණක් කිව්වේ 2014. එතකොට මම දැන් අවුරුදු 11ක් විතර ධර්ම දේශනාවලට සම්බන්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපේ පන්සල්වල හාමුදුරුවෝ කරන විදිහමයිනේ. ඒකෙ අරුමයක් මැජික් එකක් නැහැ. ඇවිල්ලා ආරාධනා කළොත් බණට යනවා. ඕක තමයි වෙන්නේ ආරාධනා කරපුවාම බණට යනවා.
මම ඔය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මාස කීපයක් පන්සලේ ඉන්නකොට, මම හිතන්නේ අහලත් ඇති හාමුදුරුවනේ මම ජාතික රූපවාහිනියේ පොඩි වැඩසටහනකට ඇවිල්ලා අපේ අයියාගේ සම්බන්ධකම් උඩ, පොඩි වොයිස් කට් එකක් ගත්තා. ඒක අහලා තමයි එයා කිව්වේ සම්මා දිට්ඨියට ගිහින් බණක් කියවන්න කියලා. ඒ කියන්නේ කලිනුත් මම බණ කිව්වා, හැබැයි ඔය සෝෂල් මීඩියා පරිශීලනය පිළිබඳ මට ලොකු අවබෝධයකුත් නෑ. අවබෝධය තිබ්බත්, සෝෂල් මීඩියා ගැන අවබෝධයක් නැති කෙනෙක් අද හොයාගන්න බැරි තරම්නේ, සමහරු කියනවනේ අර යන තැන වීඩියෝ කරනවා, යන තැන ෆොටෝ ගහනවා, දැන් බණකට යනවා නම් ෆොටෝ එකක් දානවා. එහෙම එකක් මගේ තිබ්බේ නෑ. ඒ වගේම ඊට කලින් ඔය විවිධ මාධ්‍යවල ධර්ම දේශනාවලට ආරාධනා කළා. අපි මේ කැලේ කොළේ පන්සලේනේ… ඔබවහන්සේටත් පේනවානේ…. අපේ සද්දේ නැවතුණොත් ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්දේ විතරයි. ඉතාම රමණීය, නිස්කලංක පරිසරයක්. බොහොම නිස්කලංක තැනක්. රජ කාලේ ඉඳන්. මෙතැන බොහොම නිදහසේ හිටියේ. රහතන් වහන්සේලා වැඩහිටපු භූමියක්නේ. ඉතින් අපේ ලොකු හාමුදුරුවොත් එහෙමයි, ඒ ගුරු ආභාෂය නිසා හරි රුචි වුණා හාමුදුරුවනේ මේ නිස්කලංකභාවයට සහ මේ නිදහසට. නමුත් අර ජාතික රූපවාහිනියේ කරපු දේශනාව. එක දේශනාවයි සිද්ධ කළේ. මම හිතනවා ඒක මීට අවුරුදු දහයකට කලින් කළත් මේ තත්ත්වයම තමයි. එක දේශනාවයි සිද්ධ කළේ, ඒ දේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්මය වැළඳ ගත්තේ. මම අදටත් කියන්නේ මේක කත්නෝරුවේ සිරිධම්මගේ හපන්කමක් නෙමෙයි. මේ තමයි හාමුදුරුවනේ ධර්මයේ තියෙන ආශ්චර්යය, මේ ධර්මයේ හාස්කම්. මේ තමයි බුදු හාමුදුරුවන්ගේ සිවුරේ තියෙන අකාලික ගුණය. මේ සිවුරේ තියෙන බලය. කියනවනේ හාමුදුරුවනේ ‘සන්දිට්ඨිකෝ’ කියලා. සාන්දෘෂ්ටිකයිනේ මේවා. එහෙම නැතුව මේක කිසිම පුද්ගලයකුගේ හාස්කමක් නෙමෙයි. සිවුරෙයි, ධර්මයෙයි, බුදු හාමුදුරුවන්ගෙයි බලය කියලා තමයි කියන්න වෙන්නේ.
චානක ලියනගේ










