විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දන්නේ ‘බෙදන්න විතරක්’ බව මේ රටේ සීමිත පිරිසක් රට වටේ කිය කියා යන බවත් ඒ අයට කියන්න ඇත්තේ සජිත් ප්‍රේමදාස බෙදන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට මිස තමන්ගේ හිතවතුන්ට හෝ පවුලේ අයට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (24) වැලිඔය දී පැවසීය.
ජනතාව වෙනුවෙන් කිසිත් නොකරන කයිවාරු ගහන ඒ පුද්ගලයන් වැඩක් කරන්නට තියා හිතන්නෙවත් නැ බවත් ඔවුන් බොරු බේගල්වලින් කයිවාරුවලින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.
මැතිවරණ කාලයට විවිධ දේශපාලන පක්ෂ බස් රථ ගෙන ඒවායේ තම පක්ෂයේ නම ලාංඡන ස්ටිකර් ලෙස අලවා මැතිවරන ව්‍යාපාරයට යොදා ගැනීම සිදු කළත් ලක්ෂ 42ක් වූ පාසල් සිසුන් වෙනුවෙන් බස් එකක් දිය නොහැකි බවත් එහෙත් පාසල් සිසුන් වෙනුවෙන් තමා බස් ලබා දෙන විට ‘බස් මෑන්’ ලෙස විවේචනය කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ඒ කුමන චෝදනා කළත් ජනතාව වෙනුවෙන් කරන සේවය නවත්වන්නේ නැති බව යි.













