අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි සම්පත් මනම්පේරි තමන් සතුව තිබූ ජංගම දුරකතනය වැල්ලවත්ත ප්‍රදේශයේදී ධාවනය වන දුම්රියකට තබා විනාශ කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
දුරකතනය ඔස්සේ තමා සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පොලීසියට හැකියාවක් ඇති නිසා මෙසේ ජංගම දුරකතනය විනාශ කළ බව ඔහු පවසා ඇත. ඒ වෙනුවට ඔහු වෙනත් ජංගම දුරකතනයක් භාවිත කර ඇති අතර, එම ජංගම දුරකතනය පොලීසිය විසින් සොයාගෙන තිබේ. සම්පත් මනම්පේරි කාලයක් භාවිත කළ ජංගම දුරකතනය විනාශ කළත් එහි අංකය ඔස්සේ මේ වන විටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සති කිහිපයක් සැඟව සිටි සම්පත් මනම්පේරි වලස්මුල්ල අධිකරණය හමුවට පැමිණ භාර විය. එහිදී ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට යොමු කරන්නේ දින 07ක රැඳවුම් නියෝගයක් මතය. එම කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතුව තබාගෙන විමර්ශන පැවැත්වුවත් ඔහුගෙන් හෙළිවූ කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය නොවීය.
මේ අතර ඔහුගෙන් පැය 04ක කාලයක් ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය භාරයට ගෙන දුරකතනයට වූ දේ ගැන තොරතුරු හෙළිකර ඇත. අනතුරුව ඔහු විසින් ගිනි අවි සහ පතොරම් සඟවා ඇති ස්ථානයක් ගැන ද තොරතුරු හෙළිකර තිබේ. ඒ අනුව ඉකුත් සතියේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිද්දෙණියේ ගෙවත්තක වළ දමා තිබී ටී 56 අවිවලට යොදන රන් ආලේපිත පතොරම් ගැබක්, ටී 56 අවිවලට යොදන පතොරම් 115ක් සහ අත්බෝම්බයක් සොයාගෙන තිබිණි. එම ආයුධ වළ දමා තිබී ඇත්තේ ඔහුගේ අනියම් බිරියගේ ගෙවත්තේය.
දින 07ක රැඳවුම් නියෝගය අවසන් වීමෙන් අනතුරුව සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. මෙහිදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස ඉල්ලීමක් සිකුරාදා දින කරන ලෙස අධිකරණය විසින් පොලීසියට දැනුම් දුන්නේය. ඒ අනුව වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා විසින් අත්සන් තැබූ දින 90ක රැඳවුම් නියෝගය පොලීසිය පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම නියෝගය සලකා බැලූ අධිකරණය දින 90ක් සම්පත් මනම්පේරි රඳවා විමර්ශන පැවැත්වීමට අවසරය දුන්නේය.
ඒ අනුව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාස භාරයට ගත් සම්පත් මනම්පේරි මේ වන විට රඳවා තබාගෙන විමර්ශන පවත්වන්නේ කොළඹ වරාය පොලිස් ස්ථානයේය. එම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මිද්දෙණියෙන් සොයා ගත් ප්‍රශ්නගත කන්ටේනර් දෙකේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවක් තමා නොදන්නා බවයි. බැකෝ සමන් විදේශගතව සිටියදී වරායෙන් නිදහස් කළ කන්ටේනර් දෙකක් ඇති බවත්, එය භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් සම්පත් මනම්පේරි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඒ අනුව තමා එම කන්ටේනර් දෙක මිද්දෙණියට රැගෙන ආ බව ද ඔහු පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ද සේවයේ නිරතව සිට ඇත. රවිරාජ් ඝාතනයට ඔහු හසුවන්නේ යහපාලන ආණ්ඩුව සමයේදීය.
ශ්‍රී ලංකා පොදු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයෙක් ලෙස ද කටයුතු කර ඇති මොහු ගංජා ජාවාරමට ද සම්බන්ධව සිට ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී ඇත.
පසුගිය කාලයේ සැඟවී සිටින අතරතුර මන්නාරමේ කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ සහායෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා යෑමට ද මොහු සූදානම් වී ඇති බවට සැක කරන තොරතුරු අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහුට සහාය දීමට ඉදිරිපත් වී ඇතැයි පැවසෙන්නේ විදෙස්ගතව සිටින දරුන් නමැත්තා විසින් බව ද සඳහන්ය.
ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ










