ඩීසල් පෙට්‍රල්වල සිට ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර දක්වා සෑම සියලු දෙයකම මිල ඉහළ දමා විදුලි බිල ද සියයට 250කින් ඉහළ දමා පොලී අනුපාත ද වැඩි කරමින් වත්මන් රජය රටේ ජනතාවගේ ජන ජීවිතය පාගා දැමීමේ යුගයක් බිහි කරමින් සිටින බවත් හැම දෙයක්ම කප්පාදු කරමින් සිටින වත්මත් රජය පළවා හැර පොඩි මිනිසා රජකරවන යුගයක් බිහි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා මාලිගාවත්තේ දී පැවැති ජන හමුවකට එක්වෙමිනි.
වත්මන් රජය රටේ ජනතාව ගැන නොව තමන් ගැන සහ තමන්ගේ පැවැත්ම ගැනත් තමන්ගේ මිත්‍රාදීන් ගැන පමණක් සිතන බවත් ඔවුන් රට බංකොළොත් කළ සහ ජනාධිපතිවරයා පත් කළ මන්ත්‍රීවරු 134 ගැන පමණක් සිතන බවත් ඔවුන්ට වරප්‍රසාද වරදාන ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් වාරය අවසන් වන තුරු ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැති බවට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පොරොන්දුවක් දී ඇති බව ද පැවසීය.
ආණ්ඩුවට මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව අමතක වුවට සමගි ජන බලවේගයට මේ රටේ පොඩි මිනිහා අමතක වී නොමැති බවත් ශක්තිමත් සැලසුමක් තුළ කණ්ඩායමක් ලෙස ජනතාවගේ ගැටලු විසඳන එකම විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය සතුව මේ හැම ප්‍රශ්නයටම පැහැදිලි උත්තරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හැත්තෑපස් වසරක මේ රටේ ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් නොකළ කාර්යයක් පසුගිය වසර 3ක කාලය තුළ සමගි ජන බලවේගය ඉටු කළ බවත් රාජ්‍ය බලයක් නොමැතිව ජනතාවට සේවයක් කළ එකම පක්ෂය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.















