වැඩි වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද මත රුසියානු හමුදාවට බඳවා ගන්නා බවට ව්‍යාජ ලෙස රවටා දැනට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින සාමාජිකයන් රුසියාවට පිටත් කර යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශ්‍රාමික උසස් හමුදා නිලධාරීන් දෙදෙනු රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු එම රහස් ජාලය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙන බව උසස් පොලිස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම ව්‍යාජ ජාවාරමට හසුවී රුසියාවට ගොස් ජාත්‍යන්තර යුද පිටියේ ඉදිරි ආරක්ෂක වළල්ලට යවා ඇතැයි කියන විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිළිබඳ මේ වන විට තොරතුරු ලැබෙමින් තිබෙන බවයි රහස් පොලිස් ආරංචි මාර්ග පැවැසුවේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවැසුවේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් නොමග යවන මෙම ජාවාරමට රැවැටී තම ජීවිතයත් පවුලේ අයත් අනතුරට පත්කර නොගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයාද ඉල්ලීමක් කොට ඇති බවයි.
මේ වන විට අදාළ රහස් සංවිධානයට හසුවී රුසියානු හමුදාවට එක්වීමට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 100කට අධික පිරිසක් විදේශගතවී ඇති බව දැනගන්නට ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේතරත්න








