යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට අම්බලන්ගොඩ කුලීගොඩ, රොන්නදූවේ පෙරපාසලක් අසලදී ඊයේ (28) ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉඩම්තොට ප්‍රදේශයේ ජනතාවට මහත් හිසරදයක් බවට පත්ව සිටි පාතාලයට සම්බන්ධ අපරාධකරුවකුගේ ඝාතනයට පළිගැනීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ ඝාතනය වී ඇත්තේ උස්මුදුලාව, පුංචිවත්තේ පදිංචිව සිටි නාමල් සුදත්සිරි (42) නමැති අයෙකි. සමෘද්ධි නියාමකවරියක වූ සිය බිරියව රැකියා ස්ථානයට ඇරලවා නැවත නිවෙස වෙත යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව තිබෙන බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය කියයි. අම්බලන්තොඩ ඉඩම්තොට ප්‍රදේශයේ පාතාලයේ බලය අල්ලාගෙන ජනතාවට පීඩනයක් ගෙනදුන් වසන්ත සොයිසා නමැති අපරාධකරු 2022 වසරේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ තැන ගෙන ඇත්තේ අම්බලන්තොට ඉඩම්තොට, මාදම්පේ පදිංචිකරුවකු වන එච්.එච්.යූ. මෙන්ඩිස් (22) නමැති අයකු බව පොලිසිය කියයි.
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි මේ අපරාධකරු ඇප මත මෑතකදී නිදහස ලබා පැමිණ කෙටි කලක් ගාල්ලේ රැඳී සිට පසුගිය 25 වැනිදා ඉඩම්තොට නිවෙසට පැමිණ ඇතැයි පොලිසිය කියයි. ඔහු නිවෙසට පැමිණ ඇත්තේද 26 වැනිදා උදෑසන පවුලේ සාමාජිකයන් සමඟ කතරගම වන්දනාවේ යෑමට යැයි කියාය.
ඒ පැමිණි ඔහු 25 වැනිදා රාත්‍රී කාලයේ නිවෙසින් පිටව ගොස් ඇත්තේ ගම් පිරිත් ගෙදරකට යන බව පවසාය. පිරිත් පින්කම් නිවෙසට යනවා වෙනුවට ඔහු තවත් කිහිපදෙනෙකු සමඟ එක්ව රාජා සරත් නමැති අයගේ නිවෙසට කඩාවැදී ඔහුට කඩුවකින් කොටා ඇති බව පොලිසිය කියයි. එහිදී සිය පියාව බේරා ගැනීමට මැදිහත් වූ නිවෙසේ සිටි ඔහුගේ දරුවන් තිදෙනාටද ඔහු කඩුවකින් කොටා ඇති අතර ඒ අයද එහිදී තුවාල ලබා ඇත. එහිදී සුළු තුවාල ලැබූ පුතුන් දෙදෙනකු එක්ව පොල්ලකින් මෙම අපරාධකරුට පහරදී ඇති බවත් එම පහරදීමෙන් ඔහු මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙහිදී බරපතළ තුවාල ලබා සිටි පියා සහ එක් පුතකු රෝහල්ගත කර ඇත. සෙසු පුතුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. පොලිසිය සඳහන් කරනු ලබන්නේ ඔවුන් දෙදෙනාව රක්ෂිත බන්ධනාගාරගත කළ බවය. ඝාතනයට ලක්වූ මෙම අපරාධකරුගේ සහෝදරයන් දෙදෙනකු ඩුබායිහි සිට සිය සහෝදරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වීමට පැමිණ සිටින බවද පොලිසිය කියයි. ඒ අය සිය සහෝදරයාගේ ඝාතනයට ලෙයට ලෙයින් පළිගන්නා බව මළ ගෙදරදී පවසා ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබේ. ඒ අනුව ඊයේ (28) වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයා රාජා සරත් නමැති අයගේ ඥාතියකු බව පොලිසිය කියයි. මෙන්ඩිස් නමැත්තාගේ ඝාතනයට ඊයේ ඝාතනය වූ පුද්ගලයාගේ සම්බන්ධයක් නැති බවද පොලිසිය කියයි.
ඇල්පිටිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.










