පළාත් පාලන ආයතන විසුරුවා හැර ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට පහසුකම් සලසන්නැයි පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් ඒ බව පවසා ඇත්තේ, මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් ඊයේ (31) මැතිවරණ කොමිසමට කැඳ වූ අවස්ථාවේදීය.
පළාත් පාලන ආයතන විසුරුවා නොහැරීමෙන් එහි දේපොළ නීති විරෝධි භාවිතය වැළැක්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට තමන්ට සිදු ව ඇති බව එහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එම ඉල්ලීම පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොමිසම ඉල්ලා සිටි බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමට සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාව කොමිසම ඊයේ කැඳ වූ රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.
ඊයේ පැවැත් වූ රැස්වීමට අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන්, රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විධායක නිලධාරීන්, පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සභභාගි වුණි.










