මැතිවරණ උණුසුම දිනෙන් දින දේශපාලන පක්ෂවලට දැනෙන්නට පටන්ගෙන තිබීමත් සමග සියලු බලමුළු සවිබල ගැන්වීමට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය පළමු වතාවට කාන්තා සමුළු රට පුරා පැවැත්වීමට පියවර ගත්තේය. මාලිමාවේ ප්‍රධාන කාන්තා චරිතය වූ හරිනි අමරසූරිය විසින් නායකත්වය ලබාදුන් එම කාන්තා සමුළුවලට සැලකිය යුතු කාන්තා සහභාගිත්වයක් පැවැති බවද දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
ඉන් අනතුරුව සමගි ජන බලවේගයද දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කළේය. සජිත් එය භාරදුන්නේ සජබයේ සිටින අති දක්ෂ කාන්තාවන් හතර දෙනකුටය. ඉන් පළමුවැන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්නය. දෙවැන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. තුන්වැන්නා මහනුවර සජබ ප්‍රබලයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියය. සිවුවැන්නා නීතිඥවරියක වන ලිහිණිය. ඒ අනුව මේ හතර දෙනාම රැස්වී පක්ෂය සමග සාකච්ඡා කොට තීන්දු කළේ පළමු සජබ කාන්තා රැස්වීම කන්ද උඩරටින් ආරම්භ කිරීමටය. මහයියාව ක්‍රීඩාංගණයේ රැස්වීම පැවැත්වීමටත්, ආසන 6,000ක් එහි පැනවීමටත් ඒ අනුව සැලසුම් කෙරිණි. කෙසේ වෙතත් පළමු කාන්තා සමුළුව කෙතරම් සාර්ථක වූවාද කියනවා නම් සියලු ආසන පිරීගොස් තවත් 2,000කට ආසන්න කාන්තාවන් පිරිස් රැස්වීම් භූමිය වටා සිටගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම මෙම සමුළුවේදී හිරුණිකා ජවිපෙත්, හරිනිත් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කළාය.
ජවිපෙට වැදිලා
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ජවිපෙට කෙතරම් තදට වැදුණාද කියනවා නම් ඊට පසු අවස්ථාවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊට ප්‍රසිද්ධියේම පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. එහිදී විජිත කියා සිටියේ හිරුණිකා ඇඟිල්ලේ තරමට ඉදිමීමට කටයුතු කළ යුතු යැයි කියාය. කෙසේ වෙතත් ජවිපෙ මේ ප්‍රතිචාරය දුටු බොහෝ දෙනා සජබ ප්‍රධානීන්ට දැනුම් දී සිටියේ සජබ කාන්තා සමුළුවේ සාර්ථකත්වය ජවිපෙ මේ ප්‍රතිචාරයෙන් පැහැදිලිවම දැකගන්නට ලැබෙන බවය.
කෙසේ වෙතත් ජවිපෙ මේ වන විට සැලසුම් කර ඇත්තේ තවත් කාන්තා සමුළු දෙකක් පවත්වා එය අවසන් කිරීමටය. ඉන් අනතුරුව ජවිපෙ සැලසුම් කර ඇත්තේ රට පුරා දිස්ත්‍රික් මට්ටමින් තරුණ සමුළු පැවැත්වීමටය. මෙම තරුණ සමුළු රැඩිකල් ආකාරයෙන් පැවැත්වීමද ජවිපෙ සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් සජබය දිගටම කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන්ගේ දෙවැනි කාන්තා සමුළුව බදුල්ලේත්, තුන්වැන්න ගාල්ලේත් පැවැත්වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.









